තාත්තාට මඟහැරුණු අකුරු!

 ඡායාරූපය:

තාත්තාට මඟහැරුණු අකුරු!

මොනවා දැන නොසිටියත් අකුරු නොදැන සිටියහොත් කෙනකුට සිදුවෙන මදිපාඩු නිමක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට අන් අය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්න වන වෙලාවලුත් තියෙනවා.

දශක දෙක තුනකට එහාට වඩා දැන් අකුරුවල වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගෙන. අකුරක් නොදැන සිටීම වල්ගය නැමැති ගවයකු වගේ අසරණ තත්ත්වයකට ඇද දමන අවස්ථා බොහොමයි.

හදිසියකට තැපැල් කන්තෝරුවට, බැංකුවට, රෝහලට හරි වෙනත් කටයුත්තකට පිටතට ගියාම එමෙන්ම ලැබුණු ලියුමක් කියවන්න ගියාම මෝඩයකු වගේ තම අසරණකම පෙන්වන්න වුණොත් ඇතිවන ලැජ්ජාවට මුහුණ දෙන්න වෙනවා.

පසුගියදා අසන්නට ලැබුණා 84 වියැති කෙන්යා ජාතික‍යකු ඉගෙන ගැනීමට ග්‍රාමීය පාසලට පැමිණි පුවතක්. මේ වනවිට ජීවිතය වඩාත් සරු කර ගැනීමට ඉගෙනීම තරම් තවත් දෙයක් නැති බව සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිසුන්ට පවා වැටහී ගොස් තිබෙනවා.

කෙන්යාවේ දකුණු නයිරෝබි නගරයේ න්ගොන් කඳුවැටියේ පිහිටි පාසලකටයි ඉහත කී ලොකු ළමයා වන කිම්මානි න්ගන්ගේ අකුරු ඉගෙනීමට පැමිණ ඇත්තේ. ඔහු කෙන්යානු ජාතික මාවෝ පෙරමුණේ හමුදා සෙබළෙක්. දැන් විශ්‍රාමිකවයි ඉන්නෙ. කිම්මානි කියන්නේ තමා කළ සියලු සටන්වලට වඩා ඉගෙනීමේ අයිතිය ලබාදීමට තමා කළ සටන ඉහළ බවයි.

ඇත්තටම මට කියන්නට ඕනෑ වුණේ ඉගෙන ගැනීම ගැනම නෙවෙයි. අකුරු ඉගෙන ගන්න බැරිවීම නිසා ඉතා අසරණ බවට පත් වූ තාත්තා කෙනකු ගැනයි. ඒක ඉගෙනීම කියන්නේ සමස්ත ජීවිතය බව කියන කතාවක්

මේ කියන තාත්තා රැකියාවට කළේ වඩුවැඩ. එයාට ඒ සඳහා හුරුබුහුටි දෑතක් තිබුණා. ඕනෑම ගෘහ භාණ්ඩයක් කදිමට නිම කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඇත්තටම මේ කතාව කියන්නේ ඔහුගේ පුතායි. අපි එයාට ඉඩදෙමු.

"උගන්වන්නට තාත්තා හුගාක් වියදම් කළා. ඉගෙන ගැනීමේ වටිනාකම තාත්තාට වැඩිමනත් අවබෝධ වන්නට පටන් ගත්තේ ඔහු වියපත් වීමත් සමඟයි. තාත්තාගේ පාසල් ගමන පළමු වැනි ශ්‍රේණියේදීම අවසන් වන්නට කාරණා යෙදී තිබුණා. පාසලේදී සුළු වරදටත් වේවැල් පාර වැරදුණේ නැහැ. තාත්තාට ඉගෙනීම එපා වුණා. අවසානයෙදී මන්දගාමී සිසුවකු ලෙස ඔහු පාසලින් අස්වුණා.

අවුරුදු ගණනකට පස්සේ හතර වෙනි පන්තිය දක්වා ඉගෙන ගෙන තිබුණු මගේ මව ඔහුට අකුරු කියා දෙන්න තැත් කළා. එහෙත් ඔහු වැඩි වේලාවක් ඇයට අවනත වී සිටියේ නෑ. "හා හා දැන් ඇති... දැන් ඇති" කියමින් තාත්තා එතැනින් ඉවත්ව ගොවිපොළට ගියා.

අවාසනාවකට මෙන් එයාගේ කුඩා මොළයට අක්ෂරවල හා සංඛ්‍යාවල රටාව අඳුනා ගන්නට බැරි වුණා. මේ ගැන ඔහු හුඟක් දුක්වුණා.

එක් රාත්‍රියක ඔහු මල්ලීගේ පාඩම් පොත ගෙන කියවීමට උත්සාහ කරනු මා දුටුවා. "අනේ දෙවියනේ, මට දෙවැනි පන්තියේ පොතක්වත් කියවන්න බැරි හැටි!" කියමින් ඔහු වැලපුණා.

තාත්තා දක්ෂ වෑද්දුම්කරුවකු ද වුණා. ඔහුව කණ්ඩායම් නායක තනතුරට පත්කිරීමේ පරීක්ෂණයට කැඳවා තිබුණත් අකුරු බැරි නිසා එයද ගිලිහී ගියා. තාත්තා ඇත්තෙන්ම කනගාටුවූයේ තනතුර අහිමි වීම නිසා නොව අකුරු බැරි වීම නිසා ඇති වූ ලැජ්ජාව නිසයි.

එහෙත් මේ සියල්ලටම වඩා වැදගත් වන ඔහුගේ මරණය පවා සිදුවීමට මේ අකුරු නොදැනීම බලපෑමක් කළ බව ඇසුවොත් ඔබ මවිතයට පත් වේවි.

තාත්තා ඔහුගේ අසනීප තත්ත්වයට දොස්තර මහතාගෙන් අලුතෙන් බෙහෙත් පෙති ලබා ගත් බව මා දැන ගත්තා. අපේ අම්මා මිය ගිය පසු තාත්තා ඔහුගේ ගොවිපොළේ තනිවම ජීවත් වුණා. ඔහු මිය ගොස් තිබුණේ හෘදයාබාධයකින්. ඒ වනවිට අප විදෙස් ‍ගතවයි සිටියේ.

ඔහුගේ අවමඟුලෙන් පසු තාත්තා වැටී මිය ගිය තැනට යන්ට මට සිතුණා. මම පහත් වී නිකමට මෙන් පොළොව අතගෑවා. එවිටම එහි ගැඩොලක් උඩට එසවී බෙහෙත් කුප්පියක් මතුවුණා. එම කුප්පිය බෙහෙත් පෙතිවලින් පිරී තිබුණා. කිසිවෙකු එය විවෘත කිරීමට තැත් කළ බව පෙනුණේ එහි මූඩිය බිම තබා තළා තිබීම නිසයි.

තාත්තා එය තලා එය විවෘත කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් බෙහෙත් නොමැතිව ඔහු මිය යන්නට ඇතැයි මට සිතුණා. නමුත් එම කුප්පියේ පහතට ඔබා දකුණට කරකවන්න යයි ලියා තිබුණා.

අවාසනාවක හැටි අකුරු කියවන්න දැන සිටියා නම් මගේ අසරණ තාත්තා තාමත් ජීවතුන් අතර!

මාතෘකා