සෙල්ලම්ද මැල්ලුම් අබ කොළ මැල්ලුම්

 ඡායාරූපය:

සෙල්ලම්ද මැල්ලුම් අබ කොළ මැල්ලුම්

අල, මුල්, පල, මල්, කොළ මේ කොයිවත් බතට රහට උයාගන්ඩ දැන හිටිය, එව්වයෙන් වැඩිමනත් හරිය ගෙවත්තෙ වගා කරාන පෝෂණය වෙච්ච සංස්කෘතික මුලක් අපිට තිබ්බ ආයුබෝං. ආයේ ගමෙන් මිදිල කොළඹට ආවයි කියාලා ඒ මුල් හැමෝම මුලින් උදුරලා විසික්ක කෙරුවෙ නෑ. අපේ ආනන්ද ජයසේකර උන්නැහේ ගාල්ලෙන් ගොඩගමට ඇවිත් එහේ හදාගත්ත තමුන්නෙ ගේ තිබෙද්දිම ළමයින්ගෙ ඉස්කෝලෙ යාම්ඊම්වලට පහසු හින්දා ඕං ඔය නාරාහේන්පිට පැත්තෙ තට්ටු ගේක කොටුවෙන්ඩ සිද්ධ වෙච්ච මනුස්සයෙක්. ඒත් වාසනාවට වාගේ ඒ ගෙවල් මණ්ඩියේ පොදු උඩ තට්ටුවෙ හිස් ඉඩ ඩිංගක් තියෙනවා. ඉතිං බලන්ඩ සිරියාවයි ලොකු පොඩි පෝච්චිවල කොළ මැල්ලුම් කන්ඩ මොනවහරි වගා දිගා කරාන ඉන්න හැටි. ඒක තමයි මං අර කිව්ව උදුරලා විසික්ක කරන්ඩ බැරි මුල. ආන්න ඒ වාගෙ වටින මුල් උදුරලා විසික්කා කරන්නෙ නැතුං, ගමටම වෙලා හිටියත් හිත අහළකටවත් ගන්නෙ නැතුං අස්පස් කරල දාන්ඩ ඕනි කුණු කන්දලුත් තියෙනවා. වැඩේ කියන්නෙ අපේ උන්දැලා වැඩිමනත් අහක් නොකර අල්ලාන බැඳගෙන ඉන්නෙ එව්වනෙ.

ලොකු පොඩි ගස් හැම එකක්ම මොකක්හරි ප්‍රයෝජනයකට ගන්ඩ පුළුවන් වෙච්ච අරුමයක්නෙ අපේ ගෙවතුවල තිබ්බෙ. ඒක හරියට ආහාර ගබඩාවක් වගේ. කොළ මැල්ලුම් කන්ඩ පුළුවන් ජාතිනම් ඕසෙට. හැම කොළ පලාවක්ම උහට නැගිටපු ඒවා නොවිච්ච හින්දා බිම බත් දාගෙන කන්ඩ පුළුවන් ගාණට වතු සුද්ද කරාන ඉඳහල්ලා කියලයි වයසක උන්දැලා බාල පොඩිස්සන්ට කිව්වෙ. ඉතිං ඔය ගෙවල්වල කුස්සියෙ වතුර ටික තාප්පෙන් පාරෙ කාණුවට වැටෙන්ඩ බට හයි කරලා තිබ්බෙ නැතිකොට කොරහට එකතුවෙන ඉඳුල් වතුර ඩිංග කුස්සි දොරකඩින් නැත්තං ජනෙල්ලෙම්ම චොකොස් ගාලා විසිකෙරුවා. ඒ වතුර වැටෙන තැන්වල බාගෙදා පලා ගාල්. මුකුණුවැන්න, සාරණ, කූර විතරක් නෙවෙයි අබත් පැළ වෙලා තියෙනවා.

සාරෙට අබ වැවුණොත් වේලෙන්ඩ ඇරලා ගස් පිටින් ගලවලා වට්ටියක තුනී කරලා අව්වෙන් තියනවා. ඕං ගෙදෙට්ට අබ ටික හම්බවෙච්ච හැටි. සාරෙට අබ වැවෙන කොට අර මුලිං එන ලොකු රැළි කොළ ටික මැල්ලුමට කන්ඩ බැරිවයැ. ඩිංගක් ඌෂ්ණයි කියලා කිව්වට අබ රහම රහ මැල්ලුමක්. අබ කොළ අමු සම්බෝලෙත් පංකාදුයි. මෙහෙමයි හදන්නෙ, අබ කොළ ටිකක් හම්බ වුණොත් හදලා බලන එකයි ඇත්තෙ. ලුණු ටිකකුත් දාපු වතුරෙන් අබ කොළ එහෙම පිටිම්ම හෝදලා ඇරන් හීනිවට ලියාගෙන, අමුමිරිස්, රතු ලූනු, දෙහි ඇඹුල් ලුණු එක්කම තියෙනවනම් උම්මලකඩ කුඩු ටිකකුත් දාලා අනාගන්න එක තමයි විදිය.

මේකත් ඉවිල්ලක්ද කියලා හිතෙන තරමට ලේසියි අබ කොළ මැල්ලුම හදාගන්න හැටිත්. ඒකට කරන්නෙ කොළ ටික අතින් ලොකුවට කඩාගන්න එක. අපේ අම්මලා ඒකට කිව්වෙ ඉරාලාල ගන්නවා කියලා. ඉතිං එහෙම කරලා සෝදලා කාරිය තාච්චියට දාලා ලුණු කුඩු ඩිංගකුත් දාලා මලවා ගන්නවා. මැලවෙන්ඩ ඕන ගාණකට ලස්සන කොළ පාට හේබාල යන්නෙ නැතිවෙන්ඩ. ඒ වෙනකොට වතුර තව තියනවානම් පෙරාලාල තෙල් රත්වෙන්ඩ ඇරලා ලොකු ලූනු ටිකක් මිරිස් කරල් දෙක තුනක් තෙලේ බැදුනම තෙම්පරාදු කරගන්නවා. මං නම් කවදත් කන්ඩ කැමතිම මැල්ලුමක් තමයි අබ කොළ.

ඔයාකාරෙටම අතින් කඩලා මැලවෙන්ඩ ඇරලා තෙල්දාලා ගත්තම කියන්ඩ වචන නැති ජාතියක්නෙ තැම්බේරි. පමණක් ඇත්තො ඒවට කිව්වෙ කළුකැම්බේරි කියලා. නින්ද යන්නෙ නැති උන්දැලා ඉන්නවානම් නිදිපෙති බොන්ඩ කලිං සතියකට දෙතුන් වේලක් තැම්බේරි මැල්ලුම් කාලා බලන්ඩකො. අතින් කඩලා මලවා ගන්නවා වාගෙම හීනිවට ලියලා පොල්දාලා මලවලත් තැම්බේරි කොළ පංකාදුයි. ඇයි හීනිවට ලියලා අමුවෙන් කන සම්බෝලෙ. තේ වතු මැද්දෙම ජීවිතය සින්නවෙච්ච අපේ වතුකරේ ඇත්තො තැම්බේරි කොළවලට තක්කාලි කොළ කියලා කිව්වා. එව්වයෙ පලගන්න සුට්ටං ගෙඩිය තක්කාලි ගෙඩියක් වාගෙ හින්දා වෙන්ඩ ඇති. ඉතිං මුන්දැලා බතටත් වැඩියෙං රොටී ගෙඩියක් කන්ඩ ආස වෙච්ච හින්දා මේ තැම්බේරි කොළවලින් රොටී කන්ඩ මාත්තුවක් හදාගත්තා.

ඒ මෙහෙමයි, තැම්බේරි කොළයි වුවමනානම් රැළි කාපිරි ගෝවා කොළ දෙකතුනකුයි වතුරෙන් තම්බාගන්නවා අමුමිරිස් කරල් දෙකතුනක් එහෙමත් එක්කහු කරලා. ඊටපස්සෙ ඒ තැම්බුම ගලේ දාලා අඹරගන්නවා තුනියට තලපයක් වගේ ඒකට ඇඹුලට සියඹලා ටිකක් කලවම් කරගත්තනම් වැඩිය හොඳයි. ඊටපස්සෙ තෙල්ටිකක් ළිප තියලා සුදු ලූනුයි ටිකක් යහමින් අබයි පුපුරන්ඩ ඇරලා අර තලපෙ දාලා කලවම් කරගන්නවා. ඒක හරියට චට්නියක් වාගෙ. රොටී කන්ඩ ආයෙ වෙන මොනවත් මොකටද? ඔන්න එතකොට මට මතක්වෙනවා රොටී කන වෛවාරණ විදි ගැන ලියන්ඩ ඕන කියලා. ඒක වෙනිං දවසක හාද? ඒ වුණාට කොහොම අමතක කරන්ඩද බදුල්ලෙදි කාපු, පලලා මැද්දට මඤ්ඤොක්කා කොළ ඔබපු හීන් පොල් රොටියි එළු බාබතුයි මවපු විසිතුරු රහ.

 

[ලසන්ත ද සිල්වා]

මාතෘකා