වැඩි යථාර්ථය

 ඡායාරූපය:

වැඩි යථාර්ථය

යථාර්ථයේ අතිරික්තය මැනවින් ඉදිරිපත් වන කෙටිකතා සංග්‍රහයක් පසුගියදා මා හට කියවීමට ලැබිණි. ඒ, සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’ නම් කතා සංග්‍රහයයි. යථාර්ථයේ අතිරික්තය යනු ආර්ථික විද්‍යා සිද්ධාන්තයක් නොවේ. එය ප්‍රබන්ධකරණයේදී නිසගව සිදු වන වාස්තවික යථාර්ථයෙන් එහා ගොස් අමතර යථාර්ථයක් ඉදිරිපත් වීමය. ඇත්ත වශයෙන් ප්‍රබන්ධයක් නම් එය අනිවාර්යෙන් අමතර යථාර්ථයක් ඉදිරිපත් කළ යුතුය. ප්‍රබන්ධයේ කල්පනා ලෝකය යනුමත් යථාර්ථයෙන් ඔබ්බේ දෙයක් නිසාය.

එහෙත් සුමුදු නිරාගීගේ කතා එකතුවේ සියලු කතා අමතර යථාර්ථයක් ගෙන එන්නේ නැත. අතිරික්ත යථාර්ථය අත්‍යන්තයෙන් ගෙන එන්නේ කතා දෙකකි. ඒ, එහි ‘අග්නි ප්‍රේත වස්තුවත්’, ‘රාමු දෙකක කතාවත්’ ය. එසේ බැලූ විට කතාකාරිය වැඩි යථාර්ථය ඉදිරිපත් කරන්නේ ප්‍රබන්ධයේ ස්වභාවය එය බව දැනගෙන නොවේ. එහෙත් එය එසේ නොවීමත් හොඳ අතට වී ඇත්තේ ඒ තුළ ඈ කතාව සිතාමතා යථාර්ථයෙන් ඈතට ගෙන යෑමට වෙහෙසක් නොදරන නිසාය.

‘අග්නි ප්‍රේත වස්තුවේදී’ කතාකාරිය අතිරික්ත යථාර්ථයට යන්නේ රංකිරා නම් චරිතය දකින සිහිනයක් හරහාය. රංකිරා වෙසෙන්නේ ගුණේරිස් උපාසක,

පච්ච සෝමේ, අතකොට බණ්ඩෙ මාමා ආදීන්ගෙන් සැදුම්ලත් නගරයෙන් බොහෝ දුර බැහැර, කාලයෙන්ද ඈත ගැමි පරිසරයකය. මහ නුගේට ඉදිරිපස නෝනක්කාගේ කඩේ ළඟදී හමු වන ඔවුනොවුන් ආගිය කතාවේ නිරත වන්නේ රංකිරා පන්සලේ ලොකු හාමුදුරුවන්ද සමඟ වනයේ අතරමං වීමේ කතාවකට යයි. ඒ, පෙර කී සිහිනය හරහාය. සිහිනය බොහෝ කතාකරුවනට යථාර්ථය අභිභවීමට ඇති උපක්‍රමයයි. මෙහිදී සිහිනයෙන් යථාර්ථයේ සීමා වෙත යන්නේ මිථ්‍යා විශ්වාසවලින් ගහන හද්දා පිටිසර පරිසරයේ ගැමි සුවඳ හා වර්ණයද නොවෙනස්ව තබා ගනිමින්ය. කතාකාරියගේ ශූරත්වය එයයි.

‘රාමු දෙකක කතාවක්’ හි එන්නේ සති අන්ත පුවත්පතක විශේෂාංග ලිපි රචකයකු කුතුහලය දනවන ආකර්ෂණීය විශේෂාංගයක් සොයා නගරයෙන් ඈත පෙදෙසකට යන ගමනක්ය. එහිදී ඔහුට කිසියම් අඥාත උපනගරයක අවන්හලකදී නාඳුනන පුද්ගලයන් දෙතුන් දෙනෙකු හමු වන අතර ඔවුන් හා මධුවිත තොලගෑමේදී

පුරන් අප්පුගේ පිළිරුවක් පිළිබඳ කතාවක් අසන්නට ලැබේ. පිළිරුව බැලීමට යන ඔහු කෙළවර සිර වන්නේ භූත බලවේගයකට නතු වූ මර උගුලකය

- එය තව පසෙකින් ඔහුගේ මනෝ විපර්යාසයක්ද විය හැකිය. මේ කතාන්දරය අධ්‍යහාරයෙන්ම ඉල්ලන්නේ වැඩි යථාර්ථයකි. එහෙත් ඒ වැඩි යථාර්ථය ජීවිත විවරණය වෙනුවට හොල්මන් කතාවක කුලුහුරු හා අද්භූත රසයක් ගෙන දීමට භාවිත වීම කතාවේ දුර්වලතාවකි. ඉන් පැහැදිලි වන වෙනත් කරුණක් තිබේ. අමතර යථාර්ථය කතාකරුවකුගෙන් ඉදිරිපත් විය යුත්තේ ජීවිත විවරණය සඳහාම බවය. එසේ නොවුවහොත් කතාවේ ගැඹුර හෑල්ලුවට ලක් වන නිසාය. කෙසේ වුව මේ කතා දෙකම පැසසිය යුත්තේ කතාකාරිය ඒ දෙකෙහිදීම කිසිදු සමාජ දේශපාලන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට නොයන නිසාය. ‘අග්නි ප්‍රේත වස්තුයේදී’ ගැමියන් පිළිගත් මිථ්‍යා විශ්වාසයක් විවේචනය වීම සිදු වුවත් එය කතාව තුළින් පැනනැඟීම තුළ කතාව වඩා ප්‍රබලව වනවා පමණි.

වැඩි යථාර්ථය යනු කතාකරුවකුට සිතාමතා ගොඩනැඟිය හැකි දෙයක් නොවේ. එය කතාව තුළ නිසගව ගොඩනැඟෙන දේකි. එය අත්දැකීම තුළ ඇති දෙයක් ලෙසද කෙනෙකුට කිව නොහැකිය. වරක් ජයතිලක කම්මැල්ලවීර මහතා සඳහන් කළේ අමතර යථාව ඕනෑම අත්දැකීමක ඇති බවය. කතාකරුවා කළ යුත්තේ ඒ අමතර යථාවට කතාව දිගු කිරීම බවය. එහෙත් මට හැඟෙන ලෙස එය අත්දැකීමක ඇති දෙයක් නොව කතාකරුවා අත්දැකීම ග්‍රහණය කරගන්නා ආකාරයේ දෙයක්ය. ඊට හොඳම නිදසුන් සයිමන් නවගත්තේගමගේ ප්‍රබන්ධය. ඔහු ‘සංසාරාරණ්‍යයේ අසබඩ’ නවකතාවේදී වැඩි යථාර්ථයක් ඉදිරිපත් කරන්නේ අත්දැකීමේ වෙසෙසක් නිසා නොව ඔහු එම අත්දැකීම පසක් කරගන්නා ආකාරය එසේ නිසාය. නොඑසේ නම් එම අත්දැකීම ලැබූ ඕනෑම කතාකරුවකුට ඒ ආකාරයේ සංසාරාරණ්‍යයක් ගොඩනැඟීමට හැකි විය යුතුය.

සැබැවින්ම යථාර්ථය මායායථාර්ථවාදී වන්නේද, අධියථාර්ථවාදී වන්නේද වැඩි යථාර්ථය ඔස්සේය. මායායථාර්ථය පැහැදිලි වශයෙන් වැඩි යථාර්ථයක් වන සැටි ලොව ප්‍රධානම මායායථාර්ථවාදී ලේඛකයකු ලෙස සැලකෙන ගාර්සියා මාර්කේස් කියූ කරුණකින් පැහැදිලි වේ. ඔහු පවසන්නේ ‘සියක් වසක හුදකලාව’ නවකතාවේදී හෝ අනෙකකදී ඔහු කිසි විට තමාගේ පරිසරයේ නොසිදු වූ දෙයක් ලියා නැති බවය. සියලු දේ ඔහු අත්දුටු සිදුවීම්ය. එසේ නම් සිදු වී ඇත්තේ ලියාගෙන යද්දී ඔහු අතින් සිදුවීම්, අත්දැකීම් වෙත වැඩි යථාර්ථයක් එකතු වීමය. ඒ වැඩි යථාව කතාවට හානිකර නොවන්නේ එයින්ද කියාපාන්නේ එම සිදුවීම්ම වීම නිසාය. වෙනස එහිදී එය වඩා විස්තර වීමය. ඇත්ත වශයෙන් විස්තර වීමමය, වැඩි යථාර්ථය. මාර්කේස් තමා අවට අත්නොදුටු කිසිවක් ලියා නැතැයි කියන්නේද මේ නිසා විය හැකිය.

ප්‍රබන්ධයේදී වැඩි යථාර්ථය වැදගත් වන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ ප්‍රබන්ධයෙන් සිදු වන දේ විස්තර කිරීමෙනි:

බැවහැර ලෝකයේ ජීවත් වන පුද්ගලයාට සාමාන්‍යයෙන් එදිනෙදා අත්දකින සිදුවීම්වල සංකීර්ණ තැන් පෙනෙන්නේ නැත. ඔහු ජීවිතයේ උගුලකට හසු වී ඇති බව අවබෝධ වන්නේ නැත. ප්‍රබන්ධයකරණයේදී සිදු වන්නේ බාහිර ලෝකයට සමාන්තර වෛකල්පික ලොවක් මවා පුද්ගලයා සැබෑ ලෝකයේ මුහුණ දෙන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමය. ඒ ප්‍රතිනිර්මාණය තුළ හුදු බාහිර ලෝකයම නොවේ, ඉදිරිපත් වන්නේ. එහිදී ඉදිරිපත් වන්නේ කල්පනා ලෝකයකි. සැබෑ ලෝකයේදී පුද්ගලයාට සිතූ සිතූ දේ කළ නොහැකි අතර සිතූ තැන්හි කරක් ගැසිය නොහැකිය. එහෙත් කල්පනා ලෝකයේදී ඒ දේ කළ හැකිය. නිදසුනකට සැබෑවේදී තමාට අත්පත් කරගත නොහැකි කාන්තාවක් කල්පනාවේදී අත්පත් කරගත හැකි අතර සැබෑවේදී කිසිදා යා නොහැකි රටකට කාල්පනිකව යා හැකිය. මෙසේ කල්පනා ලෝකයේදී සැබෑ ලොවේ අත්දැකීම්හි වඩා නිදහසේ සැරිසැරීම තුළ සිදු වන දේ නම් පියවි ලොවේ අපට ග්‍රහණය නොවුණු සංකීර්ණ තැන්, ජීවිතය තුළ පුද්ගලයා මරඋගුලක සිර වී ඇති බව අවබෝධ වීමය. ඇත්ත වශයෙන් මේ අවබෝධය ඇති වන්නේ කල්පනා ලෝකයේදීද සැබෑ ලෝකයේ අත්දැකීම් ලැබීමෙන් නොවේ, එහිදී වෙනස් යථාර්ථයක්, එනම් වැඩි යථාර්ථයක් අත්දැකීමෙනි. අතිරික්ත යථාර්ථය ප්‍රබන්ධකරණයේදී වැදගත් වන්නේ මෙනිසාය.

නිවැරදිව කීවොත් යථාර්ථවාදයමත් වැඩි යථාර්ථයකි. සිංහල කතාකරුවන් මුල් යුගයේ පටන්ම ප්‍රබන්ධකරණයේදී යථාර්ථයේ නතර වන්නේ මේ නිසා විය හැකිය. එහෙත් වැඩි යථාව යන්තමින් තැවරුණු යථාර්ථවාදය අභිභවා සිංහල සාහිත්‍යයේ පූර්ණ ලෙස වැඩි යථාව ස්පර්ෂ කරන මායායථාර්ථවාදයට මුලින්ම යන්නේ සයිමන් නවගත්තේගමය. ඔහුගේ ‘සංසාරාරණ්‍යයේ.....’ කතා මාලවත්, ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ කෙටිකතා සංග්‍රහයත් ඊට දෙස් දේ. පසු කාලයක ගුණදාස අමරසේකරගේ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ කෙටිකතා සංග්‍රහයද මේ වැඩි යථාව ග්‍රහණය කරනු දැකිය හැකිය. ඉනික්බිති ප්‍රභාත් ජයසිංහ, අනුරසිරි හෙට්ටිගේ ආදීන්ගේ සැලකිය යුතු කෙටිකතා ගණනක්ද මීට නිදසුන්ය.

සාහිත්‍යය වැඩි යථාර්ථය ඇසුරු කිරීමට වෙසෙස් හේතුවක් තිබේ. ඒ, සාහිත්‍යය අධ්‍යහාරයෙන්ම ඉල්ලා සිටින්නේ නිදහස් සංචරණයක්, අයාලේ යෑමක් නිසාය. සරච්චන්ද්‍ර මේ දේ ‘කල්පනා ලෝකය’ විචාර කෘතියේලාද විස්තර කරයි:

“සාහිත්‍යය වූකලී කවියා මවන කල්පනා ලෝකයය. එය සැබෑ ලෝකයට සමාන වුවද අනෙකකි. එහි බලපාන ධර්මතාව සැබෑ ලෝකයෙහි බලපාන ධර්මතාව නොවේ. සැබෑ ලෝකයේ මිම්මෙන් එය මැනිය හැකි නොවේ. සැබෑ ලෝකයේ නීති රීති එහි වලංගු නැත.”

(‘කල්පනා ලෝකය’, 29 පිටුව, 2000 මුද්‍රණය, ගොඩගේ)

එසේ නම් ප්‍රබන්ධකරුවකු සාර්ථක වන්නේ ඔහු අමතර යථාර්ථය ස්පර්ෂ කරන තරමට බව මින් පැහැදිලි වේ. සිංහල ප්‍රබන්ධ කතාකරුවනට මේ වැඩිපුර යථාව මඟහැරෙන්නේ මට හැඟෙන ලෙස ඔවුන් කතාවට පෙරමඟ නොදී තමන් පෙරමඟට පැමිණ කතාව ගොඩනඟන නිසාය. කතාකරුවකු ප්‍රබන්ධකරණයේදී කළ යුත්තේ ප්‍රබන්ධයේ ශක්තීන්හි බලයට අවනතව ‘කඹය අල්ලාගෙන’ සිටීම පමණය. ඔහුට ‘කරත්තය’ දැක්කීමේ බලයක් නැත. ඒ මෙහෙයවීමේ බලය ඇත්තේ චරිතවලටය. එසේ වූයේ නම් ඔහු යථාර්ථයේ ගැටලුවට - ලියන දේ හුදු යථාර්ථය වී ඉන් ප්‍රස්තුතය අවලෝකනය නොවීමේ ගැටලුවට - මුහුණ නොපායි. සැබැවින්ම සිංහල ප්‍රබන්ධය අතීතයේ යා යුතුව තිබුණේද, දැන් යා යුතුව ඇත්තේද ඒ ගමනේය. ඒ ගමන අපට නොපැකිළව යා හැකි බව මේ අලුත් ප්‍රබන්ධකරුවන්ගේ කතා විමසන විට පෙනේ.

[රවින්ද්‍ර

මාතෘකා