පුතේ මං හරි ආදරෙයි

 ඡායාරූපය:

පුතේ මං හරි ආදරෙයි

අපි කොයිතරම් කාර්යබහුල ජීවිතයක් ගෙවනවාද? සිහින සහ ඉලක්ක හඹාගෙන යන අතරේ ඔබේ සමීපතමයන්ගේ අත් අත නෑර ළඟින් ඉන්න එක කොයිතරම් ඒ අය බලාපොරොත්තු වෙනවාද කියලා හිතලා බලන්න සිහිපත් කරන්නයි මේ සටහන.

සුපුරුදු පරිදිම කරුණාරත්න මහත්මයා ඒ දවසෙත් උදේ 5ට අවදි වුණා. කොයිතරම් රෑ බෝවී නින්දට වැටුණත් සුපුරුදු වෙලාවට අවදි වෙන්න ඔහු පුරුදු වෙලා හිටියා.

මේසය ළඟින් වාඩිවෙලා සුපුරුදු පරිදි තමන්ගේ දිනපොත සහ සටහන් පොත ළඟට අරගන්න එක ඔහු ඊළඟට කරන කාර්යය. වෙනදාට වඩා උද්යෝගයක් හිතට දැනෙන්නේ ඇයි කියලා ඔහු පුදුමයෙන් වගේ කල්පනා කළා.

කරුණාරත්න මහත්තයා ළඟ තිබුණේ අපූරු පොතක්.සාමාන්‍ය දින පොතකට වඩා එය වෙනස්. ඒක ජීවන සටහන් පොතක් කිව්වොත් හරියටම හරි. අවුරුද්දේ අදාළ දිනයට සම්බන්ධ සියලු ජීවන සිදුවීම් එහි ලියවිලා තියෙනවා. සමහර දවස්වලට අදාළව පිටු ගාණක විස්තර තියෙනවා. අවුරුදු විස්සෙන් පටන් අරගත්ත මතක සටහන් එහි පිරිලා.

"අහා.. ඒකයි මේ" එකවරම යමක් සිහිපත් වුණා වගේ ඔහු තමන්ටම කියාගත්තා.

--"අද මාර්තු 08"

"මං ඉපදිලා අදට අවුරුදු 70ක්. ජීවිතයේ සෑහෙන කාලයක් ගෙවිලා ගිහිල්ලා. කොයිතරම් ලෝකය වෙනස් වෙලාද? මගේ ජීවිතේ පවා ගිය අවුරුද්ද ඇතුළත කොයිතරම් වෙනස් වුණාද? පුරුද්දට වගේ මං ළඟ එයා ඉන්නවා වගේ දැනෙනවා. රංජනී ඔයා හිටියානම් අද මට කිරිබත් ටිකක් කවලා ගොඩාක් වෙලා හිනා වෙවී ඉන්නවනේ. අද දවස ගෙවෙද්දී විශේෂ මොනවත් තියෙන එකක් නැහැ. දැන් මං මේ ජීවිතේට පුරුදු වෙන්න ඕන."කරුණාරත්න සටහන් පොතේ එහෙම ලිව්වා.

1970 මාර්තු 08

"මං එකපාරටම ඇහැරුණේ මොනව “හරි තදට මුහුණේ ඇතිල්ලෙනවා දැනෙනකොට. අප්පච්චි මාව තුරුළු කරගෙන ඉඹිනවා. කවදාවත් නැතුව එහෙම ඇයි කියලා මං කල්පනා කළා.

"අද පුතාගේ 21 වැනි උපන්දිනේ, මට දැන් ඉන්නේ යස ඉලන්දාරියෙක්. පුතා ඔයාට දැන්නම් ලොකු වගකීමක් තියෙනවා. නංගියි, මල්ලියි හරි පාරේ අරන් යන ගමන් අම්මවත් රැක බලාගන්න. මොකද මං දැන් අසනීපකාරයා නිසා" තාත්තා මට එහෙම කිව්වා.

1980 මාර්තු 08

"අද හරිම පුදුමාකාර දවසක්. මං හරිම බයෙන් හිටියේ. රන්ජනී මට පුදුමාකාර උපන්දින තෑග්ගක් දුන්නේ. එයා අපේ කුළුදුල් පුතා. සුදුම සුදු හින්දා මං සුදු පුතා කියලා කියන්න හිතුවා. අනේ මං අතට ගත්තෙත් හරි බයෙන්. පුතා දිගටම නිදා ගත්තා. හිටපු ගමන් ඇහැරිලා අඬනකොට ගෙදර ඔක්කොම එයා ළඟ.මං ඇඳ ළඟම පැදුරක් එළාගෙන ඇලවෙලා හිටියේ. සැරින් සැරේ රන්ජනී කිරි දෙනවා. චීස් බීස් සද්දෙට පුතා අඬනකොට මුළු ගෙදරම පිරිලා කියලා අපි දෙන්නම කතා වුණා."

අපේ පුතාට නිර්මල කියලා නම තියන්න අපි දෙන්නම කලින් ඉඳන් කතාකරන් හිටියේ. දැන්නම් මට හරිම ආඩම්බරයක් දැනෙන්නේ. තාත්තෙක්ට නම ගෙනියන්න පුතෙක් ඉන්නවා කියන්නෙම ලොකු හීනයක් සැබෑ වුණා වගෙයි. එයා දවසක අපි දෙන්නටම සතුට ගෙනෙන හොඳ දරුවෙක් වෙයි. රන්ජනීගේ ලස්සන වගේම ගුණවත් බවත් එයාට එයි කියලා මට හිතෙනවා"

1986 මාර්තු 08

"කතාවට කියන්නේ පිරිමියෙක් වුණාම ගහක් වවන්නයි, පුතෙක් හදන්නයි, පොතක් ලියන්නයි ඕන කියලා. එහෙම බලනකොට මං අද වෙද්දි පරිපූර්ණයි කියලා හිතෙනවා. අවුරුදු 30කට කලින් මං ඉන්දපු මී ගහ යට ඉඳන් අකුරු කරපු මගේ සිංහල සාහිත්‍ය විමර්ශන පොත අද නිකුත් කළා. සම්පුර්ණ පිරිමියෙක් කියලා ඒ කතාව පටු කරන්න මං කැමැති නැහැ. ඒ වුණාට ඉන් කියලා දෙන්නේ ලොකු පණිවිඩයක්. ගහක් වවනවා කියන්නෙත් බඩක් පුරවන එකට. පොතක් ලියනවා කියන්නෙ පරපුරකට යහමග පෙන්වන එකට. පුතෙක් හදනවා කියන්නේ කරපු හොඳ ඉස්සරහට අරන් යන්න කෙනෙක් ඉන්නවා කියන එකටයි.

ඇත්තටම තාත්තෙක්ට තව මොනවද අඩු?"

කරුණාරත්න රසබර මතක පොත කියවමින් හිටියේ. ඔහු පොත වසා දැම්මා. දෙනෙත් පියාගෙන මොහොතක් නිසංසලව හිටියා.

තමන් මහ විසල් නිවසක තනි පංගලමේ ඉන්න බවක් ඔහුට මොහොතකටවත් සිහිපත් වුණේ නැහැ. හැමදාම උදේට හවසට ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවෙලා මඟ බලන් ඉන්න එක ඔහුගේ ඉතිරි ජීවන චර්යාව. බලාපොරොත්තු සුන් දෑස් මළානික වෙලා එහෙමම නින්ද යන එක සාමාන්‍ය දසුන.

2019 මාර්තු 08

මං බලා උන්නා වගේම හරිම පුදුමාකාර දෙයක් වුණා. මගේ පුතා අවුරුදු ගාණකට පස්සේ අද මං බලන්න ආවා. එයා සුබ උපන්දිනයක් තාත්තේ කියලා ගහපු ලස්සන කේක් එකක් ගෙනාවා. මං ගොඩාක් ඇඬුවා. එයාව බදාගෙන ඇඬුවා. ලොකුම තෑග්ග ඒක නෙවෙයි. මගේ මුණුපුරා මගේ ළඟ දවසම ඉඳීවී. එයා හරිම ලස්සනට පාට කරපු කාඩ් පතක් මට දුන්නා. ඒක උපන්දින සුබ පැතුමක්.

"හැපී බර්ත් ඩේ සුදු සීයා - සුදු පුතා රෙයෝන්" පාට අකුරු අතරේ එයා ලියලා.

හැම තාත්තෙක්ම මඟ බලන් ඉන්නේ තමන්ගේ දරුවා එනකං. ජීවන ගමනේ අපි කොයිතරම් දේවල් මිල මුදලට අත්පත් කරගත්තත්, කොයිතරම් කාර්යබහුල වුණත්, සමාජ තත්ත්වයෙන් උසස් තැනක සිටියත් අම්මාට, තාත්තාට අපි එයාලගේ පුතා. ඉතින් ඒ අත අතඇරෙන්නට ඉඩ දුන්නොත් අපිටත් ඒ දුක උරුම දවසක් එන බව සිහියේ තියාගන්න. ආදරෙයේ මුල් පොත බලන්න සෙනෙහේ ඉසව්වේ ගිහින් එන්න.

 

[මේනක මදුජිත්]

මාතෘකා