පුරවැසිභාවය සහ අධ්‍යාපනය

 ඡායාරූපය:

පුරවැසිභාවය සහ අධ්‍යාපනය

පුරවැසිකම සහ පුරවැසිභාවය අතර ඇති වෙනස්කම් පසුගිය සතිවල පැහැදිලි කළෙමි. “පුරවැසිභාවය පිළිබඳ සංකල්පයෙන් හඳුන්වා දෙන්නේ මානව සමාජය සංවර්ධනය කිරීමට දායක වන සමාජ, දේශපාලන සහ සදාචාර වගකීමක් බවය.” මෙම පුරවැසි වගකීම හඳුනා ගැනීම සඳහාත් එය සිය සමාජ ජීවිතයට ගෙන ඒම සඳහාත් පුරවැසියන්ව සූදානම් කළ යුතුය. මෙය සිදු කරන්නේ කෙසේ ද? අද බලාපොරොත්තු වන්නේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයට ඇති වගකීම සාකච්ඡා කරන්නටය.

රාජ්‍යයක් තුළ ජීවත් වීමෙන් මනුෂ්‍යයා අපේක්ෂා කරන්නේ ‘හොඳ ජීවිතය’ (Good Life) අත්පත් කර ගැනීම බව පෙන්වා දුන් ග්‍රීක යුගයේ දාර්ශනිකයන්ගේ අදහස්වලින් මෙම සාකච්ඡාව ආරම්භ කරමු. ජනරජය හෙවත් සමූහාණ්ඩුව පිළිබඳ සංකල්පය දේශපාලන දර්ශනය තුළට ගෙන ආ සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන සියලු දාර්ශනිකයන් මේ කාර්යය පැවරුවේ අධ්‍යාපනයටය.

සොක්‍රටීස් සහ ප්ලේටෝ අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලෙස දුටුවේ පුද්ගලයාගේත් සමාජයේත් ආශාවන් අත්පත් කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදී එමඟින් යහගුණය (Virtue) පුද්ගල සහ සමාජ ජීවිතයට ඇතුළු කිරීමය. ප්ලේටෝ සිය ‘ජනරජය’ නම්වූ කෘතියේ මනෝරාජික ලෙස නිර්මාණය කළ ජනරජය පවත්වා ගැනීමේ මූලික වගකීම පැවරුවේ අධ්‍යාපනයටය. පුද්ගලයන් උපත ලබන විටම රැගෙන එන ලැදියාව හඳුනාගෙන ඔවුන් විවිධ වෘත්තීන්ට යොමු කරන අතර සමාජය පාලනය කිරීමට අවශ්‍ය බුද්ධි හැකියාව ඇති අය වෙන් කරගෙන පාලකයන් වශයෙන් පුහුණු කිරීම ඔහු විසින් අධ්‍යාපනයට පවරනු ලැබුවේය. අධ්‍යාපනය සමූහාණ්ඩුවක පැවත්ම සඳහා කොතරම් වැදගත්ද යන්න එම සාකච්ඡාව පැහැදිලි කළේය.

ප්ලේටෝගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් මෙයට වඩා තරමක් වෙනස් ලෙස අධ්‍යාපනයේ වගකීම හඳුනා ගත්තේය. ඔහුට අනුව දැනුම අත්පත් කර ගැනීම පමණක් නොව, ජීවිතයට සතුට (Happiness) හෙවත් යහපත් බව (Goodness) අත්කර දීමද අධ්‍යාපනයේ පරමාර්ථය විය යුතුය. ඔහු ‘යහපත් බව’ කොටස් දෙකකට වෙන් කළේය. පළමුවැන්න වන්නේ බුද්ධියේ යහපත් බවයි. (Goodness in Intellect) දෙවැන්න වන්නේ චරිතයේ යහපත් බවයි. (Goodness in Character) ඔහුට අනුව පළමුවැන්න ඉගැන්වීම මඟින් ගොඩනැඟිය හැකි අතර දෙවැන්න හොඳ පුරුදු මඟින් ගොඩනැඟිය යුතුය. මේ දෙපැත්තෙන්ම සිදුවිය යුත්තේ යහගුණය පුද්ගලයාටද, ඔහු තුළින් සමාජයටද එක් කිරීමය.

ඇරිස්ටෝටල්ට අනුව යහගුණය යනු ‘හේතු යුක්තියේ පරිපූර්ණත්වයයි.’ (Perfection of Reason) හේතු යුක්තිය දැනුමේ පළමුවන මූලධර්මය වන අතර එය පරමාදර්ශී පැතිකඩයන් සලකා බලයි. ක්‍රියාකාරී හේතු යුක්තිය ලෝකය පහසුවෙන් වටහා ගැනීමට මග පෙන්වයි. රාජ්‍යයේ අරමුණ විය යුත්තේ සිය ජනතාව යහගුණය සහිත අය බවට පත් කිරිමට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමය. යහගුණය රාජ්‍යයේ ජීවන මූලධර්මයයි. එබැවින් තම ආයතන පද්ධතිය ඉලක්ක කර ගත් දේශපාලන අධ්‍යාපනයක් සෑම පුරවැසියකුටම ලබා දීම රාජ්‍යයේ වගකීමකි.

“සියලු මිනිසුන් නිදහසේ උපත ලබා ඇත. නමුත් ඔවුන් සිටින්නේ යදම්වලින් බැඳ දමාය.” යනුවෙන් ප්‍රකාශ කරමින් සිය ‘සමාජ සම්මුතිය’ නම් කෘතිය මඟින් ප්‍රංශ ජනරජය පිහිවූ 1789 ප්‍රංශ විප්ලවය සඳහා ජනතාව මෙහෙයවූ ජීන් ජැක් රූසෝ ජනරජයක පැවත්ම සඳහා පුරවැසියන් අධ්‍යානපනය මඟින් පුහුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. “පුරවැසියන්ව අධ්‍යාපනය මඟින් යහපත් කරන්න. අනෙක් සියල්ල එය පසුපස පැමිණෙනු ඇත.” යැයි ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ ලියා ඇත.

“අප උපත ලබන්නේ දුර්වල ලෙසය. එම නිසා අපට ශක්තිය අවශ්‍ය වෙයි. අප සහායක් රහිතව ඉපදෙයි. අපට සහාය අවශ්‍ය වෙයි. අප මෝඩය. එම නිසා අපට හේතු යුක්තිය අවශ්‍ය වෙයි. මේ සියල්ල උපතේදී අපට නැත. අප වැඩිහිටි බවට පත්වන විට මේ සියල්ල අවශ්‍ය වෙයි. මේ සියල්ල අධ්‍යාපනය විසින් ලබා දෙනු ලබන ත්‍යාගයන්ය.”

18 වන සියවසේ සිදුවූ ඉංග්‍රීසි, ප්‍රංශ සහ ඇමරිකානු විප්ලව තුනටම සහභාගි වූ තෝමස් පේන්, අධ්‍යාපනය සෑම මනුෂ්‍යයකුටම හිමිවිය යුතු අයිතිවාසිකමක් වශයෙන් 1792 දී ‘මිනිසාගේ අයිතිවාසිකම්’ නම් වූ සිය කෘතියෙන් පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමාජ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම මඟින් අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගත්තේය. සිය සමාජ වගකීමට කැපවන පුරවැසියකු ගොඩනැඟීමට අධ්‍යාපනයට ඇති වගකීම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම එමගින් රාජ්‍යයට පවරා ඇත.

විසි එක්වන සියවස සඳහා අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ වාර්තාව (1998) අධ්‍යාපනය මඟින් “මානව අයිතිවාසිකම්, සමාජ වගකීම්, සමාජ සාධාරණත්වය, දේශපාලන සහභාගීත්වය, සංස්කෘතික විවිධත්වය සහ බහුවිධත්වය, ඉවසීම, ස්වෙච්ඡාවාදය, සහයෝගිතාව, සැලසුම් කළ නවෝත්පාදන උද්යෝගය, අදහස් පළ කිරීමට සූදානම සහ පරිසරය ආරක්ෂා කිරීමට ඇති කැපවීම යන ඇගයුම් ලැබෙන ආකාරයට අධ්‍යාපනය විසින් අනාගත පුරවැසියා පුහුණු කරනු ලැබිය යුතු බව” සඳහන් කළේය. අපේ අධ්‍යාපන ක්‍රමය කොතෙක් දුරට මේ වටිනාකම් දරුවන්ට ලබා දෙන ආකාරයට පාසැල් පද්ධතිය සකසා තිබෙනවාද?

පසුගියදා රජයේ පාසැල්වල ගුරුවරු සිදුකළ වැඩවර්ජනය මෙම ප්‍රශ්නයට අදාළ වැදගත් පැතිකඩක් මතු කර ඇත. එනම් අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට කැපවී සිටින ගුරුවරුන් තුළ ‘වෘත්තීය තෘප්තිය’ ගොඩනැඟීමය.

මාතෘකා