එහෙව් පුත්තු

 ඡායාරූපය:

එහෙව් පුත්තු

අප රාජකාරි කරන සේවා පියස පිහිටා තිබෙන්නේ ග්‍රාම සේවා වසමක් තුළ. වසමක් තුළ කාර්යාලයක් පවත්වාගෙන යනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. කෙනෙකු ඉල්ලන ඕනෑම විටෙක අපි වසම ගැන නිවැරදි තොරතුරු ලබාදෙන්න සම්පූර්ණයෙන් බැඳී සිටිනවා. වාර්ෂිකව සම්පාදනය කර ගත යුතු දත්ත, තොරතුරු නිසි පරිදි සොයා ගැනීමෙන් හා සටහන් කිරීමෙන් නිශ්චිත වූත්, නිවැරදි වූත් තොරතුරු ඒකරාශි කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙම හිතමින් මම අද මගේ දත්ත පද්ධතිය අලුත් කරගන්න පටන් ගත්තා. වැඩකට යොමු වුණාම කිසිම වෙලාවක වෙලාව ගත වෙන බවක් අපට දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් කාර්යාල කටයුතු අතර සිටි මට කාලය ගත වූ බවක් දැනුණේ නැහැ. වෙනදා වගේ කවුරුත් ම‍ට බාධා කරන්න ආවෙත් නැති නිසා මම මගේ කාර්යය දිගටම කරගෙන ගියා. විවර වූ දොර දෙසින් මට ඇහුණේ සුපුරුදු කටහඬක්.

“මිස්, අපි තේ බොන්නයි හදන්නේ. මිසුත් එන්නකෝ!”

ඒ, අපේ වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමියගේ හඬ. ඇගේ ආරාධනාවෙන් කරමින් සිටි කාර්යය මඳකට පසෙකින් තැබූ මම ඇය සිටි ඉසව්වට පියමන් කළා. මා එහි යන විට පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියත්, ග්‍රාම සේවා නිලධාරිතුමාත් එතන. සියලු දෙනාම විසඳන්න බැරි ප්‍රශ්නයක අතරමං වී ඇති හැඩකුයි පෙනුණේ.

“මොකද අද කට්ටියම තේ බොන්න ඇවිත් නිකන් බය වෙලා වගේ?”

මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. මගේ ප්‍රශ්නයට උත්තර නොදුන් ඔවුන් මා මෙතෙක් නොදුටු කාන්තාවක පෙන්වූවා. ඇය කාර්යාලයේ ඉදිරිපසට වී තේ බොන ගමන්. ඇය දුටු මටත් හිතට පැනයක් නැඟුණා. ඇය කවුද? මෙහේ මොකද කරන්නේ? මාව හඳුනාගත් නිසා දෝ විනීතා මගේ නිහඬ බවට උත්තර දෙන්න ඉදිරිපත් වුණා.

“මිස්, ඔය ගෑනු කෙනාට කවුරුත් නැහැලු. එක දරුවෙක් ඉන්නවාලු. මහත්තයාත් නැති වෙලා කියලයි කියන්නේ.”

“ඉතින් ග්‍රාම සේවක මහත්තයා, මේ කෙනා කොහේ කෙනෙක්ද? කාගේ කවුද?”

“මිස්, මම වැඩිය කථා කරන්න ගියේ නැහැ. තේ ටික බිව්වම අපි කථා කරල බලමු.”

කොණ්ඩය ගුලියක් වන සේ ගැටගසාගෙන මල් මල් ඔසරියකින් සැරසුණු වයස අවුරුදු හැටඅටක පමණ පෙනුමැති මේ කාන්තාව තුළින් විද්‍යමාන වූයේ සුන්දර ග්‍රාමීය අහිංසක බවක්. ඒත් ඇගේ මුහුණේ තිබුණේ බයාදු පෙනුමක් කියා කීවොත් නිවැරදියි. රාජ්‍ය නිලධාරීන් වූ අපි සිව්දෙනා මවකගේ දුකක් අසන්න ලැබෙන බව දැන දැන ඇය දිහා මුවින් නොදොඩා බලා සිටියා. තේ කෝප්පය බී අවසන් කළ ඇය ටිකින් ටික විනීතාට කිට්ටු කරනු දුටු ග්‍රාම සේවා නිලධාරිතුමා ඇයට කතා කළා.

“ඔය අම්මා කොහේ ඉඳන්ද ආවේ?”

“මහත්තයෝ, මම ටිකක් දුර පළාතක. හබරණ.”

“ඉතින් මෙහේ ආවේ?”

ඒ, සමෘද්ධි නිලධාරිනිය.

“නෝනා, මට මගේ පුතා හොයාගන්න ඕන වුණා. ඒකයි ආවේ.”

එහෙම කියමින් ඇය ඇසට නැගුණු කඳුළු හැට්ට අතින් පිස දමා ගත්තා. ඇගේ වේදනාව දුටු විනීතා ඇයට කිට්ටු වුණේ ගැහැනියකට තවත් ගැහැනියක් තේරුම් ගත හැකියි කියන දේ සත්‍ය කරමින්. දුක සඟවාත් ඇය අපට කතා කළා.

“ග්‍රාම සේවක මහත්තයෝ, මට පුතෙක් හිටියා. එයා විතරයි මට හිටිය එකම දරුවා. මගේ මහත්තයාත් රජයේ රස්සාවක් කළ කෙනෙක්. මම ගෙදර ඉඳගෙන පුතාගේ වැඩයි ගෙදර වැඩයි බලා ගත්තා. දරුවා හොඳට ඉගෙන ගත්තා. පළමුවෙනි වතාවෙම පුතා කොළඹ මෙඩිකල් ෆැකල්ටි ගියා.”

“ඉතින් දැන් මොකද වුණේ?”

මට ඇගෙන් විමසා නොඉඳ ඉන්න බැරි වුණා.

“පුතා කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවට ගියාම හරිම වෙනස් වුණා. අපි දෙන්නා ගැන කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැති වුණා. අපිත් එයාගේ වෙනස එච්චර ගණන් ගත්තේ නැහැ. එයා පොඩි ළමයෙක් කියල හිතලයි එහෙම කළේ. දරුවාගේ තාත්තා පුතා ගැනම හිතලා ලෙඩ වුණා. දැන් මාසෙකට කලින් එයාත් නැති වුණා. පුතාට ඒ පණිවිඩේ දෙන්න මම ගොඩක් උත්සාහ කළා. ඒත් බැරි වුණා. පස්සේ පුතාගේ යාළුවෙකුගෙන් දැනගත්තා පුතා මෙහේ මංගල පාරේ ගෙයක් හදාගෙන ඉන්නවා කියලා. ඉතින් මට ඕන පුතා ඉන්නවාද කියලා දැනගන්න විතරයි. මං එයාගේ ගෙදර නතර වෙන්නෙ නැහැ. මට ඉන්න හිටින්න තැන තියෙනවා. තාත්තා නැති වුණ බව කියලා මම යනවා මහත්තයෝ.”

ඇගේ අභිමානවත් හඬ හමුවේ අපි නිරුත්තර වුණා. කොහොම වුණත් අපේ ග්‍රාම සේවා නිලධාරිතුමා මේ අසරණ මාතාවට තමන්ගේ දොස්තර පුතා - ඔහු මංගල මාවතේ සිටී නම් - පදිංචි වෙලා ඉන්න නිවස සොයා දේවි. එහිදී පුතා ඇයට කෙසේ සැලකුවත් දරුවන් හදා වඩා උස්මහත් කර ඔවුන් රැකියාවලට ගිය පසු ඔවුන් මෙසේ වෙනස් වෙනවා නම් ඒ පුතුන් මෙන්ම මේ සමාජයත් කෙතරම් කුරිරුදැයි මට හිතුණා.

මාතෘකා