තවත් බදාදා දිනයක්...

 ඡායාරූපය:

තවත් බදාදා දිනයක්...

“මහත්තයෝ මං මගේ අම්මයි, තාත්තයි එක්ක 1953 අවුරුද්දේ ගල්ඔයට ආවේ. ඒ එද්දි මම අවුරුදු 15ක විතර හැදීගෙන එන, ළමිස්සියෙක්.”

දත් නොමැති මුව විවර කර සිනා සෙන්නී. නව යෞවනියක සේ කෝල වෙයි. ඇගේ සිනාව අව්‍යාජය. පාට පිච්චී ගිය ඔසරියක් ඇඟලා සිටින්නීය. ඇය හමුවූයේ ආණ්ඩුවේ කන්තෝරුවක මහජන දිනයකදීය. මට ඉදිරියෙන් ඇය අසුන්ගෙන සිටී. ඒ දෙනෙත් විටෙක වියපත් බවද තවත් විටක දොම්නසද යළිත් බලාපොරොත්තු සහගත බවින් ද සැලෙයි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක එකම ගැහැනු දරුවා ඇයයි. බදුල්ල වැලිමඩට නෑකම් කියන ඔවුහු ගල්ඔය ව්‍යාපාරය ආරම්භයේදී අම්පාර ගොවි ජනපද වෙත සංක්‍රමණය වූ පවුල්වලින් එකකි.

“ අපි ගල්ඔයට එද්දී මල්ලී හිටියේ නෑ. අයියයි, මායි විතරයි හිටියේ. මගේ අයියා කාලයක්ම කළේ කුලියට කුඹුරුවල තෙල් ගහන්න යන එක. අන්තිමේ උන්දෑ වකුගඩු අමාරුව හැදිලා ඉක්මනින්ම මියැදුණා. මට මතක අසූ ගණන්වල වගේ.”

“දැන් අම්මා මොකටද මෙහෙට ආවේ? මොකක්ද අපෙන් කෙරෙන්න ඕන?”

“අපේ කුඹුරු ඉඩමේ අක්කර 03ක් තියෙනවා. මගේ තාත්තා ඒකෙන් අක්කර එකහමාර ගානේ මටයි මල්ලිටයි අයිතිය ලීවා. අපේ පදිංචි ගොඩ ඉඩම අක්කර දෙකයි. ඒකෙන් අක්කරේ ගානේ අපි දෙන්නට ලිව්වා. දැන් මගේ මල්ලිත් මැරිලා. උන්දැගේ හාමිනෙයි ළමයිනුයි අපි ඉඩමෙනුයි, ගෙදරිනුයි දෙකෙන්ම එළවනවා මහත්තයෝ. ”

“අම්මටත් අයිතියක් තියෙනවනේ, එළවන්නේ කොහොමද? එහෙම එළවන්න එයාට බෑනේ?”

“දැන් මට අයිතියක් නෑලු. අයිතිය උන්ටලු තියෙන්නෙ. මගේ තාත්තා මට ලියපු ඉඩම් කෑල්ලේ අයිතිය උන්ට ලැබෙන්නෙ කොහොමද මහත්තයෝ?”

ඇය අසරණව විමසයි. මම ලිපි ගොනුව නිරීක්ෂණය කරමි. කාරණය පැහැදිලි වේ. ඇගේ පියා ඉඩමේ පසු අයිතිය පවරා ඇත්තේ ඔහු නමින් තිබූ බලපත්‍රයේය. නමුත් පසුකාලීනව පියා ජීවත්ව සිටියදීම ඔහු නමින් ඔප්පුවක් සකස් වී තිබෙන අතර ප්‍රමාණවත් කාලයක් තිබියදීත් එහි පසු අයිතිය පැවරීමක් සිදු නොකර ඔහු මියගොස් ඇත. එවන් අවස්ථාවලදී බලපත්‍රයේ පසු අයිතිය පැවරීම නීතියට අනුව අහෝසි වේ. එවිට එය පසු උරුමය නම් නොකර කට්ටිකරු මියගිය ඉඩමකි. එවැනි ඉඩමක ප්‍රදාන පත්‍රයේ මුල් අයිතිය හිමි වන්නේ ඉඩම් කාර්ය සංග්‍රහයේ තුන්වන උපලේඛනයට අනුව වැඩිමහල් පිරිමි දරුවාටය. උරුමය පැවරීමේදී මවුපියන්ගේ කැමැත්ත ඉටු වීමට යටත් විජිත ආභාසය සහිත වර්තමාන ඉඩම් නීතිය හරස් වී ඇත.

මම නැවතත් ඇගේ හඬට සවන් දෙමි.

“අපේ ගෙදර මනුස්සයත් දැන් අවුරුදු විස්සකට විතර කලින් මාව දාලා ගියා පුතේ.”

“මහත්තයා” “පුතා” වී ඇත. මුලින් නොතිබූ ළෙන්ගතුකමක් ඇයට මා පිළිබඳව දැනෙන්නට ඇත. එකී ආමන්ත්‍රණයට මම කැමැත්තෙමි. ඒ මම උන්ගේම එකෙක් වන නිසාය.

“ඇයි අම්මගේ මහත්තයට මොකද වුණේ?”

“කුඹුරු කෑල්ල කරන්නයි දරුවන්ගේ අසනීපවලටයි උන්දෑ රටටම ණය වුණා. ඒවා ගෙවා ගන්න බැරුව හිස හැරුණු අතේ ගියා. ගෙදරින් ගිහින් මාසෙකට විතර පස්සේ කොණ්ඩුවටානේ මහ කැලේ තිබිලා උන්දැගේ මිනිය හම්බ වුණා. අඳුරගන්නත් බෑ එතකොට නරක් වෙලා. ඇඟේ කෑලි කබරයොත් කඩාගෙන කාලා” විරාමයක් ලබමින් දිගු සුසුමක් හෙලන්නී අඛණ්ඩව කතාව කියයි.

“දැන් මගේ ලොකු කොල්ලත් ගෑනියෙක් ගෙනල්ලා ඉන්නෙ අපේ ගෙදර. පොඩි කොල්ල කසාද බැන්දෙත් නෑ තාම. ලොකු එකී දීග ගිහින් වෙනම ඉන්නේ. මගෙ මල්ලිගෙ හාමිනෙයි, ළමයිනුත් ඉන්නෙ ඒ ගෙදර. ඒක ඒ කාලේ ආණ්ඩුවෙන් දුන්න පොඩි කොලනි ගේ. දැන් අවුරුදු 70ක් විතර වෙනවා ගෙට. මල්ලිගෙ හාමිනෙයි දරුවොයි මට ඒ ගෙදරිනුත් යන්න කියලා අරියාදු කරනවා. තාත්තා දුන්න කුඹුරු කෑල්ල උන් බලෙන්ම අල්ලගෙන වී වපුරනවා. එදා ඉඳලා උන්නු ගේ දාලා මං කොහෙ යන්නද පුතේ? මම යන්නේ නෑ මයෙ තාත්තා මට දුන්න ඉඩමෙන්. මං උන්ව මරාගෙන මැරෙනවා.”

මේ සමාජ අසාධාරණය ගැන කියවෙනා හතරැස් කෙටි කතාවක දෙබසක් නොවේ. දෙනෙත් ඉදිරිපිට මැවෙනා රටට බත සපයන්නට දහඩිය, ශ්‍රමය, වැගිරූ, ගොවි රජවරුන්ගේ ජීවමාන වර්තමානයයි. බදාදා දිනවල මෙවැනි කතා බොහොමයක් අසන්නට හැකිය.

හතර පෝයට සිල් ගන්නා අසූ වියැති මවුවරුන් ජීවත් වීම උදෙසා බිම්කඩක උරුමය වෙනුවෙන් මරාගෙන මැරෙන්නන් බවට පත් වූයේ කෙසේද? සාපේක්ෂව පරිසර හිතකාමී දේශීය කෘෂි සංස්කෘතියකට උරුමකම් කී ගොවි පරපුරක් බහුජාතික සමාගම්වල කෘෂි රසායනවලට බිලි දුන්නේ කවුරුන් ද? ඇඟේ හයිය ඇති, කල කම්මැළි නැති රට්ටුන්ට අතපාන්නට බිය වූ ගොවි පරපුරක් ණයකාරයන් කොට ආත්ම ශක්තිය සිඳ දමා මරා දැමුවේ කෙසේද? ගල්ඔය බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය හැත්තෑ වසරකට ආසන්න වී පවතින විට ඒ බිමේ උපත ලබන නූතන පරම්පරාවන් නොසලකා හැරීමට ලක් වීමෙන්ද ජීවනෝපාය මාර්ග නොමැති විමෙන්ද සමාජ අසාධාරණයන්ට ලක්වීමෙන්ද අපේක්ෂා භංගත්වයේ කරවටක් ගිලී ඇත.

“නීතිය, සදාචාරය, ආගම යන බොහොමයක් ධනේශ්වර අගතීන් පිටුපස ධනපති පන්තියේ වුවමනාවන් සැඟවී සිටී” එහෙම කීවේ කාල් මාක්ස්ය.

[කමල් නෙත්මිණි]

 

මාතෘකා