දැකලා පුරුදු ජීවිතයේ ළෙංගතු සිනමාවක්

 ඡායාරූපය:

දැකලා පුරුදු ජීවිතයේ ළෙංගතු සිනමාවක්

මෑත කාලීනව අපේ සිනමාවේ මට දැනුණු විශාලතම අර්බුදය තිර නාටක රචනයේ විශ්වසනීයත්වයක් දක්නට නොලැබීමයි. ඒ ගැටලුව ඉතා හොඳින් ජයගත් වින්දන-කල්පන ආරියවංශ දෙබෑයන්ගේ ’ප්‍රේමය නම්’ චිත්‍රපටයෙන් පසුව මා දුටු විශිෂ්ටතම අවස්ථාව ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටයයි. මධ්‍යම පාංතික පවුලක දැකිය හැකි සුලබ සංසද්ධියක් වන අවිශ්වාසය පිළිබඳ සරල කතා පුවතක් ගොනු කරගන්නා භූපති නලින්ගේ තිර රචනය ඉතා අපූරු වියමනක්. එය එසේ නොවුණා නම් සිනමා විචාරකයකු ලෙස ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන භුමිකාවත් කෙනකු ප්‍රශ්න කරන්නට ඉඩ තිබුණා. ඒ වියමන පසුබිම් කරගනිමින් මලිත් හෑගොඩ නිර්මාණය කරන මේ සිනමාව මෙරට සැබෑ සිනමා රසිකයන්ගේ අවධානය හොඳින් යොමුවිය යුතු නිමැවුමක්.

මෙහි ඇති කාව්‍යමය සිනමා රීතිය නවක නිර්මාණ ශිල්පියකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරම්. තරුණ එක්දරු මවක වන දිනිතිගේ අනියම් සම්බන්ධයක් සැමියා, සචිත්‍රට දැනගන්නට ලැබීමෙන් පසු ඔහු ඇගේ සමාජ සම්බන්ධතා බලෙන් අවහිර කර ඇය හුදෙකලා කරනවා. ඉතා ළෙංගතු මානව සබඳතා ලැදි දිනිතිට එය දරා ගැනීමට අපහසුයි. ඇය වරද පිළිගත්තත් ඔහු විසින් ඇය නිවෙස තුළම නොතකා හරිනු ලැබීම ඇයව තවදුරටත් පීඩනයට පත්කරනවා. දෙපස මාපියන් ඔවුන් දෙදෙනාට නීතියෙන් වෙන්වන ලෙස කීවත් සචිත්‍ර එයට විරුද්ධ වන්නේ දරුවාට පියා, මව දෙදෙනාම අවැසි බව කියමින්. සමහර විට ඇය අනියම් සබඳතාවට පෙළඹෙන්නට ඇත්තේ සැමියාගේ මේ රළු ඇවතුම් පැවතුම් මතුයෙහිම විය හැකියි. දිනිති සිය ඥාති සොයුරාට පවසනුයේද තමාට නියම ආදරය හමුවූයේ අනියම් ප්‍රේමය ඔස්සේ බවයි. සමහර විට එය ප්‍රේමයට පමණක්ම සීමාවූ බැඳීමක් විය හැකියි. ඇය එතරම් මානව බැඳීම් ප්‍රිය කරන්නියක්. සිය ඥාති සොයුරා පිළිගන්නා අවස්ථාවේ පළකෙරෙන දිනිතිගේ ඉංගිතයන් ඔහු සමඟද ඇය කිසියම් පැටලැවිල්ලක් ඇති කරගෙන ඇතැයි පූර්ව නිගමනයකට එළැඹීමට අපව පොලඹවන සුළුයි. ඇගේ ප්‍රේමය සැබෑ ආදරයක් දැයි විමසන්නට ඇය සිය සොයුරාට ඉඩ නොදෙන තරම ඇයට දිව්‍යමය වූවක්. සිය සැමියා නිවසෙහි නොමැති විට දිනිති අරපරෙස්සමින් භාවිත කරන කෝප්පය මේ දිව්‍යමය බැඳීමේ සංකේතයයි. ඇය අජීවී කෝප්පය හරහා ප්‍රේරණය කරන්නේ අනුරාගී ආලිංගනයක රංග ලීලාවක්. මේ දර්ශනය සත්‍යජිත් රායිගේ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයේ එන දසුනක් සිහිගන්වයි. සිය සැමියා දුරු නුවරක රැකියාවක් සඳහා නික්ම යන දුම්රියේ නළා හඬ ඈතින් ඇසෙයි. බිරිඳ සිය උකුලෙහි නිදන දරුවාගේ නළලත සිඹියි. ඇයගේ මනෝමය සිපගැනීම සිය සැමියාගේ නලළතයි.

සිනමාවේ ආකෘතික රීතින් සමඟ සිනමා රංග රීතින් අතිශයින් කාව්‍යාත්මක ලෙස සමපාත කෙරෙන මෙම නිර්මාණය සමඟ මා අතිශයින් ඒකාත්මික වුණේ මේ අතිසියුම් රංග ලීලාවන් හේතුවෙන්මයි. විශේෂයෙන්ම සිනමා රංගනයට අලුතින්ම එක්වන සමාධි ලක්සිරි දක්වන සංයමය සහ ‘රඟ නොපා’ රඟපෑමේ කුසලතාව අතිශය නැවුම් ආකර්ෂණයක් මේ සිනමාවට එක් කරනවා. එසේම සචිත්‍ර ලෙස ඇය හා කරට කර විශිෂ්ට රංගනයක නිරත වන බිමල් ජයකොඩි රූපවාහිනිය හරහා අපට හුරුපුරුදු රංගන ලීලාව ඉතා පරිණත ලෙස සිනාමවට එක් කරනවා. සිය බිරිඳ ද්වේශ සහගත ලෙස ප්‍රතික්ෂේප කරන ඔහුගේ භුමිකාව තුළ ප්‍රකාශිත නරුම ලක්ෂණ බිමල් ඉතා සියුම් භාව ප්‍රකාශනයක් බවට පත්කරනවා. ඔහුගේ දෙබස් උච්චාරණය මේ රංගනයට ආභරණයක් බඳුයි. සචිත්‍ර කුරිරු ලෙස සිය බිරිඳට පරිභව කළද ඉදිකිරීම් භූමියේදී ඔහුට එන ඇමතුමට දෙන පිළිතුරු නිසා ඔහුද කිසියම් අනියම් ඇසුරක නියැළෙන බවට ඉඟි කෙරෙනවා. විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම සිවුමාපියන් එක්ව බිඳුණු කැදැල්ල එක් කරන්නට දරණ උත්සාහයේදී මාපියන්ද අසරණ කරමින් ඔහු සියල්ල අවීනීත ලෙස හෙළිදරව් කරනවා. විටෙක ඇය හෝටලයක ඇතුළත සුන්දරත්වය ගැන විස්තර කරන කාන්තා ප්‍රකාශයක් පවා මේ සැමියා ඇයට පරිභව කරන්නට ආයුධයක් බවට පත්කර ගන්නවා. බිමල් සිය රංගයෙන් කදිම ලෙස තහවුරු කරන්නේ මධ්‍යම පාංතික චෞර සැමියාගේ ව්‍යාජ භූමිකාවයි.

කළු සුදු නොවන සෙසු චරිත රංගනය සඳහාද අති දක්ෂ ශිල්පීන් යොදා ගැනීම නිර්මාණයේ සාර්ථකත්වයට කෙතරම් බලපෑමක් කරන්නේද යන්න ‘දැකල පුරුදු කෙනෙක්’ නිර්මාණයෙන් මනාව තහවුරු වෙනවා. කැමරාකරණය, සංස්කරණය, සංගීතය ඈ සෙසු නිර්මාණ දායකත්වයන් සියල්ල මෙතරම් අනගි නිර්මාණයක් බවට කෘතිය පත්කරවද්දී ඒ ගැන වෙන වෙනම කතා කළ යුතු නැහැ. දිනිති සොයුරා සමඟ ඇවිද යන ඡේදනයෙන් තොර එකම රූප රාමුවක් සහිත දිගු දර්ශනය නම් සැබවින්ම අගය කළ යුතු යි. ජුගුප්සාජනක ලිංගික දර්ශනය සහ රිය අනතුර පිළිබඳ අවසන් සිද්ධි දාමය නිර්මාණයේ සංයමය පළුදු කරයි. සිය සැමියාගේ නොනිමි කෲරත්වය හමුවේ දිනිති තීරණය කරන්නේ සියදිවි සිඳ ගැනීමටයි. එයද සාර්ථක වන ව්‍යායාමයක් නොවේ. අවසානයේ දිනිති ඈ සතු මහරු වස්තූන් වන දියණිය සහ දිව්‍යමය ප්‍රේමයේ කෝප්ප සංකේතයද රැගෙන නිවසින් පිටවෙයි. චිත්‍රපටයෙහි අවිනිශ්චිත නිමාවද ජීවිතය සේමය.

මාතෘකා