අභිමන් සහ අවමන්

 ඡායාරූපය:

අභිමන් සහ අවමන්

තවත් ලෝක කාන්තා දිනයක් වෙනදා වගේම හරසරින් සැමරුණා. සුපුරුදු පරිදි ආණ්ඩුවේ අනුග්‍රහය ලද රාජ්‍ය උත්සවයකුත් ඊට සමාගාමීව රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ ආයතන විසින් සංවිධානය කළ උත්සව රැසක්ද රට පුරා පැවැත්වුණා. කාන්තා දිනයට වටිනාකමක් එක්කරමින් දුම්රිය මැදිරි කිහිපයක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කිරීමද එදිනම සිදුවුණා. එපමණක් නොවෙයි ස්ත්‍රීත්වයට අපූර්වත්වයක් එක්කරමින් ලක් ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්යමණ්ඩලයකින් යුතු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් සිංගප්පූරුව බලා පියාසර කරනු ලැබුවා. මේ සියල්ලම ලෝක කාන්තා දිනයේ බොහෝ දෙනාගේ කතාබහට අලුත් මාතෘකාවන් සැපයීමට සමත් වුණා.

ඒ අතරින් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් වෙන්කිරීම ගැන උපහාසය මුසුවූ කතාබහ බොහොමයක් අසන්නට ලැබුණා. කාන්තාවන් වෙනුවෙන් මැදිරි කිහිපයක් වෙන්කළ පමණින් කාන්තාවන්ට සිදුවන හිංසන නතර කළ නොහැකි බව ඒ බොහෝ කතාවලින් කියැවුණා. ගැහැනුන්ට දක්වන විශේෂත්වය පිරිමින්ට නැතිවීම ගැන වගේම එසේ වෙන්කළ ගැහැනු මැදිරිවලට නොදැනුවත්කමින් නැඟි පිරිමින්ට කාන්තාවන්ගෙන් එල්ල වූ හිංසන ගැනත් බොහෝ විවේචන අසන්නට ලැබුණා.

කාන්තා දුම්රිය මැදිරි ගැන එල්ල වූ විවේචන අතරින් හොඳම විවේචනය අසන්නට ලැබුණේ කාන්තාවන්ගෙන්ම වීම අරුමයක් වුවත් එය සැබෑවක් බව සනාථ වන අදහස් දැක්වීම් සහ ඡායාරූපවලින් මුහුණු පොතද පිරී ගොස් තිබුණා. වෙන්කළ කාන්තා මැදිරි කාන්තාවන්ගෙන් පිරී යතැයි සිතුවත් සිදුව තිබුණේ අනෙකක්. එම මැදිරිවල ගමන් කොට තිබුණේ සීමිත කාන්තාවන් පිරිසක් වන අතර වෙනදා මෙන් සෙසු දුම්රිය මැදිරිවල ගමන් කළ කාන්තාවන් සමඟ පෙරදාටත් වැඩි තදබදයක් ඒවායේ දක්නට තිබුණා.

"කාන්තා මැදිරියක් වෙන්කරලා තිබිලත් ඇයි ඔයාලා ඒකේ යන්නේ නැත්තේ?"

ඒ පැනයට බොහෝ කාන්තාවන් සහ යුවතියන්ගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරු.

 

"අපෝ අපි නම් ඒවායේ යන්නේ නැහැ. මේ පුරුදු විදිහ හොඳයි"

"ගෑනියෙක් කවද්ද ගෑනියෙක්ට සැලකුවේ. ඒ මැදිරි අයිතිකරගෙන ඉන්න ගෑනු කට්ටිය එක්ක අපිට ඒවායේ යන එක ලේසි නැහැ"

"ගෑනු විතරක් ඉන්න තැන ගෑනුන්ට කොහෙද ආරක්ෂාවක්"

සරලව පෙනුණද ඒ වදන් තුළ සැඟව ඇත්තේ ගැහැනියක ගැන තවත් ගැහැනියක ගැන විශ්වාසයක් නැති බව නොවේද?

"ඔහොම කෝචිචි පෙට්ටි වෙන්කරන වැඩෙන් වැඩිපුරම අසරණ වෙන්නේ අත දරුවො අරගෙන කෝච්චියට නඟින අම්මලයි දරුවො ලැබෙන්න ඉන්න අම්මලයි. මොකද ඒ දෙගොල්ලන්ටම හුඟක් වෙලාවට බස් එකේදි කෝච්චියේදී සීට් එකක් දෙන්නේ පිරිමි මිසක් ගෑනු නෙවෙයිනේ."

කාන්තා කෝච්චි මැදිරි ගැන ඇසුණු චෝදනා අතර තිබූ බරපතළම චෝදනාව එය දැයි සිතුණා. ගැහැනු යනු මෘදු මොළොක් සුකොමල සංවේදී අපූර්වතම වස්තුවක් බවට කොතෙක් උපහැරණ තිබුණද එය කොතෙක් දුරට සත්‍යයක් දැයි පසක් වන්නේ ගැහැනුකමට එරෙහි එවැනි චෝදනා ඇසෙද්දීය. ගැහැනියක වුවත් ඒ චෝදනාව ප්‍රතික්ෙෂ්ප කළ හැකි කරුණු මාද මෙතෙක් දැක නැතිවීම අවාසනාවක්.

දශක කිහිපයකට ඉහතදී කුස්සිය මුල්ලේ සිටි ගැහැනිය මේ වන විට ලොවම ජයගෙන ඇති බව කිසිවකුට රහසක් නොවේ. එහෙත් අතීත ගැහැනිය සතුව තිබූ බොහෝමයක් උත්තම ගතිගුණ සහ ඇගේ මවුකම කොහේදෝ ඈතකට පලාගොස් ඇතැයි සැකයක් ඇති නොවෙනවාද නොවේ. ගැහැනිය සතු විසල් ආත්ම ශක්තිය ගැන අවිවාදයක් නැහැ. ඇය විසින් සිය දරුවන් ඇතුළු පවුල වෙනුවෙන් කරනා මෙහෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එවැනි ආදර්ශවත් දිරිය කතුන් ගැන කියැවෙන දහසක් කතා අතරේ ස්ත්‍රීත්වයට නොවටිනා තරම් තත්ත්වයට වැටුණු කාන්තාවන් ගැනද අසන්නට ලැබෙනවා. මෙවර කාන්තා දින රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපූරු කතාවක් පවසා තිබුණා.

" අපේ මහා සංස්කෘතිය, හැදිච්චකම, වීනිතකම්, ශීලාචාරකම් සියල්ල විදේශ සංස්කෘතීන්ගෙන් වැසී ගියා. කාන්තාවන්ගේ චරිත කතා අතර හමුවන ශ්‍රේෂ්ඨතම චරිතය යශෝධරාවන්ගේ චරිතයයි. ඒ වටිනාකම් හඳුනා ගන්න යශෝදරා කියවිය යුතුම චරිතයක්"

ජීවිත සටන ගෙනයෑමට දහසක් අරගල කරන අතරේ සෑම ගැහැනියකගේ ජීවිත කතාව යශෝධරාවන්ගේ ජීවන අන්දරය තරම් පින්බර එකක් නොවන බව අමුතුවෙන් කියන්න අවැසි නැතිවුණත් ඒ කතාවේ ගත යුතු හරයක් තිබෙන බව මගේ අදහසයි. එයට හේතුව දැනුමින්, බුද්ධියෙන් සහ වත්පොහොසත්කම් හෝ සමාජ මට්ටමින් ගැහැනියක කෙතරම් ඉහළ තලයක වැජඹුණද ඇගේ හදවත ගැහැනුකමින් තොර නම් ගැහැනිය තුළ වන අපූර්වතම සුන්දරත්වය ඇය තුළින් පසක් වන්නේ නැහැ. මෘදුකම, දයාව, ඉවසීම, පරිත්‍යාගශීලී බව ආදී හැගීම් විරහිත ගැහැනු හදවතකට තවත් හදවතකට ආලෝකයක් වීම අසීරුයි. එවැනි ගැහැනුන් මවුවරු වුවද ඇය ඇසුරේ හැදෙන දරුවන් පවා අනුන්ගේ දුකකට සංවේදී වන්නේ කලාතුරකින්. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැනුකම ආභරණයක් කරගත් සමාජයට පහන් තාරකාවන් වූ ගැහැනුන්ද අප සමාජය තුළ අනන්තවත් සිටිනවා.

සැබවින්ම සුන්දර විය යුත්තේ ගැහැනියගේ හදවතයි. ලෝක කාන්තා දින සමාජජාලා තුළ වේගයෙන් සංසරණය වූ එක්තරා වීඩියෝවක් බොහෝ දෙනෙක් සංවේදී කර තිබුණා. විරූපී බව නිසා සැමියා අතහැර ගිය කාන්තාවක් සිය දරු පැටියා කරපින්නාගෙන රූපවාහිනී කැමරාවක් ඉදිරියේ කළ ප්‍රකාශය සිත්පිත් ඇති කාගේත් නෙතට කදුළක් එක්කළා.

"මම කැත නිසා මහත්තයා මාව දාලා ගියා. ඒත් මේ තමයි මගේ ලොකුම වස්තුව. මම දරුවව හොඳට හදාගෙන මහත්තයාට පේන්න හොඳට ජීවත් වෙනවා. "

ඉතින්, ඇය වැනි මවුවරුන්ගේ ඒ සුවඳැති හදවත් සුන්දර නැතැයි කිව හැක්කේ කාටද? අවමන් අතරේ හිනැහෙන ඇගේ සිත ගැහැනු පරපුරටම අභිමානයක් නොවේද?

මාතෘකා