මනසින් කුරු මිනිසුන්

 ඡායාරූපය:

මනසින් කුරු මිනිසුන්

අප එදිනදා කතාබහේදී “මේවා කොට ජීවිත” යන්න බහුලව භාවිත කෙරේ. කොට, මිට්, කුරු යන වචන බොහෝ විට යෙදෙනුයේ පුද්ගලයකුගේ බාහිර ස්වරූපය විස්තර කිරීම සඳහාය. එහෙත් ‘කෙටි’ යන වචනය ඊට සමකොට සිතුවහොත් ඉන් පුද්ගල ජීවිතයක අනිත්‍ය බව, සිතිවිලිවල ක්ෂණික බව හා මනසින් මද බවද උපමා කොට දැක්විය හැකිය.

එකල ජිප්සීස්ලා ‘කුරුමිට්ටෝ’ ගීතය ගයද්දී එය ඉතා කෙටි කලකින් මිනිසුන් අතර ජනප්‍රිය ගීතයක් විය. සුනිල් පෙරේරාම කියූ පරිදි එයට වඩාත් ඇළුම් කළේ කුඩා දරුවන්ය. මහ මිනිසුන්ට සුනිල් පෙරේරා විකාරකාරයකු සහ පීචං සිංදු කියන ගායකයකු විය. ‘කුරුමිට්ටා’ දරුවන්ට ආදරණීය වෙද්දී වැඩිහිටියෝ අඟහරුවල තිබූ අපල සොයමින් සිටියෝය. ඒ පොඩි මිනිසුන් සහ ලොකු මිනිසුන් මේ සමාජ වටපිටාව ග්‍රහණය කර ගන්නා පරිමාවයි.

මෑතකදී කරළියට ආ තවත් කතාවකි ‘නිට්ටෑවන්’. ක්ෂණික නූඩ්ල්ස් මෙන් කලින් කලට තාවකාලික සමාජ උත්තේජක සපයන මාධ්‍ය වටපිටාව හරහා ‘නිට්ටෑවන්’ ශීඝ්‍රයෙන් අලෙවි වෙමින් පැවතිණි. එය මෙරට කුරු ජනගහනය විකිණීම දක්වා දැන් ව්‍යාප්තව පවතී. මෙතෙක් කල් එවන් මිනිසුන් කොට්ඨාසයක් සිටියේදවත් නොදන්නා අපට දැන් ඔවුන් මේ සමාජයෙන් පීඩා විඳින ආකාරය ගැන කතිකාවතක් හදන්නට වුවමනා වී තිබේ. එය සාධනීය එළැඹුමකි. නමුත් ඒ, නිට්ටෑවන් මෙන් එය ඉතා කෙටි කලෙකින් වේදිකාවෙන් බැස යන මිත්‍යාවක් නොවන්නේ නම් පමණි.

උත්සව සමයට සෑම අතකම ඇති ‘සේල්’ බෝඩ් මෙන් කෙටි කාලයකට පැමිණ යන දිනද තිබේ. කාන්තා දින, කම්කරු දින, ළමා දින, වැලැන්ටයින් දින, වැනි සබන් බෝල ආතල් ඉන් කිහිපයකි. ඒවාටම සැදී පැහැදී ඉන්නා නෝනලා මහත්වරු ඒ දින ටිකේ වේදිකා හොල්ලති. මයික් ගිලිති. රට කරන ඇත්තෝ කෝච්චි පෙට්ටි වෙන් කරති. කාන්තාවන් පමණක් දමා ගුවන් යානා උඩ අරිති. ඉන් පසුව නැවතත් කම්කරුවෝ වෙහෙසෙති. මැරෙති. ළමයි අධ්‍යාපන තරඟවලට ගාල් වෙති. කාන්තාවෝ කුස්සියටම වෙති. චතුරිකාලා කලාපවලදී අතවර වෙති. පෙම්වතුන් එල්ලෙති, වස බොති. අපේ ඇත්තෝ ඊළඟට පැමිණෙන ජනප්‍රිය මාතෘකාවේ සැතපී සිටිති.

ලංකාවේ කොපමණ රිය අනතුරු වෙත්දැයි ගණන් බලන්නට සංඛ්‍යා ලේඛන සොයා වෙහෙසිය යුතු නැත. එයට ඇති ඉතාම කෙටි මාර්ගය නාලිකා කිහිපයක ප්‍රවෘත්ති විකාශයන් දෙස බලා සිටීමයි. එහෙත් අපට ලොකු දොස්තර නෝනලා බීලා වාහන හප්පන එක, ඇමති පුත්තු ගෙවල් බිඳින එක, පොලිස් නිලධාරීන් යට කරන එක, ලාල් කාන්තලා අතින් ඇක්සිඩන්ට් සිදුවීම වැනි කෙටි කාලයක් කටේ දමා හපන චුයින්ගමයක සතුට විඳිමින් තාමත් අප සියල්ලෝම කෙටිකාලීන ඇස්බැන්ඳුම්වලින්ම ප්‍රීතිය සොයා යති. බස් රථයක ස්ටිකර් ඉවත් කළ විට, හඬ වැඩි නලා ගලවා ඉවත් කළ විට, හයිවේ හැදූ විට ප්‍රවාහන සේවයේ සියලු ප්‍රශ්න විසදෙතැයි සිතනා රටක පුරවැසියන් වීම ආඩම්බරයෙන් සැළකිය යුතුය.

අප සිටිනුයේ සියල්ල බෝඩ් ලෑල්ලකින් දැනුම් දිය යුතු, හිතීමේ ශක්තිය හීන සමාජයකය. “කුණු නොදමන්න”, “දුම් නොබොන්න”, “කෙල නොගසන්න”, “පෝලිම් වෙන්න”, “ආසනය දෙන්න”, “හිස් වැසුම්, පාවහන් ගලවන්න”, “පස්ස හරවා හිඳ නොගන්න” යනාදී වශයෙන් සිය ගණන් ඉල්ලීම් සහිත බෝඩ් ලෑලි අතර අපි මනසින් කෙතරම් කුරු මිනිසුන්ද යන වග පසක් කර ගත හැකිය.

සාමාන්‍ය දැනීම් නැති, පොදු සමාජ කියවීමක් නැති, එකිනෙකාට අනන්‍ය වූ දැක්මක් නැති අප, රිමෝට් කන්ට්‍රෝලර් මඟින් නාළිකා සුසර කරන විද්‍යුත් පරිපත සහිත රූප පෙට්ටි මෙනි. රොබෝ යන්ත්‍ර මෙනි.

පෙනුමින් කෙතරම් දේහධාරී වූවද මනසින් කුරු සමාජයක් දියුණුවේ මාවත වෙත ගමන් ගන්නේ නැත. ඉතා කෙටි ආස්වාද මත නතරවූ මිනිසුන් සැබෑ ආශ්වාදය හෝ තෘප්තිය විඳින්නේද නැත. නිර්මාණය කර දුන් කුඩා රාමුවක් මත බෙලි කරකවමින් එහි ඇති දේ පමණක් දකිමින් සිටින්නට අපව හුරු කර තිබේ. වැසිකිලියකට වඩා වරායක්, ගුවන් තොටක්, හයිවේ එකක්, මරුය යන කුරු මානසිකත්වයෙන් මිඳුණු මිනිසුන් කෙටි කලෙකින් අපේක්ෂා කළ නොහැකිය. අප සිටින්නේ එවන් මිනිසුන් අවැසිම කාලයකය.

මාතෘකා