සෙල්ලම්ද මැල්ලුම්

 ඡායාරූපය:

සෙල්ලම්ද මැල්ලුම්

කර ගස්වල කටු පිරිලා හරියට උගුරැස්ස ගහ වගේ. කහපාට කරගෙඩි ලොකු හාමුදුරුවන්නෙ සිවුරෙ පාටමයි. අපි ටික්කිරි සන්දියෙ රහට එව්ව මෙව්ව කඩසෝරු කන්ඩ සල්ලි තිබ්බෙ නෑ. සුමානෙකට දෙතුන් විඩක් අබා අයිස්පලම් විකුණන්ඩ අග්ගිස්සට රබර් බෝලයක් හයිකරපු නළාව පෑම් පෑම් ගාලා අතින් මිරිකලා පිඹ පිඹ ගම්මැද්දෙන් යන නානාගෙ පස්සෙ දුවන්ඩ රුපියලක් කයෙන් හරි ඉල්ලා ගත්තෙත් අමාරුවෙන් කන් කෙඳිරි ගාලා. මාමා කැඩිච්ච කෑලි තියේනං දෙන්ඩ කිව්වම මුස්ලිම් මිනිහෙක් වෙච්ච උන්දැත් හරි හතරැස් පෙට්ටිය පල්ල අතගාලා කැඩිච්ච පලම් කෑලි නිකම් දුන්නා. කාගෙ වුණත් දරුවො නෙව කියලා හිතන්ඩ ඇති.

අනෙක් වෙලාවට අපිට කන්ඩ තිබ්බෙ ගඩාගෙඩි තමයි. හිඹිලියා, කර, ඔය වාගෙ තවත් එව්වා. කර අතුපිටින් කඩන් කෑවෙ. අමුවෙන් කද්දි අමු ලාවුලු කනවා වාගේ. ඩිංගක් ඉදෙන්ඩ ඇරියම මට නම් උගුරැස්ස වාගේ. අවාරෙට කැලේ කොළේ කරක් ගහද්දි කර ගහක් දැක්කම කර කොළත් කෑවා. එව්වයෙ යම්තම් මුහුවෙච්ච කිරි රහකුත් තිබ්බා. ඉතිං අර බැමිණිතියා මහා සාය වෙලාවෙ මහ තෙරුණ්නාන්සෙලා කර කොළ වළඳමින් සාසනේ රැක්කා කියනවානෙ. ඒ බුදු පුත්තු දැන් ඉන්න ගොඩක් උන්නාන්සෙලාට වැඩිය සහසුද්දෙන් වෙනස් කියන එක ඉත්තේරුවෙන් කියන්ඩ ඔය කතාව විතරක් උනත් ඇති. ඔයාකාර කර කොළ හීනිවට ලියලා පොල්රතු ලූනු දාලා අමුවෙන් කන්ඩ විතරක් නෙවෙයි ටිකක් වෙන්ඩ මලවලා මැල්ලුම් කන්ඩත් පුළුවන්. හැබැයි ඉතිං හැමතැනම නැත්තෙ කරගස් තමයි නේද? කරගස්තලාව, කරගහඋල්පත වාගේ ග්‍රාම නාම හැදිලා තියෙන්නෙ එව්වා යහමින් තිබ්බ තැන් හින්දා වෙන්ඩැති.

අවුරුද්ද කිට්ටු වෙද්දි රතුපාටට මොට්ටු මොට්ටු එරමුදු මල් පිපෙනවා. අම්මලා අපිට උගන්නනවා ආං බලපල්ල අවුරුද්දත් කිට්ටු කිට්ටු එරමුදු මල් මොට්ටු මොට්ටු කියලා. කිතුල්දෝව පීල්ලට කිට්ටුව පාත බදන්ඩ බැරි පත එරමුදු ගස් තිබුණා. මං දැක්ක මහ විසාලම එරමුදු ගහ තියෙන්නෙ සුරතලී දිය ඇල්ල ගාව. ඇත්තටම ඒක යෝධ ගස් රජෙක්. කොයි එරමුදු ගහෙත් කටු තිබ්බෙ නෑ. කටු තිබ්බ ඒවට කිව්වා කටු එරමුදු ගස් කියලා. කාටහරි කොල්ලෙකුට කෙල්ලෙකුට කිරිපණු අමාරුව වගේ පේනවා නම් මේකට කටු එරමුදු දළු ටිකක් හදලා දෙන එකනෙ ඇත්තෙ බොල කියලා කියාපු උදවිය ගම්වල හිටියා.

එක දොහක් මාලා නැන්දා අපිට හාල්පිටි හැලප දුන්නා කැන්ද කොළ හොයන්ඩ කම්මැලි කමේ එරමුදු කොළවල ඔතලා හදාපු. ඉතිං පණු අමාරු තිබ්බා නැතා කියලා කාරි නැතුං එරමුදු දළු කෑවට වරදක් තියේයැ. කොයි මැල්ලුමත් වාගෙ හදන්ඩ වැඩි අමාරුවක් නැහැ. හීනියට ලියලා පොල් අමුමිරිස්, ලියාපු රතු ලූනුත් දාලා ටිකක් වෙන්ඩ මලවා ගන්ඩ. අර අඟුණ කොළ වාගේ රහක් තියෙයි. තවත් විදියක් කියන්ඩද කිරට හින්දලා හදන විදියක්. ඒකෙදි එරමුදු දළු කපාගන්නෙ ලොකු කෑලිවලට, ඊටපස්සෙ අමුමිරිස්, රතු ලූනු, කහකුඩු, ලුණු, පොල් මිටිකිරි දමාලා හින්දවලා උයාගන්නවා. කැමති නම් උම්බලකුඩු කෑලි ටිකක් කුඩු කරලා ඉහ ගන්ඩ. බත් පිඟානක් දෙකක් මරා ගත්තැකි බයක් හැකක් නැතුං. බඩ පණුවොත් මට්ටු වෙයි නෙ.

ළමුන්නෙ බඩ පණුවො හලාගන්ඩ මේ විදියටම දෙන්ඩ පුළුවන් තවත් දෙයක්ලු කුඹුරු දළු. එහේ තැන්තැන්වල ඉතුරුවෙලා තිබ්බ කැලෑ රොදවල කිතුල්, ලුණුවරල ගස් බදාගෙන උඩ නැගපු කුඹුරු වැල්වලත් රතුවට ලස්සන මල් පිපුණා. කුඹුරුවැල අල්ලන්ඩ ලේසි නෑ. මොකද හැමතැනම කටු. අපි කුඹුරුවැල්වලට ආදරේ කෙරුවෙ එව්වයෙ හැදුණ යකඩ වාගෙ දැඩි සුදුපාට ඇට හින්දා. මේ වටකුරු ඇටය ටීක්බෝලයක් විතර ඇති. අප්පා ඒවයෙ හයිය. කුඹුරු ඇටයක් සිමෙන්තියක අතුල්ලාලා කායෙ හරි ඇඟ තියන එක අපූරු සෙල්ලමක්. මොකද ඒක රත්වෙලානෙ. ඒ විදිහටම අතුල්ලලා රත්කරන්ඩ පුළුවන් තවත් ඇටයක් තමයි සුල්ලි ඇට. අපි සුල්ලි ඇට කිව්වෙ පුස්වැල්වල ඇටයට. ඒවා වාර්නිෂ් ගෑවා වගේ දිලිසෙන දුඹුරු පාට ඇටයක්. ඝනකම මාරි ඉස්කෝතුවක් වගේ. අපිට තවත් සෙල්ලම් බඩුවක් දුන්න ටොක්ක ගහ හරියට මාර ගහක් වගේ.

කරල් හැබ වතුවල ඉබේ හැදුණා. දැන්නම් ඒවා වල් කියලා අහක් කරනවා. ඔය කරලක් කාට හරි දෙනවා හරි මැද්දෙන් මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරට තියලා අල්ලගන්ඩ. ඊටපස්සෙ අහනවා උඹ ගිරවෙක් බලන්ඩ ආසද කියලා. ඔව් කිව්වම පහළින් එල්ලෙන කරල් හැබ නැට්ට අදිනවා. එතකොට අර උල් ඇට ඇනුණම ගිරවා පේනවා. අම්මා මේ කරල් හැබ දළු කවළම් මැල්ලුමට දැම්මා. එහෙම නැත්නම් අතින් ලොකුවට කඩලා තම්පලා වාගේ මැලෙව්වා. නැත්නම් ලියාලා පොල් දාලා මැලෙව්වා. කොහොම වුණත් ඒක රස මැල්ලුමක්. අපිට සත්ව විද්‍යාව උගන්නපු ආරියපාල සර් කිව්වෙ කරල්හැබ සීනි අමාරුවට හොඳම බෙහෙතක් කියලා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා