අහන කතා සහ ඇහෙන කතා

 ඡායාරූපය:

අහන කතා සහ ඇහෙන කතා

මෑතකදී මගෙ මිතුරියක් සහ ඇයගේ සැමියා විශේෂ උත්සවයක ගීත ගායනා කළා. මේ දෙදෙනාම පූර්ණ දෘශ්‍යාබාධිතයි. ඒ අවස්ථාව එහි සිටි වි‍ශේෂ අමුත්තෙක් වීඩියෝ කර මුහුණු පොතට නිකුත් කර තිබුණා. ඔවුන් දෙදෙනා ගීතය ගායනා කළ අයුරු සවන් දෙමින් සිටින විට පසුබිමෙන් අපූරු දෙබසක් ඇහුනා.

“බලන්න මේ දෙන්නටම පේන්නෑ. මෙහෙම අය මොකටද මන්ද කසාඳ බදින්නේ. දරුවෙක්වත් හදන්න පුළුවන්ද? හැදුවත් ළමයට කිරි ටිකක් පොවා ගන්නෙ කොහොමද? බත් කටක් කවා ගන්නෙ කොහොමද? කට කියලා නාහෙට, මූණට කවාවි. අනික දරුව හිනා වෙනවද? අඬනවද කියලවත් දන්නවාද? දරුව ඇවිදිනකොට කොහොම ඇවිදිනවද? කොහේ යයි ද කියලා දැන ගන්නේ කොහොමද? මේ අයගේ දෙමාපියන්ටවත් තේරුනේ නැද්ද මන්දා මේවා.”

මේ දෙබස ඇසුණ විට එක වර හිනාවෙනවද? කුමක් කියන්නද කියාවත් සිතා ගන්න බැරි වුනා. මගෙ මිතුරියටත් එහෙමයි.

මේ අහඹුවකින් ඇසුණු එක් අවස්ථාවක් පමණයි. මේ ප්‍රදර්ශනය කරන්නේ ඔබගේ විඥානය නොවේද? ඔබ සිතා සිටින්නේ අපි ගැන එසේද?

දෑස නොපෙනෙනවා විනා අනිකුත් ඉන්ද්‍රීන්වල දුබලතාවක් දෘශ්‍යාබාධිතයන්ට නැත. ඔබටත් වඩා හොඳට ඔවුනට ඇසෙනවා. දැනෙනවා. මනසට වැටහෙනවා. දරුවාගේ ඇස, කන, නාසය හඳුනාගැනීමට නො හැකි තරම් සංජානනයේ දුර්වලතාවක් නැති අතර මේ ලොව විවාහක දෘශ්‍යාබාධිත පවුල්වලට අනාබාධිත දරුවන් සිටිනවා. ඔවුන්ට කවා පොවා ඇතිදැඩි කරමින් හොඳ අධ්‍යාපනයක් ලබාදී ඇති අවස්ථා අපමණයි.

“ඔයාලා කන්නෙ බොන්නෙ අපි කන ඒවාමද? උයන්නේ අපි උයන ඒවාමද?”

මේ අසන්නට ලැබුණු තවත් කතාවක්. මෙවන් ප්‍රශ්නවලට ලබාදිය යුතු පිළිතුර කුමක්ද? ඔවුන් දෘශ්‍යාබාධිත ඇතුළු විවිධ හැකියා සහිත පුද්ගලයන් පිළිබඳ සිතා සිටින්නේ කෙසේද? යම් අඩුවක් තිබුණ ද ඔවුහුද මිනිසුන් ය. වෙනස් ම වූ සත්ත්ව කොටසක් නොවේ.

“ඔයා සිරීපාදෙ ගිහින් තියනවාද? ”

“ඔවු. මං දෙපාරක් ගිහින් තියනවා.”

“ආ ඇත්තද. දවස් දෙක තුනක්, සතියක්වත් යන්න ඇති නේද?”

ඔබගේ දැනුමේ පරාසය ද මේ? ඔවුනට සමාජයට බට විට උපකාරයට ඕනෑතරම් දෑත් දිඟු වේ. ඒ නැතත් සුදු සැරයැටිය ඇති කල ඕනෑම තැනක ඔබට වගේම හනි හනික ඔවුනට ද යා හැකි ය.

“ඔයාලගෙ ඔය සුදුසැරයැටියට හැමදේම දැනෙනවා නේද?”

සුදුසැරයැටිය ගැන සමාජයේ තිබෙන්නේ මේ වගේ මතයක්. එහෙත් එය එසේ නොවේ. සුදුසැරයැටිය බාධකවල හැපුණු විට එය හඳුනා ගන්නවා විනා ඊට වඩා වෙනස්, විශේෂ දෙයක් සිදුවන්නේ නැත.

“ඔයාලා ගන්නෙ බොන්නෙ, ඇදුම් අඳින්නෙ, නාන්නෙ තව අනිත් වැඩ කරගන්නෙ කොහොමද?”

මෙවන් ප්‍රශ්නවලට අපි පිළිතුරු සපයන්නේ කෙසේද? පිරිසක් ඉදිරියේ මෙවන් ප්‍රශ්න අසන විට දෘශ්‍යාබාධිත තැනැත්තා කොතරම් අපහසුතාවට පත්වෙනවාද? ඔවුනට දැනෙණ මානසික හැඟීම, ඇති වන මානසික පීඩනය පිළිබඳ ඔබ මදක්වත් කල්පනා කර බැලුවාද? මේ කතාව ඔබ සියලු දෙනාට අදාළ වන්නේ නැත. මෙවන් අඥාන ප්‍රශ්න නො අසන, විවිධ හැකියා සහිත ඇති තැනැත්තන් සමාජයට, පරිසරයට අනුවර්තනය වී ඇති ආකාරය හොඳින් අවබෝධ කර ගත් පිරිසකුත් සමාජයේ සිටිනවා. නිසි දේ නිසි වේලාවට කිරීමට, අවශ්‍යතාවන් හඳුනාගැනීමට ඔවුනට හොඳ හැකියාවක් තිබෙනවා. එවන්නෝ අපි හැමටම සහනයක්. සතුටක්.

මෑතකදී රැකියා සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම ගිය අපේ මිතුර මිතුරියන්ට මුහුණද‍ීමට වූයේ අමුතුම ආකාරයක සම්මුඛ පරීක්ෂණයකටය. කුමන හෝ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන විට සහභාගීවන්නාගෙන් අසන්නේ අදාළ විෂයට, ආයතනයට අදාළ දෑය. නමුත් අපේ මිතුර මිතුරියන්ට සිදුවූයේ ඉහත සඳහන් කළ ආකාරයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු දීමට ය. කන්නෙ කොහොමද?, ඉගෙන ගත්තෙ කොහොමද?, යන්නෙ එන්නෙ කොහොමද?, ආදි ප්‍රශ්නත් තව තවත් ප්‍රශ්නත් ඒ අතර අනිවාර්යයෙන් තිබෙනවා. ඒ කුමන ප්‍රශ්න ඇසුවත්, අසා තොරතුරු දැනගෙන අවබෝධයක් ලබාගත්තත් අවසන් ප්‍රතිඵලය සුභදායිවූයේ නැත.

“ඔයාලට මේ වැඩ කරන්න බැරි වේවි. එක්කො සුදුසුකම් තියනවා. ඒත් ඔයාලාගෙ ආබාධිත බව තමයි ප්‍රශ්නෙ.”

කොතරම් දේ අසා දැනගෙන අවබෝධ කරගත්තත්, ඇති ඵලේ කුමක්ද? ආකල්පවල වෙනසක් නොවේනම් මිනිසා සිටින්නේ කොතනකද?

දෑස පෙනෙන ඔබ පුද්ගලයාගෙන් පුද්ගලයා වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වරූපය අනුවය. ඔබටත් ඇතැම් විට හඬ අනුවය. ඔබ හොඳින් දන්නා අයෙක් වෙනස්ම ස්වරූපයකින් ඔබ වෙත ආ විට ඔබ හඳුනා ගන්නේ කෙසේද? එය ඔබට කළ හැකිද? දෘශ්‍යාබාධිත තැනැත්තන් පුද්ගලයන් හඳුනාගන්නේ හඬ අනුව ය. ඉතාම සුවිශේෂි හෝ සමීපම කෙනෙක් නම් අඩි ශබ්දය, ස්පර්ශය, විශේෂ සුවඳක් ආදිය ද හේතු කාරණා විය හැකි. එය එසේ නම් හඬ වෙනස්ම කර කතා කරයි නම් ඔවුන් ඒ පුද්ගලයා හඳුනාගන්නේ කෙසේද? එය ඔවුනට කරන සමච්චලයක්, ඔවුන් අපහසුතාවක් නොවේද?

ඒ විතරක් නොවේ. ඇතමුන් අතිශය පෞද්ගලික කාරණා ඇසීමට පවා දෙවරක් සිතන්නේ නැත.

ඇතැම් කතාවලට සිනා පහළ වේ. තවත් විටක ඇතිවන්නේ කනගාටුවක්. මිනිසා යනු බුද්ධිමත් සත්ත්වයෙක්. නමුත් ඇතමුන් මේ ආකාර ප්‍රශ්න අසන විට ඒ බුද්ධිය පිළිබඳ ගැටලුවක් පැන නගී. බුද්ධිය මෙහෙයවා තාර්කිකව සිතනවා නම් විඥානය භාවිත කරනවා නම් මෙවන් ප්‍රශ්න ඇති නොවනු ඇත.

ඉදින් මේ ඇතමුන් අසන ප්‍රශ්නවලට අපි සිනාසෙනවාද? හඬනවාද? කම්පා වෙනවාද? ලජ්ජා වෙනවාද?

[සත්‍ය නිර්මාණී]

 

මාතෘකා