මින්ස්ක්හි කුසුම

 ඡායාරූපය:

මින්ස්ක්හි කුසුම

යුද්ධය යනු කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. එහෙත් අමානුෂික යුද්ධයන්ගෙන් පීඩාවට පත් ඇතැම් ධෛර්යවන්ත මිනිස්සු සිය උතුම් අරමුණු මොහොතකටවත් අත් නොහැරියහ. මිනිසා සතු අපරිමිත දරාගැනීමේ හැකියාවට නව අර්ථයක් ලබාදුන්හ.

‘මාෂා බ්රුස්කිනා’ යනු ලොව සුප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් මෙන්ම දෙවන ලෝක යුද්ධය නිසා යෞවනයේදීම ජීවිතයට සමුදීමට සිදුවූ තරුණියකි. මෙම යුවතිය විශේෂිත වන්නේ මරණය පෙනි පෙනී නාසිවාදයට එරෙහිව ඇය පෙන්වූ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි.

සෝවියට් දේශයට අයත්ව තිබූ බෙලරුසියාවේ මින්ස්ක්හි මාෂා ජීවත් වූවාය. ජර්මන් හමුදාව 1941 ජූලි මස සෝවියට් දේශය ආක්‍රමණය කරන විට ඇය 17 වැනි වියෙහි පසුවූවා‍.

ඇය පාසල් වියේදී දක්ෂතම ශිෂ්‍යාවක් මෙන්ම හොඳ කියවන්නියක්ද වූවාය. ‘Pioneer of Belarus’ පුවත්පතේ 1938 දෙසැම්බර් කලාපයේ මාෂාගේ ඡායාරූපයක් සමඟ මෙසේ සටහනක් පළකර තිබිණි.

"මාෂා බ්රුස්කිනා, මින්ස්ක් හි අංක 28 දරන තැන පදිංචි අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියකි. ඇය සියලුම විෂයයන් සඳහා විශිෂ්ට ලකුණු ලබාගත් එකම ශිෂ්‍යාවයි."

මාෂා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් සාමාජිකාවක් වූ අතර මින්ස්ක් සටන්කාමී ව්‍යාපාරය (Minsk resistance movement) හා සම්බන්ධ වූවාය. එය ජර්මන් හමුදාවට මුහුණ දීම සඳහා සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් පිහිටුවා ගත් සංවිධානයකි. යුද්ධයෙන් තුවාල ලැබූ රතු හමුදාවේ සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මින්ස්ක්හි බහු තාක්ෂණික ආයතනයේ ස්ථාපිත කර තිබූ රෝහලේ හෙදියක ලෙස මාෂා ස්වේච්ඡාවෙන් කටයුතු කරයි‍‍. සොල්දාදුවන්ට ප්‍රථමාධාර කරනවාට අමතරව ඇය එහිදී ඔවුන්ට සිවිල් ඇඳුම් ලබාදීමෙන් සහ ව්‍යාජව සැකසූ හැඳුනුම්පත් ලබාදීමෙන් ඉන් පිටත්ව යාමට උපකාරී වී ඇත.

කෙසේ නමුත් රෝගියකු ලබාදෙන ඔත්තුවක් මත 1941 ඔක්තෝ්බර් 14 වැනිදා ජර්මන් හමුදාව විසින් මාෂාව අත්අඩංගුවට ගනු ලැබිණ. දින ගණනාවක් පුරා වධ හිංසා දෙමින් ඔවුන් මාෂාගෙන් ප්‍රශ්න කළ නමුත් සිය සංවිධානයේ කිසිදු සාමාජිකයෙක්ව ඇය පාවා නොදුන්නාය.

ඔක්තෝ්බර් 20 වැනිදා ඇය සිය මවට මෙසේ ලිපියක් ලීවාය.

‍"ඔබ මා ගැන සිතා දුක්වෙනවා යන සිතිවිල්ල නිසා මම මහත් පීඩාවට පත්ව සිටිනවා. කනගාටු වෙන්න එපා. මට වරදක් සිදුවී නැහැ‍. මා නිසා ඔබට මින් මතුවට පීඩා විඳීමට සිදු නොවන බවට මම දිවුරනවා. ඔබට හැකිනම් මගේ ඇඳුම, මගේ කොළ පැහැති හැට්ටය සහ සුදු මේස් කුට්ටම එවන්න. මෙතනින් පිටත්වන විට වැදගත් විදියට හැඳ සිටීමට මට අවශ්‍යයි."

සාමාන්‍ය ජනතාවටද පණිවුඩයක් ලැබෙන පරිදි මාෂාට මරණ දඬුවම ලබාදීමට ජර්මන් පාලකයන් තීරණය කර තිබිණි. ඇය සමඟ දහසය හැවිදිරි තරුණියක වූ වොලෝඩියා ස්චෙර්බැට්සේවිච් සහ පළමු ලෝක යුද්ධයේද සටන්කාමියකු වූ කිරිල් ට්‍රස්වද එල්ලා මැරීමට නියම විය. මරණයට පත් කරන දින, එනම් 1941 ඔක්තෝ්බර් 26 වැනිදා උදෑසන ඔවුන්ව වීදි ‌ඔස්සේ රැගෙන ගියහ. මැද සිටි මාෂාගේ බෙල්ලේ පුවරුවක් එල්ලා තිබූ අතර එහි, ‘අපි සටන්කාමීන්, අපි ජර්මන් හමුදාවට වෙඩි තිබ්බා’ යනුවෙන් ජර්මන් සහ රුසියන් භාෂාවන්ගෙන් සඳහන්ව තිබිණි. එහෙත් සැබැවින්ම ඔවුන් කිසිවකුට වෙඩි නොතිබූ බව අවට සිටි පිරිස දැන සිටියහ.

සොල්දාදුවෝ ඔවුන්ව නගරයේ යීස්ට් කර්මාන්තශාලාව ඉදිරිපිටට ගෙන ගියහ. ඇන්ටොනොව්නා ෂෙවිසික් එතැන් සිට සිදුවූ දෙය මෙසේ පවසයි.

"මේ තිදෙනාගෙන් මැද සිටි යුවතිය වටපිට බැලුවේ නෑ. එහි සිටි භටයෙක් අසල නිවසකට තට්ටු කර පුටුවක් ඉල්ලුවා. එහෙත් බියට පත් එම නිවසේ සිටි තරුණිය නිවසේ දොර වහගත්තා. මඳ වේලාවකින් එක සෙබළෙක් යීස්ට් කර්මාන්තශාලාව තුළට ගොස් බංකුවක් රැගෙන ආවා. කර්මාන්තශාලාවේ ගේට්ටුව ඇරිය නිලධාරියෙක් ගේට්ටුව දෙපැත්තෙන් කඹයක් ඇද තොණ්ඩුවක් සකසා ගත්තා‍‍. මුලින්ම එල්ලුවේ ගැහැනු ළමයාවයි‍."

පියෝටර් පැව්ලොවිච් බොරිසෙන්කෝ එතැන ජනකායේ සිටි අයෙකි.

"ඔවුන් ඇය බංකුව මත සිටුවූ පසු ඇය වැට දෙසට මුහුණලා සිටගත්තා. නමුත් ඇයව සෙනඟ සිටි පැත්තට හැරවීමටයි අඵගෝසුවන්ට අවශ්‍ය වූයේ. එහෙත් ඇය අනෙක් පසට හැරී නොසෙල්වී සිටියා‍. ඔවුන් කොතෙක් ඇයව තල්ලු කරමින් ඉදිරිපසට හැරවීමට උත්සාහ දැරුවත් ඇය සෙනඟට පිටුපාගෙනම සිටියා. එවිටම ඔවුන් ඈ සිටුවා සිට බංකුවට පා පහරක් දුන්නා.‍‍‍‍"

කෙසේ නමුත් 2009 වසර වන තෙක්ම රුසියාව ඇය ගැන සඳහන් කළේ අනන්‍යතාව හඳුනා නොගත් තරුණියක් ලෙසයි‍. රුසියාව 2009 වසරේදි ඇය, මාෂා බ්රුස්කිනා බවට පිළිගෙන ඔවුන් තිදෙනා වෙනුවෙන් යීස්ට් කර්මාන්තශාලාව ඉදිරිපිට ස්මාරකයක් ඉදිකර තිබේ. එමෙන්ම මාෂා වෙනුවෙන් ස්මාරකයක් ඊශ්‍රායලයේ හෆාර් හායාරුක් හි ස්ථාපිත කර ඇති අතර ජෙරුසලමේ මාවතක්ද ඇය වෙනුවෙන් නම් කර ඇත.

මාතෘකා