ආගමික සංස්ථාව කලාවට බලපෑම් කිරීමේ අභියෝගය

 ඡායාරූපය:

ආගමික සංස්ථාව කලාවට බලපෑම් කිරීමේ අභියෝගය

නීත්‍යනුකූල නොවන විවිධ සංවිධාන නිර්මාණය කර ගනිමින් මෙරට කලාකරුවන්ගේ නිදහස අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද මෙම කුමන්ත්‍රණකරුවන් රාජ්‍ය නොවන සංවිධානවල මුදල් ගරා ගැනීමේ අරමුණින් රට තුළ අර්බුද ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවටද 'ලංකා ලේඛක සංවිධානයේ ලේකම්' දේ වි ගාල්ලගේ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ යෞවන සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර මහතාට එරෙහිව 'බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ' නම් සංවිධානයක් මගින් නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනයක් පිළිබඳව අප කළ අදහස් විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ලේඛකයන් විදිහට අපි සියලු දෙනාම එකතු විය යුතු අවස්ථාවක් මේක. මෙහෙම ගියොත් අපිට කිසිම පුද්ගලයෙක් ගැන කෙටි කතාවක හෝ වෙනත් කලා කෘතියක සඳහන් කරන්න බැරි වෙනවා. වෛද්‍යවරයෙක් සම්බන්ධ කතාවක් ලිව්වාම ඒ වෘත්තිකයො එකතු වෙලා අපිට විරුද්ධව පැමිණිලි කරන්න ගනීවි. දිසාපති කෙනෙක්ගෙ, ගුරුවරයෙක්ගෙ චරිතයක් කලා නිර්මාණයකට ගත්තාම ඒ අය විරෝධතා දක්වාවි එයාලට අපහාස වුණා කියල. ඔය කිසිම තරාතිරමක ශුද්ධවන්තයෝ පමණක් නැහැ.

හැම සමාජ සංස්ථාවකම විවිධ චර්යාවන් සහිත පුද්ගලයො ඉන්නවා. හොඳ අය වගේම නරක අයත්. නිර්මාණකරුවා ප්‍රබන්ධ කරන්නේ විය හැකි දේ ගැන මිසක් සිදුවුණු දේ ගැන නෙවෙයි. සංඝ සමාජය වුණත් අති පාරිශුද්ධ තැනක් නෙවෙයි. චීවරධාරීන් විසින් සිදුකළ විවිධ අපචාර වගේම නීති විරෝධී ක්‍රියාත් අපි නිතරම මාධ්‍යයෙන් දකිනවා. එහෙම තිබියදී කෙටිකතාවක තිබුණු කාරණයක් සම්බන්ධයෙන් මේ තරම් විශාල විරොධතාවක් දැක්වීම පිටුපස තියෙන්නෙ එන්ජීඕ සතුටු කරල මුදල් ගරා ගැනීමේ අරමුණ මිසක් වෙන එකක් නෙවෙයි.

මහ නායක හාමුදුරුවන්ටවත් පාලනය කරන්න බැරි සංඝ සමාජයක් අද බිහිවෙලා. චීවරයෙ අදහසවත් දන්නෙ නැති අය චීවර දරාගෙන සමාජයට විවිධ බලපෑම් කරමින් ඉන්නවා. රටේ පාලනයටත් බලපෑම් කරනවා. භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගෙන් සිදුවන විවිධ අපචාර සම්බන්ධයෙන් රජය මැදිහත්වන විට එය ගිහියන්ට අයත් දෙයක් නොවන බව ප්‍රකාශ කරමින් එරෙහි වෙනවා.

අපේ රටේ සියලු ආගමික සංස්ථාවන් මේ වන විට දැඩි සේ පිරිහිලා. සියලු කලාකරුවන් එකතු වී කලාවට කරන මෙම බලපෑමට එරෙහි විය යුතුයි. ශක්තිකගෙ කෙටිකතාවෙ සමස්ත අර්ථය නොසලකා එහි සඳහන් වචන කිහිපයක් පමණක් ගෙන ඔහු සේවය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිදුකළ කලබගෑනිය පිළිබඳව අපි ලේඛකයන් විදිහට විරෝධය ප්‍රකාශ කරනවා. අද ඔහුට සිදුවූ දේ හෙට අපට සිදුවේවි. ඒ නිසා අපි මෙම සිදුවීම සුළු කොට තකන්නේ නැහැ. මෙයට එරෙහිව අපත් කළහැකි හැම දෙයක්ම කරනවා.

බුදුදහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නම් සංවිධානය නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය පිළිබඳව ශක්තික සත්කුමාර මහතා සේවය කරන පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක මහත්මියගෙන් අප කළ විමසීමේදී ඇය ප්‍රකාශ කළේ එවැනි ලිපියක් තමන් වෙත ලැබී නොමැති බවයි. එමෙන්ම එවැනි නමක් සහිත සංවිධානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැති බවත් ලියාපදිංචි නොකළ සංවිධාන පවත්වාගෙන යාම නීති විරෝධී බවත් ඇය ප්‍රකාශ කරන ලදි. කෙසේ වුවත් තම කාර්යාලයේ සංවර්ධන නිලධාරියකුගේ නිර්මාණයක් සම්බන්ධව තමා වෙත වාචික පැමිණිල්ලක් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් සිදු කරන ලද බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම් වෙත වාර්තා කර ඇති අතර ඊට පිළිතුරු ලැබුණු පසු ඒ අනුව කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පළාත් සාහිත්‍ය සම්මාන සහ යෞවන සම්මාන රැසක් දිනා ඇති ශක්තික සත්කුමාර මහතා ප්‍රකාශ කරන්නේ පාසල් වියේ සිට නිර්මාණකරණයේ යෙදී ඇති තමා කෙටිකතාවක චරිත ගොඩනැඟීමට ඇතුළත් කළ කරුණු මිස කිසිදු ආගමකට අපහාස කිරීමේ අදහසක් තමා තුළ නොතිබූ බවයි. හෙලයේ මහා ගත්කරු වික්‍රමසිංහයන්ගේ කෘතිවල පවා ආගම පිළිබඳ අන්ධ විශ්වාසයන් ප්‍රශ්න කර තිබූ අවස්ථා තමා දැක ඇති අතර කලක් තහනමට ලක්ව තිබූ දැතිරෝදෙන් උපන් බුදුන් කෘතිය සහ වල්පොළ රාහුල හිමියන්ගේ සත්‍යෝදය කෘතිය කියවීමෙන් තමාට එරෙහි මෙම බෞද්ධයන්ට සත්‍ය අවබෝධ කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ සංවිධානයෙන් විමසීමට අවශ්‍ය වුවද ඔවුන් සම්බන්ධ කරගත හැකි කිසිදු තොරතුරක් ලිපියේ සඳහන්ව නැත. එහි සඳහන් ලිපිනයේද එවැනි සංවිධානයක් නැත. මෙම තත්ත්වය තුළ පැහැදිලි වන්නේ පෞද්ගලික පළිගැනීමක් සඳහා මෙම ලිපිය මාධ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බවයි.

වාරියපොළ සමූහ [ඒ. චන්ද්‍රසේකර]

මාතෘකා