රැයක් උපද්දන හදක හැඟුම්

 ඡායාරූපය:

රැයක් උපද්දන හදක හැඟුම්

අද මතක වස්සානය ලියන්නේ දුරුතු සඳ එනතුරු මඟ බලන අහස්යාය මත තැනින් තැන ඇතිරූ තරු මල් දිලිසෙන රාත්‍රියක ය. මේ මතකය ජීවිතය ගැන ලියවුණු අපූර්ව පොතක් වටා සබැඳෙයි. ඒ ගැන ලියන්නට අවැසියැයි සිතට ආවේද මේ සුන්දර පරිසරය නිසාවෙන් හටගත් මනෝභාවයන් හේතුවෙන්ය. මේ රැය කොතෙක් නම් සුන්දර ද දිලෙන තරු කැලම වැද පිනිපොකුරු ද මුතු කැට සේම බබළයි. මම රාත්‍රියේ මේ සොඳුරු බව විඳිමි. විනිවිදිමි. ජීවිතයේ දහස් ගණනක් තැවුල් හැල හැප්පීම් අතර නේක විඳ දුක් පිරිපතෙන් දවස පුරා ඔද්දල්ව පැවැති සිත මේ අරුම සොබා සොඳුරු රසයෙන් මෝහනය වෙයි. සැබැවින්ම මෙවන් මොහොත් අනන්ත අප්‍රමාණව අප ජීවිතවල වෙයි. එහෙත් අප ඒ සොඳුරු නිමේෂයන් විඳීම මඟ හැර යන්නේ යැයි වරෙක මට සිතෙයි. මම එවන් අවස්ථාවල මගේ දෛනික ජීවිතයටම දෙස් තියමි. මා පමණක් නොව බොහෝ මිනිසුන් මේ සුන්දරත්වයේ අරුමය දන්නා වග මම දනිමි. එහෙත් ඔවුන් ද මා මෙන්ම මෙවන් රාත්‍රීන් කොපමණ නම් මඟහැර ගෙන ගොස් ඇත් ද? අවසන සිත්හි ඇතිවන්නේ ඒ කරුණ පිළිබඳ පශ්චාත්තාප වීමක් ම පමණක්ය.

මෙවන් බොහෝ අවස්ථාවල මගේ සිතුවිලි නිද්‍රාව විනිවිදින සුන්දර සාහිත්‍ය කෘතියක් පිළිබඳ මතකයක් සිතුවිලි ගලන ඉසව්වෙන් රංජනය වෙයි. ඒ වංග බසින් ලියැවුණු ‘ආරණ්‍යයක්’ කෘතියයි. එහි කතුවරයා වූ කලී විභූතිභූෂණ ඛන්ධෝප්පාධ්‍ය ය වෙයි. මෙය චින්තා ලක්ෂ්මි සිංහාරච්චි විසින් වංග බසින් සිංහලයට පරිවර්තනය කර ඇත. ඒ ‘අරණකට පෙම් බැඳ’ යනුවෙනි. මා මේ ගෙවන රාත්‍රියම ඛන්ධෝප්පාධ්‍යන් සිය කෘතියේ ලියා ඇති අයුරු මට සිහිවෙයි.

‘‘සඳ මුදුන් වීගෙන ආවේය. එය කොතරම් අපූරු සඳ එළියක්ද ! ඒ රාත්‍රිය කොතරම් සොඳුරු වී ද ! එක් පසෙකින් තෙත පඳුරුය. අනෙක් පස ඇති පාළු වැලි තලාවට සඳ එළිය වැටී ඇත. මෙවැනි පරිසරයකට සඳ එළිය වැටී ඇති අයුරු දැක නැති කෙනෙකුට එය කෙබඳු එකක්දැයි වටහා දීම අසීරුය’’

එය සැබෑවකි. නේක විධ රසින් මත්ව ජීවිතයේ අප්‍රමාණ දෑ අප කායිකව විඳ ඇති බව සැබෑවකි. එහෙත් මේ මහ සඳ පහන යට දැනෙන සිතුවිලිවල ඇති රමණීය බව සේ ම මෙවන් සඳ එළියක් යට සිතට ඇතිවන නොකිලිටි සැහැල්ලුව කිසිදිනක නොවිඳි මිනිසකුට එය කෙසේ නම් කියා දෙන්නදැයි නොසිතෙයි. එහෙත් මේ ශාන්ත සුවදායී මිහිර සිත මෝහනය කරන බැවු නම් නොරහසකි. ඒ මිහිර අත් නොවිඳ මේ මනුතලය මතින් දිනෙක මියැදෙන්නට තරම් ධනවාදයේ මූලයන්ට ගොදුරු වූ නූතන මිනිසා පවුකර ඇතැයි මට සිතෙයි.

එබැවිනි ඛන්ධෝප්පාධ්‍ය මෙසේ පවසා ඇත්තේ ”ජීවිතේ එක් වරක් හෝ එවැනි සඳ පහන් රැයක් දැකිය යුතුමය. එවැන්නක් නොදුටු අය දෙවියන්ගේ නිර්මාණ අතර වූ අපූරු දෙයක් දැක හඳුනා ගැනීමට අසමත් වූවෝ වෙති”

සැබෑවකි. අප ජීවිතය කියා බොහෝ දෑ ගොඩ ගසන්නෝ වෙමු. අති මහත් භෞතික ධන සමුච්චයක උරුමකරුවෝ වන්නෙමු. එහෙත් අප සතුව සතුට ඇත්දැයි කවරෙක් හෝ විමසුව හොත් දෙන්නට නිසි පිළිතුරක් වේදැයි අපට ම විමසන්නට සිදුවෙයි. නැත. ජීවිතය යනු ධනය පසුපස හඹා යෑම පමණක් නොවෙයි. මානසික නිරවුල් බව ඒ සියල්ලම පරයා අත්විඳිය යුතුය. අරණකට පෙම් බැඳ කෘතිය කියවන සැම මොහොතකම එහි එන කථානායකයා වන ගත පෙදෙස තුළ විඳින සුන්දර නිකැලැල් සුවබර සතුට අපට කිනම් දිනක සංස්පර්ශ කරන්නට හැකිවේදැයි යන ලෝභී හැඟුම පවා සිත තුළ ජනනය වන්නේ ඒ නිසාවෙන් විය හැකි ය.

මේ නිහඬ පරිසරය, මේ සොඳුරු සකුණ නාදය මොනතරම් සිත් පිනවන්නේ ද? මම දනිමි. නාගරිකකරණයේ දරුණු හස්තයෙන් බැට කෑ ඔබට මට මෙන් මෙවන් සුන්දර රැයක මෙවන් සුන්දර පරිසර හැඟුම් විඳ ගන්නට නොහැකි වග මම දනිමි. එහෙත් ඉඳහිට හෝ දිනෙක ඉඩ ලද ඇසිල්ලක කොහේ හෝ තැනකට ගොස් සුළඟ හමන හඬට කන්දෙන්න, වැස්සේ අසිරියට නෙත් යොමන්න, පියඹන සමනලුන් දෙස බලා හිඳින්න, බබළන තාරුකාවන්ට ඉඟි කරන්න, සඳ එළියට ගත හා වැතිරෙන්න ඉඩ දෙන්න

එසඳ

ඔබට, ඔබගේ සිතට ලොවෙහි ඇති හොඳම ඔසුව ලැබෙනු ඇත.

[ගයාන් අබේසිංහ]

මාතෘකා