වීරයා ගෙදර ඇවිත්

 ඡායාරූපය:

වීරයා ගෙදර ඇවිත්

‘වීරයා’ කාලානුරූපය. අවස්ථානුකූලය. සර්වකාලීන ගුණයක් හෝ සර්වභෞමික ගුණයක් ‘වීරයා’ නමැති නාමකරණයේ නැත. ‘වීරයා’ බිහිවන්නේ පවතින සමාජ ප්‍රපංචයන් තුළින්ය. වීරයා, වීරයා විසින්ම ස්වාත්මීකරණය නොවන අතර බාහිර විචල්‍යයන් විසින් ‘වීරයා’ අභිෂේක ගන්වනු ලබයි. ‘වීරයා’ බිහිවන්නේ පුද්ගල කේන්ද්‍රීය සාධක මත පමණක්ම නොවේ. ග්‍රීක නාට්‍ය හා රොමෑන්ටික් නාට්‍ය කලාවේත් ‘වීරයා’ දැකිය හැකිය. නූතන වීරයා, සම්භාව්‍ය වීරයා සමඟ එකිනෙකා සමපාත නොවේ. සම්භාව්‍ය වීරයාගේ ඛේදාන්තය ඔහුගේ වීරත්වය නිසාම ඇතිවන අතර නූතන වීරයාගේ ඛේදවාචකය සමාජ සංසිද්ධීන් සමඟ ඇතිවෙයි. සම්භාව්‍ය වීරයා තමා විසින්ම තමාගේ ඛේදවාචකය අත්පත් කර ගනු ලබන විට නූතන වීරයා තමන්ට පාලනය කළ නොහැකි දේශපාලනික කරුණු හේතුවෙන් ඛේදයට පත් වෙයි. එබැවින් නූතන වීරයා නමින් හඳුන්වන්නේම ලිබරල් වීරයෙකි. ලිබරල් සංසිද්ධීන් සමඟ (යුද්ධය වැනි) එකම තිඹිරිගෙයහි උපදින ‘වීරයා’ පවතින විචල්‍යයන් සමඟම ඛේදාන්තයට පත්වේ. ලිබරල් වීරයා පරාරෝපිත මායාවකි. සීතාම්බර පටලයකින් වැසූ හූනියමකි.

ගෙවී ගිය වසර තිහක කාලය ගෙවී ගියේ යුද්ධයක් සමඟින්ය. යුද්ධය මානුෂීය වුවත් යුද්ධය විසින් ඇති කරනු ලබන තුවාලයන් සුව කිරීමට මානව සමාජයකට වසර සිය ගණන් වුවද ගතවේ. යුද්ධය නිසා උත්කර්ෂයට නැංවූ ‘සොල්දාදුවා’ වීරයකු බවට පත් විය. මුළු සමාජයක් වෙලාගත් ත්‍රස්තවාදය නැති කිරීමට පෙරට පැමිණි යුද සෙබළා “වීරයෙක් වීම” අරුමයක් නොවේ. යුදවාදී සමාජයක යුද සෙබළා නිතැතින්ම වීරයෙකි. ඊට අවශ්‍ය වන්නාවූ මනෝ මූලික පෙළඹවීමද සිදු කරයි. ගමේ ගොඩේ කිසිවකුගේ ගරු සරුවක් නැතිව සිටි තරුණයකුට “යුද සෙබළකු වීම” ගෞරවයක් විය. හොඳ නිල ඇදුමක්, හොඳ සපත්තු කූට්ටමක්, හොඳ පඩියක් යනාදී වරප්‍රසාද හිමිවිය. බෝක්කු උඩ පාළම් යට බීඩි කොට උරමින් සිටි ගම්වල තරුණයන්ට සමාජ පිළිගැනීමක් ලැබුණි. එක් පසකින් සමාජය ත්‍රස්තයින්ගෙන් මුදා ගන්නා ගැලවුම්කරුවන්ය යන හැඳින්වීමෙන් ගැමි තරුණයන්ව පංතිමය වශයෙන් ඉහළට ඔසවා තබන්නාවූ මෙවලමක් වශයෙන්ද “යුද සෙබලා” යන්න පරාරෝපිත විය.

ගම්වල තරුණියන් මේ අලුත් මානවයාට අකර්ෂණය විය. බස් රථයේ යන විට අලුත් වීරයාට අසුනක් ලැබුණි. රෝහලේදී පෝළිමේ සිටීමකින් තොරව ප්‍රතිකාර ගත හැකිවිය. නිවාඩු ආ විටක මුළු ගමටම ඇසෙන්නට කැසට් රෙකෝඩරයක් දමා සොමියක් දැමිය හැකි වීරයෙක් විය. පාලම් යට, බෝක්කු උඩ හොර රහසේ උරා බිව් බීඩි කොට වෙනුවට ප්‍රසිද්ධියේ උරන්නට සිගරට් බන්ඩල් පිටින් ලැබෙනා වීරයෙක් විය. ගම්වල රැකියා විරහිත තරුණයන්ට යුද්ධය අලුතින් රැකියා බිහිකරන අලුත් වැඩපොළක් විය.

බාහිරව පෙනෙන වීරයාට වඩා වීරයාගේ ඇතුළාන්තය වඩා බිහිසුණු විය. කුණාටු සහිත විය. එහෙත් එවැනි රතු එළියක් බාහිර සමාජයට බංකර්වලට එපිටෙන් කිසිවිටකත් නොපෙණුනි. යුද්ධය සඳහා ගිය අතිශයින්ම දුප්පත් තරුණ තරුණියන්ගෙන් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් බොහෝ පිරිසක් පූර්ණ හෝ අර්ධ වශයෙන් අබ්බාගාතයන් බවට පත් වූහ. යුද්ධය නිමාවීමත් සමඟ සමාජය විසින් උත්කර්ෂයට නංවන ලද වීරයාගේ ඛේදවාචකය ආරම්භ විය. සැබෑ ලෙසින්ම වීරයාගේ ඛේදවාචකය යුද සමය තුළදී වුව පැවතුණද ඒ සඳහා අවධානයක් යොමු නොවීය. වීරයින්ද ඒ ගැන නොතැකීය. මුළුමහත් සමාජයම ත්‍රස්ත බියෙන් මුදවා ගත් වීරයින්, හොද්දක් රස කරන්නට යොදා ගන්නා “රම්පේ, කරපිංචා” මෙන් ඉවත දමන්නට විය. ලංකාවාසීන්ටද වීරයා අමතකව ගියේය. ලංකා සමාජයට තව දුරටත් යුද සෙබළා යනු ‘වීරයකු’ නොවේ. පෙර පැවැති ආකර්ෂණය යුද සෙබළා කෙරේ වර්තමානයේ දැකිය නොහැකිය. අපේක්ෂාද කළ නොහැකිය.

සියලු කටයුතු නිම කොට වීරයා ගෙදර පැමිණ තිබේ. එහෙත් ඔහු මීට වසර කිහිපයකට පෙර යුද්ධයේදී මිය ගොසිණි. ඔහුගේම මිය ගිය මළ සිරුර ගමේම මිහිදන් කර අවසන්ය. ඔහු මිය ගිය සෙබළෙකි. භෞතික වශයෙන්ද අධ්‍යාත්මික වශයෙන්ද ඔහු මිය ගොසින්ය. සෙබළාගේ නෙත් අන්ධය. ජීවත් වන්නට ජීවිකාවක් නැත. පෙම්කළ තරුණිය ඔහුගේම මිතුරා අතින්ම දූෂණය වී ඇත. ජීවත් වීමට සිටිනා එකම නිවස ගත් ණයක් නිසා සින්න වීමට නියමිතය. කනවැන්දුම් අක්කාට තවත් බරක් වනවා හැරෙන්නට මේ වීරයාට වෙනයම් ක්‍රමයක් නැත. පසුගිය කාලයේ කළ යුද අපරාධ වෙනුවෙන් පරීක්ෂණයට පෙනී සිටිය යුතුය. ඒ අතරම තව තවත් පාලකයන් වෙනුවෙන් කටයුතු කිරීමට යෝජනාද ඉදිරිපත් වේ.

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිදී ජාතික රූපවාහිනියෙන් විකාශනය වන “වීරයා ගෙදර ඇවිත්” ටෙලි නාට්‍ය පවතින සමාජ සන්ධර්භයන් විනිවිද දකින්නට ප්‍රේක්ෂක මනස යොමු කරයි. අතිශයින්ම සරල රසවින්දනයට යොමුවී තිබූ ටෙලිනාට්‍ය කලාව හරවත් කලාවක් බවට පත් කිරීමට දරන්නාවූ උත්සාහයක් මෙවැනි ටෙලි නාට්‍ය මඟින් අනාවරණය වේ. ඉනෝකා සත්‍යාංගනීගේ මග පෙන්වීම මෙහිදී අමතක කළ නොහැකිය. රූපවාහිනී රචනය නාමල් ජයසිංහගෙනි. නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ආනන්ද අබේනායකයන්ගේය. රොෂාන් රවින්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, චන්ද්‍රා කලුආරච්චි, චින්තක කුලතුංග, සනත් අබේනායක යනාදී ප්‍රවීණ නළු නිළියන් රැසක්ම මෙම නාට්‍ය සඳහා රංග දායකත්වය ලබා දෙති. මෙහිදී රොෂාන් රවින්ද්‍රගේ රංගනය ඉතා ඉහළ නිර්මාණශීලී මට්ටමක පවතී. කතාව, දෙබස්, රංගනය යනාදිය ඉතා විශිෂ්ට අන්දමින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගනී. “වීරයා ගෙදර ඇවිත්”ටෙලි නාට්‍ය වැදගත් වන්නේ පසුගාමීව තිබූ ටෙලිනාට්‍ය කලාව පියවර කිහිපයකින් ඉහළට ඔසවා තැබීමට සමත් වන නිසාය.

“වීරයා ගෙදර ඇවිත් ” නව ලිබරල් වීරයාගේ ඛේදවාචකය පමණක් නොව, මිලටරි වීරයාගේ ඛේදවාචකයද විනිවිද දකියි. විදේශයන්වලින් ගෙන්වන අවර ගණයේ ටෙලි නාට්‍යවලට වඩා නිර්මාණශීලී මෙවැනි නිර්මාණ ප්‍රේක්ෂකයින් විසින් පරිශීලනය කරනු ලැබීම ඉතාමත් වැදගත්ය. කාලෝචිතය.

[ගාමිණී බස්නායක]

මාතෘකා