විකල්ප බලවේගවල ඉතිහාසය

 ඡායාරූපය:

විකල්ප බලවේගවල ඉතිහාසය

දේශපාලන ඉතිහාසය පුරා ප්‍රධාන දහරාවෙන් එපිට වෙනස් මඟක් සෙවූ කණ්ඩායම් රැසකි. විකල්පය සොයා යන ගමනේදී එම කණ්ඩායම්වල ඉතිහාසය ද ඉතාම වැදගත්ය. ක්‍රමය වෙනස් කරන්නට ගොස් එම ක්‍රමයේම ගොදුරක් හෝ සුරතලුන් වන්නට මේ බොහෝ දෙනාට සිදු විය. නමුත් අප ඉතාම පරීක්ෂාකාරීව බලද්දී පෙණෙන කරුණ නම් බොහෝ විකල්ප බලවේග නිර්මාණය වූයේ ප්‍රධාන දහරාවේ බලය පිළිබඳ ගැටලුවක් මුල්කරගෙනය. අවසානයේ ඔවුන් තම මවු කඳවුරු වෙතම නැවත යෑමද දක්නට හැකිවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ප්‍රධානම වෙන්වීම ලෙස අප දකින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැනීමයි. එම වෙන්වීම තුළින් යම් ප්‍රතිඵලයක් අප දකින්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයදීය. නමුත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර පාලනයේදී කිසිදු වෙනසක් දක්නට නොවිණි.

ජනතා විමුක්ති පෙරමුණ

රෝහණ විජේවීර නිර්මාණය කරන ලද ජනතා විමුක්ති පෙරමුණ එකල, මෙරට සැබෑම විකල්පයක් ලෙස දක්නට හැකිවිය. එහි දේශපාලනය ද සංස්කෘතිය ද වෙනස් මඟක් වූ අතර අසාර්ථක සන්නද්ධ කැරලි දෙකකට පසුව ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පිවිසීමේදී නැවත ශ්‍රී ලාංකේය දේශපාලනයට නැවුම් බවක් දීමට ඔවුන්ට හැකිවිය.

නමුත් ජවිපේ, එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ ඇමතිකම් බාරගෙන රජයට එක්වීමත් ජනාධිපතිවරණ 5කදී තම අපේක්ෂකයන් ඉවත්කර ප්‍රධාන දහරාවේ එක් පාර්ශ්වයක් පරාජය කිරීමට සහයෝගය දැක්වීමත් ඉන් අවස්ථා හතරකදී ඔවුන් උදවු කළ අපේක්ෂකයන් ජයග්‍රහනය කරවීමත් සමඟ ඔවුන් විකල්ප අවකාශයෙන් කෙමෙන් කෙමෙන් ඉවත් වන්නට විය. නමුදු අදටත් ප්‍රධාන දහරාවෙන් එපිට වෙනස් දේශපාලන ක්‍රමයක් සහ සංස්කෘතියක් ඔවුන් සතුවේ.

ශ්‍රී ලංකා මහජන පක්ෂය

බල අරගලයක් හේතුකොට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී, විජය - චන්ද්‍රිකා ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිකළ අතර පසු කලෙක චන්ද්‍රිකා කුමාරණතුංග නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණෙන් ජනාධිපති පදවියට පත්විය.

 

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සමඟ ඇති වූ බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු පිරිසක් වෙන්වී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කළ අතර ලලිත් ඇතුලත්මුදලි සහ ආර්. ප්‍රේමදාස ඝාතනය වීමත් සමඟ ගාමිණී දිසානායක යළි එජාපය සමඟ එක්වී ජනාධිපතිවරණයටද තරග කළේය.

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමයද මේ ප්‍රධාන ප්‍රවාහයන්ගෙන් එපිට දේශපාලනයක් උදෙසා ප්‍රවේශ වූ පක්ෂයකි. ජනප්‍රිය ස්වාමීන්වහන්සේලා පිරිසකගේ මූලිකත්වයෙන් සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමත් සමඟ රට තුළ ඇතිවූ කම්පනයද භාවිත කරමින් ජාතික හෙළ උරුමය කලඑළි බැස්සේය. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේත් ආණ්ඩුවලට ඔවුන් සම්බන්ධ විය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

සරත් ෆෝන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද බිහිවන්නේ, ඔහු එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂවල පොදු අපේක්ෂකයා වී පරාජය වීමෙන් අනතුරුවය. පළාත් සභා මැතිවරණයේදී යම් ජයග්‍රහණ කිහිපයක් ඔවුන් සතු වුවත් මහමැතිවරණයේදී ලැබූ අන්ත පරාජයත් සමඟ නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය.

සම සමාජ සහ කොමිනිස්ට් පක්ෂ ඇතුළු වාමාංශික පක්ෂ බහුතරයක් අද දේශපාලනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය.

විකල්ප තිබුණාද?

ඉහත සඳහන් දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීත්වය දෙස ප්‍රවේශමෙන් බැලීමේදී දක්නට තිබෙන ප්‍රධාන කරුණ නම් ඔවුන් විකල්පයක් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය සඳහා සහ ජාතික හෙළ උරුමය ධර්ම රාජ්‍ය සඳහා දේශපාලනය ආරම්භ කිරීමේදී යම් විකල්පීය ගමනක් පෙන්නුම් කළද පසුකාලීනව එය වෙනස් විය. විකල්ප ගොඩනැඟිය යුත්තේ මේ ප්‍රධාන ප්‍රවාහයන්ගෙන් එළියේ විය යුතු යැයි පවතින එක් මතයකි. අනෙක් මතය නම් ප්‍රධාන කඳවුරුවල, විකල්ප මත රෝපනය කර එයට බලපෑම් කිරීම මඟින් රට විකල්පයකට ගෙන ආ යුතු බවයි.

ප්‍රධාන කඳවුරුවලට සම්බන්ධ වූ වෙනස් මතධාරීන් එම කඳවුරුවල ගමනට යම් සාධනීය බලපෑම් කළ අවස්ථාද නැතුවම නොවේ. ඒ ලෙසින් ගත් කල දෙවැනි මතයද සැලකිල්ලට ගත යුතුය. මේ කාරණා දෙකම ඇතුළත්වන පරිදි හයිබ්‍රිඩ් පන්නයේ දේශපාලන උපක්‍රමයක්ද භාවිත කළ හැක. නමුත් එය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතු වන්නේ මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විසින් විකල්ප බිලි ගැනීමට ද එයින් අවස්ථාවක් තිබෙන නිසාය. ඉතිහාසය නැවත නැවත වෙමින් පවතී. ඉතිහාසයේ කිසිදිනක වී නොමැති දේද වීමට පුළුවන. එවිට එය අලුත් ඉතිහාසයක් ලිවීමට මඟපාදයි. රට ගොඩ ගැනීමට නම් අලුත් ඉතිහාසයක් ලිවිය යුතුය.

මාතෘකා