මහඔයට ආ රාජකපුරු

 ඡායාරූපය:

මහඔයට ආ රාජකපුරු

උතුරු නැඟෙනහිර යුද්ධයට වසර තිහකි. රාජකපුරු නාට්‍යයටත් වසර තිහකි. ‘රාජකපුරු’ නාට්‍යය මහඔයේ ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ලැබෙන්නේ මේ වසරේ මාර්තු 02 වැනි දිනදීය. යුද්ධය කොතරම් දේ අපට අහිමි කර ඇද්දැයි තව තවත් සිතන්නට ඉඩකඩ සලසමින් ‘රාජකපුරු’ වේදිකා ගත විය.

ප්‍රේක්ෂකාගාරය අන්ධකාරයේ ගිලී ගිය පසුව දේශන ශාලාවක් නාට්‍ය රඟහලක් වූ නිමේෂයක ‘රාජකපුරු’ සමඟින් ඉතිහාසය හා වර්තමානය ගැටගසා ගන්නට උත්සාහ දැරීම මනරම්ය. වේදිකාවේ එක් එක් චරිත වේදිකා ආලෝකයෙන් දීප්තිමත් වන විට කරුමයකට මෙන් දේශපාලන වේදිකාවේ එක් එක් චරිත ‘මනස් වේදිකාවේ’ අනවසරයෙන් කරක් ගසයි. කලාව, සාහිත්‍ය, සංවාද, විසංවාද, දේශපාලනය, සංවර්ධනය, කාන්තා අයිතීන් යනාදී මෙකී නොකී සියලුම මාතෘකා කොළොම්තොටින් නැව් නැග මෙවන් ප්‍රත්‍යයන්ත දේශයක මොහොතකට හෝ කල-එළි බසින්නේ නම් කොතරම් අපූර්වක්ද? “කොළඹට කිරි ගමට කැකිරි” කියා කලක් කීවේය. එයින් දශක ගණනාවක් ගෙවී ගොස් ඇතත් බෙදී යාමෙහි හා බෙදා ගැනීමෙහි නම් ඇත්තේ විෂමතාවයකි. තවමත් ගමට කැකිරිවලට වඩා වැඩි යමක් ලැබෙන්නේ නැත.

කාත්තාවන් වෙනුවෙන් කෝච්චියේ පෙට්ටි වෙන් කළත් කාන්තාවන්ට හා පිරිමින්ට එක්ව නැරැඹිය හැකි කලාවක් අප අභියසෙහි තවමත් නැත. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර ආදී කුලයන්ට එක්ව රසවිඳීමට විනෝද මාර්ගයක් නොමැති වූයේ යැයි මහා බ්‍රහ්මයාට සැළකළ හෙයින් සිව් වේදයෙන් එක් එක් කොටස් ගෙන පංචම වේදයක් වශයෙන් නාට්‍ය වේදය සකස් කළ බව භරතමුණිගේ ‘නාට්‍ය ශාස්ත්‍රය’ කෘතියෙහි සඳහන් වෙයි. එබැවින් අප අරගල කළ යුත්තේ කාන්තාවන් වෙනුවෙන් කෝච්චියේ පෙට්ටියක් දිනාගැනීමට පමණක් නොව, ගැහැනු සහ පිරිමින්ට එක්ව රසවිදිය හැකි ‘කලාවක්’ බිහිකර ගැනීමටය.

1988 රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් පළමු වරට වේදිකා ගතවූ රාජකපුරු වේදිකා නාට්‍යය හොඳම රචනය සඳහා තෙවන ස්ථානය, හොදම රංග වින්‍යාසය සඳහා ප්‍රථම ස්ථානය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය සඳහා ප්‍රථම ස්ථානය යනාදී සම්මාන හිමිකර ගත්තේය. සිරිසේන ප්‍රේමලාල්ගේ රචනයක් වනෙ ‘රාජකපුරු’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ජනක් ප්‍රේමලාල්ය.

දේශීය නාට්‍යය කලාවේ පදනම සකස් විය යුත්තේ දේශීය ශාන්තිකර්ම, ගැමි නාටක, තොවිල් පවිල් යනාදියෙහි ආභාසය ලබමින් බව මහාචාර්ය සරච්චන්චද්‍ර මහතා අනුදත් මාර්ගයයි. සිරිසේන ප්‍රේමලාල්ද ‘රාජකපුරු’ වේදිකා නාට්‍ය සඳහා කතාව සොරකම් කරන්නේ ජනශ්‍රැතියෙන්ය. ‘පඹයා රජ වීම’ කතාව නාට්‍යය සඳහා යොදා ගන්නා නාට්‍යකරු එමඟින් බල දේශපාලනයේ ඇති වංචනික ස්වභාවය විවරණය කරයි. පරිවර්තන නාට්‍යය මඟින් හෝ සරල හාස්‍ය දනවන නාට්‍ය මඟින් දේශීය වේදිකා නාට්‍යය කලාව ගොඩ නැඟිය හැකිය යන මිත්‍යාව සුණුවිසිණු කරන්නට රාජකපුරු නාට්‍ය සමත් වන්නේ රටේ ගම් දනව් සිසාරා වසර තිහක් පුරා වේදිකාගත වීමෙන්ය. නාට්‍යය නිෂ්පාදනය වූ කාලයට සාපේක්ෂව සමාජය විශාල වශයෙන් පරිවර්තනය විය. ඒ සෑම කාලයකදීම නාට්‍යය මඟින් ඉදිරිපත් කරන රසය ප්‍රේක්ෂකයන් විසින් වැළඳගනු ලැබීය.

‘රාජකපුරු’ නාට්‍ය ඇරඹෙන්නේ රටේ රජු මියගිය පුවතකින්ය. රජු හදිසියේ මියගිය කළ රාජ්‍යයට උරුමකම් කියනා කිසියම් පුද්ගලයකු නොමැති නම් රාජකීය ඇතු සරසවා වීදි සංචාරයට යොමු කොට සුසුදු පුද්ගලයකු තෝරා ගැනීම රාජ්‍ය සම්ප්‍රදායයි. මෙලෙස රාජකීය ඇතු සුදුසු පුද්ගලයකු අභිමුවට පැමිණ දණ ගැසීම එම පුද්ගලයාට රජ පදවිය ලැබීමට සුදුසුකමක් වන්නේය. රාජවාසලේ මහ ඇමැති, පුරෝහිත, රජුට දාව උපන් කුමාරයෙක් රජ පදවිය ලැබීමට ඇතු දණ ගස්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදයි. දේවාලයේ ආගමික කටයුතු කරන පුද්ගලයාද මෙම වංචනික කටයුත්තට දායක වෙයි. ඇතු වීදි සංචාරයට පිවිස රජ පදවිය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට පහර දෙයි. අවසානයේ හේනක බැද සිටි ‘පඹයකු’ ළඟ වැඳ වැටෙයි. රාජ්‍ය නීතිය අනුව පඹයා රජවාසලට ඔසවාගෙන ඔටුන්න පඹයාට පිරිනමයි.

පඹයාට ජීවයක් නොමැති නිසා ජීවක වෛද්‍යවරයාට යොමුකරන අතර වෛද්‍යවරයා පඹයාට ජීවය ලබා දීමේ අරමුණෙන් ප්‍රශස්ති ගායනා කිරීමට නියම කරයි. ප්‍රශස්ති ගායනය ඇසීමත් සමඟ රජුට ජීවය ලැබෙයි. ජීවය ලැබීමත් සමඟ රජුට හිමිවිය යුතු රත්න සතක් අතුරෙන් කාන්තා රත්නයක් සොයාගෙන ඒම සදහා පිරිස් පිටත් කර හරියි. රාජ සේවකයින් විසින් කැදවාගෙන එනු ලබන ස්ත්‍රී රත්නය සමග මදුසමය විඳිමින් හිඳින අතරතුර ‘පඹ රජුගේ’ ජීවය නිරුද්ධ වෙයි. පඹයාගේ සැබෑ හිමිකරු වන ගමරාල පැමිණ පඹයා සොරකම් කරගෙන යන්නේ මෙම අවස්ථාවේදීය. නාට්‍ය අවසන් වන්නේ පඹයකුට රජකම පිරිනැමූ රාජ්‍ය නිලධාරීන් පෙර පරිදිම ‘රජුගේ ඔටුන්න’ රාජ්‍යත්වයට පත්කර රාජ්‍යත්වය දැහැමෙන් සෙමින් කරගෙන යාමට ප්‍රතිඥා දීමෙන්ය.

‘රාජකපුරු’ නාට්‍ය පවතින දේශපාලනික ප්‍රපංචය තේරුම් ගැනීමට, විවරණය කර ගැනීමට අවස්ථාව සලසයි. රාජ්‍යත්වය සමඟ බැඳී තිබෙන්නාවූ ව්‍යාජය පෙන්වාලයි. එහෙත් අප දැන දැනම එකී ව්‍යාජය ආරක්ෂා කරයි. රටක් වශයෙන් දියුණු විය නොහැක්කේ මෙලෙස ව්‍යාජයේ හිස සඟවාගෙන සිටින නිසාය. රාජකීය ඇතු දණ නවන ඕනෑම පුද්ගලයකු රජකු වශයෙන් පිළිගැනීම අප වසර දහස් ගණනක් පවත්වාගෙන එන සිරිතකි. වර්තමානයේද ජනතාව කුමන පුද්ගලයකු රජ වශයෙන් පත් කළද එය ඉවසා සිටින්නට ජානමය වශයෙන් අප සූදානම්ය. පුද්ගලයා සවිඥානික නොවී, සක්‍රීයව දායක නොවී තෝරා ගන්නා ඕනෑම රජකුගෙන් ජනතාවට සෙතක් නැත. බ්‍රෙෂ්ට් වරක් ප්‍රකාශ කළාක් මෙන් අප අරගල කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව, බුද්ධිමත් ජනතාවක් පත් කර ගැනීමටයි. එවැනි බුද්ධිමත් ජනතාවක් පත්කර ගැනීමට ‘රාජකපුරු’ නාට්‍යය මඟින් විහිදුවන ඥානාලෝකය ඉවහල් වේ.

[ගාමිණි

මාතෘකා