සෙල්ලම්ද මැල්ලුම්!

 ඡායාරූපය:

සෙල්ලම්ද මැල්ලුම්!

එළුවන් කොළ කන්නැහේ බුලත්විට කන උන්දැලා අපේ ගම්තුලානවල ඇතිපදම් හිටියේ ඉස්සර. දැන් හැදෙන උන්දැලා වැඩි දෙනෙක් මළගෙදරකදීවත් බුලත් ඩිංගක් කෑවාට එහෙමට බුලත්විට කන්නේ නැත. එක අතකට ඒකෙ හොඳක් මිස වැරැද්දක් නැත්තේ හුණු, දුම්කොළ, පුවක් මුහුවෙලා කට පිළිකා හැදිච්ච උදවිය අකාලයේ පරලෝකෙ ගිය හින්දාය. එළු වස්සො කොළ කන තරමටත් වැඩිය මැල්ලුම් පලා ජාතිද අපේ ගම්වල මිනිස්සු කැමට ගත්ත කාලයක් තිබිච්ච නමුත් දැන් ඒ කොළ කැවිල්ලේද අඩුවක් පාඩුවක් තියෙන වග සහසුද්දෙන් කියන්ඩ පුලුවන්. ඒත් විට නොකා ඉඳිල්ල වගේ ඒ නොකා ඉඳිල්ලේ නම් කොයිම හොඳක්වත් නැති වග දිවුරලා කියන්ඩ ඕනෑ කාරණාවකි.

අපේ ගම්වල මිනිස්සු කන්ඩ ගත්ත තරමක් කොළ ජාති අදත් අඩුවක් නැතුං තිබ්බට කාගෙත් අවාසනාව ඒවා ගැන උවමනාවක් හිතන්ඩ වෙලාවක් ලකයක් නැති එකය. මීට ඉස්සර මේ ලිවිල්ලෙම්ම කොළ පලා කැවිලි සමහරක් ගැන කිව්වා මතකයි. අල කොළ ඇඹුලෙ හිට, වතුර ආස්සරය කරාන හැදෙන මියෙන පලා, කෙකටිය වගේ ජාති ගැන වරුණාව අහලා ඒවා හොයාන උයාන කාපු උදවිය පපු කැනැත්තෙම ඉපදිච්ච බැඳියාව මගතොටේදිත් කිව්වා. ඇයි ඉතිං අපි අහං හිටියා නෙව කල්ප වෘක්ෂයක් වාගේ වැඩ ඉන්න කොස් ගහේ දළු ලපල්ල මැල්ලුම කන්ඩ බොහෝම රහයි කියාලා. එව්වා හරියට අතු ගෝවා මැල්ලුම් වාගේ. හීන් වෙන්ඩ ලියලා පොල් ටිකක්, අමුමිරිස් කරලක්, රතු ලූනු ගෙඩියක් ලියාලා මුහු කරලා මලවා ගන්ඩයි තියෙන්නේ.

මේ මැල්ලුම් ලිවිල්ල කියන්නෙ කලාවක් ආයුබෝං. සහතිකෙන්ම බවලත් උදවිය වුණත් හැමෝටම හීනිවට මැල්ලුමක් ලියන්න පුරුද්දක් නෑ මොකද ඒකට ඉවසීමක් වගේම කදිම ඇහැකුත් තියෙන්ඩ ඕන හින්දා. ඉතිං ඒ කාලෙ අද වාගේ මේස පිහියෙන් ලෑල්ලක් උඩ තියාන මැල්ලුම් ලියන්ඩ ඉස්පාසුවක් තිබ්බෙ නෑ නෙව. පන් වට්ටියක් හරි පුවක් කොළපතක් හරි ඇරං කොළොම්බක ඇන බාගෙන කෙස් ගහත් කැපෙන ගාණට මුවාත තිබ්බ ඉඹුල් කැත්ත හරි මන්නෙ හරි පයට හිර කරගෙන මැල්ලුම් මිටි හත අටක් වුණත් එක හුස්මට ලියලා මිස අම්මලා ඉහ ඉස්සුවේ නෑ ඔන්න. අනේ උන්දැලා බුදු වෙන්ඩ ඒ වානේ අත්වල මාපට ඇඟිලිවල කොළ කහට කැවිච්ච හරස් ඉරි ඇඳිලා තිබ්බා මැල්ලුම් ලියලාම. හැබැයි ඉතිං ලියන්නෙ නැතුං හතරට පහට අතින් කඩාලාලා මලවන කොළබොල ජාතිත් තියෙනවා ඕං. ඔය කූරකොළ, තම්පලා, වට්ටක්කා දළු වාගේ ජාති රහ කඩාලාල නැත්නම් ඉරලා මැලෙව්වම තමයි.

අපේ කැකුළු බතයි වෑංජනයි මැද්දට රැහේ නෑයෙක් වඩින්නැහේ මැල්ලුමක් බෙදුවට අම්මලා දැනං හිටියෙ නෑ ඒව්වයෙ ඔය තියෙනවයි කියන අටෝරාශියක් විටමින් ජාති තියෙනවා කියලා. ඒ වුණාට කොළ කද්දි අමුවෙන් නම් දෙහි ඇඹුල්, මලවලා නම් පොල් හරි පොල්තෙල් ඩිංගක් හරි දාගත්තෙ ගුණ උරාගන්ඩ එව්වා ඕන බව ඉවෙන් වාගේ දැනිලාද මන්දා. බොලව් කොල්ලනේ ලෙඩක් දුකක් නොහැදි ඉන්ඩයි තොපේ ඔය ඇස්ගෙඩි දිවැස් වාගේ පෙනෙන්ඩයි මොකවත් කාලා බෑ මැල්ලුම්ම මිසක්කා කියලා හතී දිබ්බාගෙ කුරගාලා හොයාන ඇවිල්ල මලවන කොළවලින් බත්කොත වැහුවෙත් අම්මලා තමයි. වේලකට පස්සෙ වේලක හරි මැල්ලුමක් බෙදන්ඩ ඕන හින්දා මැල්ලුම් පලා ගැන මහා ජන ඥානයක් පිහිටුවාගත්ත අපිට මැල්ලුම් සංස්කෘතියක්ම තියෙනවා කිව්වත් වරදක් නැහැ. ඉතිං මේ ලිවිල්ලෙ හිට ඒ ගැන ඩිංග ඩිංග විස්තර කියඤ්ඤං.

මහගමසේකර මහත්තයා අම්මා ගැන වරුණා කෙරුවෙ මහ කරුණා ගුණයක් පපුවෙ තියාගෙන. බතල දළුත් තම්බලා ලුණු ඉහලා කන්ඩ දුන්නෙ අම්මා වෙච්චකොට ඒකෙ ආයෙ මොන අරුමයක්දෑ? ඉතිං සත්තයි කහ බතල වුණත් රතු එව්වා වුණත් ඇඟිලි බතලවල වුණත් දළු මැල්ලුම රහයි තමයි. හැබැයි බතල දළු මැල්ලුම ලියාලා පොල් දාලා ඔයාකාරෙට උයාන වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ. මොකද ඊට වඩා රහ මේං මෙහෙම.

ළපටි බතල දළු ඇඟිලි පුරුකෙ දෙකේ දිගට අතින් කඩාගෙන ඔය තාච්චුවකට හරි මොකට හරි දාලා ලුණු ඩිංගක් ඉහලා වැහුමකින් වහලා මලවා ගන්ඩ ඕන. ඕක මැලවෙන කොට වතුර හැදෙනවා. ඇති පදම් මැලවිලා කියලා තමුන්නේ මට්ටමෙන් දැන ගත්තට පස්සෙ වැඩි වතුර පෙරලා අයිං කරගන්ඩ ඕන. ඊටපස්සෙ මැලවිච්ච බතල දළු ටික අහක් කරාගෙන තැම්බුම් ඇතිලියට පොල්තෙල් ටිකක් වක්කරගන්නවා. ඔය අතරේ බී ලූනු ඩිංගක් ලියාගෙන අමුමිරිස් කරලක් ලියාගෙන එහෙ නැත්තං වේලිච්ච මිරිස් කරලක් දෙකක් කෑලිවලට ඉරාගෙන තිබ්බට කාරි නෑ. අර තෙල පදමට කරවුණාම සුරුස් බුරුස් ගාලා සද්දෙට බැදෙන්න ලූණු මිරිස් කෑලි ටික දාගන්නවා. අපේ සුවඳ එයි නහය ඉරෙන්ඩ. දැන් ඉතිං කරන්ඩ තියෙන්නෙ බතල දළු මැල්ලුම තෙලට දාලා අඩුවක් නැතිව කලවම් කරගන්න එක තමයි.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා