ජීවිතය වෙනස් කළ ඡායාරූපය

 ඡායාරූපය:

ජීවිතය වෙනස් කළ ඡායාරූපය

වචන දහසකින් කියා ගත නොහැකි දේ ඇතැම් විට එක ඡායාරූපයකින් පැවසිය හැකිය. එවැනි ඡායාරූපයක් විටෙක ඉතිහාසයේ යම් සුවි‌ශේෂී සිදුවීමක් හෝ තත්ත්වයක් පිළිබඳව ජීවමාන සාක්ෂියකි.

අහස් ග‌ඟෙන් අද විමසුමට ලක්කරන බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්ගේ ඡායාරූපයද ලෝකයේ වඩාත් කතාබහට ලක්වූ එකකි. ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පී යුසුෆ් කාර්ෂ් විසින් ගන්නා ලද එම ඡායාරූපය, ටයිම්ස් සඟරාව විසින් සෑම කල්හිම ලෝකයට වඩාත්ම බලපෑම් සහගත ඡායාරූප සියය අතරටද ඇතුළත් කරන ලදි.

මෙම ඡායාරූපය පසුබිමෙහි ඇත්තේ අපූර්ව කතාවකි. ඡායාරූපයේ කතාව කියවීමට පෙර මෙහි ඡායාරූප ශිල්පියා පිළිබඳව මදක් විමසා බැලිය යුතුය.

හව්සෙෂ් කාර්ෂ් (යුසුෆ්ගේ මුල් නම හව්සෙෂ්ය) උපත ලැබුවේ ආර්මේනියාවේය. ආර්මේනියානු ජන සංහාරය නිසා කාර්ෂ් සහ පවුලේ අයට සිය මව්බිමෙන් පලා යෑමට සිදුවන අතර, ඔවුහු සිරියාවට ගොස් අවසානයේදී කැනඩාවේ පදිංචි වෙති.

කාර්ෂ්ට ඡායාරූප ශිල්පය ඉගෙනීමට අවශ්‍ය වූ අතර, දෙමාපියන් ඔහුව ඒ සඳහා බොස්ටන් නගරයට යවයි. එහිදි ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන ජෝන් ගාරෝ වෙතින් ඡායාරූප ශිල්පය හදාරයි. හුදු ඡායාරූපයක්ම පමණක් ගැනීමෙන් ඔබ්බට ගොස් මිනිසුන්ගේ හැඟිම් සහ සංවේදනා කැමරාවට හසුකරගැනීමට කාෂ් පුරුදු පුහුණු වූයේ ඒ විශිෂ්ට ගුරුවරයා ඇසුරෙහිය.

ඡායාරූප ශිල්පය හදාරා නිම කරන කාර්ෂ් නැවත කැනඩාවේ ඔටාවා වෙත ගොස් තමන්ගේම ඡායාරූප ශාලාවක් ආරම්භ කරයි. දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔහු ජනප්‍රිය වන අතර, කැනඩාවේ අගමැතිවරයා වූ මැකන්සි කිංග්ව හඳුනාගැනීමට කාර්ෂ්ට අවස්ථාව ලැබේ. එතැන් සිට කැනඩාවට පැමිණෙන රාජ්‍ය නායකයින් ඇතුඵ සම්භාවනීය අමුත්තන්ගේ නිල ආලේඛ්‍ය ඡායාරූප ලබාගැනීමේ කාර්යය පැවැරෙන්නේ යුසුෆ් කාර්ෂ් වෙතයි.

ඒ අතර, 1941දී බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් කැනඩාවට පැමිණෙයි. ඒ වන විට දෙවන ලෝක යුද්ධය තිව්‍ර වෙමින් පැවතිණි. ජර්මන් නාසි හමුදාව සමඟ පෝලන්තය, ප්‍රංශය ඇතුඵ යුරෝපයේ බොහෝ රටවල් සහ ජපානය එක්ව සිටියේය. ඒ සමයේදී බ්‍රිතාන්‍යය සිටියේ මඳක් පසුබෑමකට ලක්වය. එහෙත් චර්චිල් එය පිළිනොගත් අතර, දිගින් දිගටම සපථ කර සිටියේ යුද්ධය ජයග්‍රහණය කරන බවයි. මේ අතර 1941 දෙසැම්බර් 7 වැනිදා ජපානය පර්ල් වරායට බෝම්බ හෙළා ඇමරිකාවද යුද්ධයට ඈඳ ගනී. චර්චිල් කැනඩාවේ සහාය සිය පාර්ශ්වයට ලබාගැනීමේ අරමුණින් සංචාරය නිරත වන්නේ මේ අතරතුරය.

ඒ අනුව චර්චිල් 1941 දෙසැම්බර් 30 වැනිදා ඔටාවාහි පිහිටා ඇති කැනඩා පාර්ලිමේන්තුවේදි එහි නියෝජිතයන් අමතා දෙවන ලෝක යුද්ධය අරබයා දේශනයක් පවත්වයි. මෙය සංවිධානය කරනු ලබන්නේ කැනඩාවේ අගමැති මැකන්සි කිංග් විසිනි.

මේ අතර එම දේශනයෙන් පසු චර්චිල් අගමැතිවරයාගේ ආලේඛ්‍ය ඡායාරූපයක් ගැනීම සඳහා යුසුෆ් කාර්ෂ් හට කැඳවීමක් ලැබෙයි. ඡායාරූපය ගැනීමට තීරණය කර තිබූ කථානායකවරයාගේ නිල කාමරය වෙත ගිය යුසුෆ්, සිය කැමරා ආම්පන්න සුදානම් කරමින් චර්චිල් දේශනය නිම කරන තුරු රැඳී සිටියේය. යුසුෆ් එම අවස්ථාව මෙසේ සිහිපත් කරයි.

'දේශනය හමාර කළ චර්චිල් අගමැතිවරයා කැන්ඩියානු අගමැතිවරයා සමඟ කාමරයට පැමිණියා. එවිටම මම ක්ෂණිකාලෝකය දැල්වූවා. පුදුමයට පත් චර්චිල් 'මොකද මේ මොකද මේ' යනුවෙන් ගිගිරුවා. මෙය පැහැදිලි කිරීමට එතැන සිටි කිසිවෙකුට ධෛර්යක් තිබුණේ නැහැ. මම චකිතයෙන් යුතුව ඉදිරියට පැමිණ 'සර් මා හිතනවා මේ ඓතිහාසික අවස්ථාවේ ඡායාරූපයක් ගැනීමට තරම් මම වාසනාවන්තයි කියා යැයි පැවසුවා'.එවිට ඔහු මා දෙස බලා 'ඇයි මේක මට කලින් කිවේ නැත්තේ ඇයි දැයි' ඇසුවා.

සිගරුට්ටුවක් මුවෙහි හොවා ගෙන සිටි චර්චිල් අගමැතිතුමා මටත් සිගරුට්ටුවක් බීමට ආරාධනා කළත් මම එය ප්‍රතික්ෂේප කළා. මම නැවත කැමරාව වෙත ගොස් එහි සියලු සැකසුම් නිවැරදිදැයි බැලුවා. ඔහු සිටියේ සිගරට්ටුව උරමින්. මම ඔහු ළඟට ගොස් කලින් සැලසුම් නොකළ පරිදි ගෞරවනීය ලෙස 'සමාවෙන්න සර්' කියමින් සිගරට්ටුව සිතා ගන්නවත් බැරි තරම් වේගයෙන් ඔහුගේ මුවින් ඉවත් කළා. එවිටම මම කැමරාව වෙත දිව ගියා. ඔහු මා දෙස කෝපයෙන් බලා සිටියා. එසැණෙකින් මම ඒ මොහොත ඡායාරූපයට ගත්තා.

ඡායාරූපය ගැනීමෙන් පසු චර්චිල් අගමැතිතුමා සිනාසී මෙසේ කිවා. 'ඔබට තව එකක් ගත හැකියි'. මට අතට අත දුන් ඔහු, 'ඔබට පුළුවන් ගර්ජනය කරමින් ඉන්න සිංහයෙක්ව වුණත් මෙල්ල කර ඡායාරූපයක් ගන්න' යැයි පැවසුවා.

ඉන් අනතුරුව කාර්ෂ් විසින් චර්චිල් සිනහවී සිටින ඡායාරූපයක් ගත්තද ලෝකය අතරට ගියේ පළමු ඡායාරූපයයි. එය ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූපයක් වූ අතර එහි චර්චිල් සිටින ඉරියව්වෙන් සහ ඔහුගේ මුහුණෙන් මතුවු භාව ප්‍රකාශනයන්ගෙන් එම අවධියේදි බ්‍රිතාන්‍යයේ තිබූ යුද මානසිකත්වය සහ සතුරා පරාජය කිරීමේ අධිෂ්ඨානය නිරූපණය වූ බව බොහෝ දෙනෙකුගේ මතයයි. ලොව ප්‍රකට ද ඉකොනොමිස්ට් සඟරාවට අනුව මෙය ලොව විශිෂ්ටතම සංකේතාත්මක ආලේඛ්‍ය ඡායාරූපයයි.

මෙම ඡායාරූපය යුසුෆ් කාෂ්ව සිය වෘත්තිමය ඡායාරූප දිවියේ ඉහළම තැනකට ඔසවා තැබීය. ඒ ඡායාරූපය ගැන පසුකාලීනව ඔහුගෙන් විමසූ විට යුසුෆ් මෙසේ පැවසීය. 'එම ඡායාරූපය මගේ ජීවිතය වෙනස් කළා. එය වැදගත් ඡායාරූපයක් වන බව මම දැන සිටියා. එහෙත් එය මෙතරම් අවධානයට ලක් වේ යැයි මා සිතුවේ නැහැ'.

මාතෘකා