‘ගේම්’වල ගේම් එක “ගේම් ගැසීම”

 ඡායාරූපය:

‘ගේම්’වල ගේම් එක “ගේම් ගැසීම”

සාමාන්‍ය, සරල බසෙහි එන සෙල්ලම, ක්‍රීඩාව යන්නෙහි සහජ දස්කම් ඇත්තෝ වෙති. ඊට ජන්මයෙන් රැගෙන එන කුසලතාවට අමතරව, පුහුණුවෙන්, අධ්‍යනයෙන් සහ අත්දැකීමෙන් බොහෝ දේ එකතුවී පරිණත වේ. එහි ඇලී ගැලී සිටින්නෝ ස්වාභාවයෙන්ම ඒ කෙරෙහි උමතු හැසිරීමක් ගනිති. විටෙක එය පිස්සුවකි. එකී විෂයට ආවේණික ආචාර ධර්ම කෙතරම් තිබුණද, ඉහත කී උමතුව ඒවා නොතකන තරමට ප්‍රබලය. සෑම ක්‍රීඩාවකම ඉලක්කය දිනීම නොවන බව කටවහරේ එතත්, කිසිඳු ක්‍රීඩකයකු හෝ කණ්ඩායමක් පරාජය ඉලක්ක කොට ක්‍රීඩා කරතැයි ඉන් අදහස් නොවේ. "තහනම් උත්තේජක" චෝදනාවන්වලට ලොව පුරා ක්‍රීඩකයන් නිතර ලක්වීම මේ ගේම්වල "ඒම්" එකට කදිම නිදසුනකි.

කලකට ඉහත ලංකාව තුළ අතිශය ජනප්‍රිය පරිගනක ක්‍රීඩාවක් විය. නමින් "අයි.ජී.අයි" ලෙස හැඳින්වූ එහි ප්‍රධාන ඉලක්කය වූයේ සතුරු කඳවුරුවලට පහරදී ඒවා අත්පත් කරගැනීමය. මගේ බාල සොහොයුරා මෙහි හසළ දැනුමක් ඇත්තකුව සිටියේය. ඔහුට එය ඉගැන්වූයේ මගේ මිතුරකු බව මා දනී. කාලයාගේ ඇවෑමෙන් මා මිතුරාද අභිභවමින් එම ක්‍රීඩාවේ දියුණු ඉලක්ක වෙත යෑමට මා සොයුරා සමත් වීය. "මගෙන් ඉගෙනගෙන මටම ගහනවා"යැයි කියමින් මගේ මිතුරා සිනාසෙනු මට එදවස නිතර ඇසෙන්නකි. ක්‍රීඩාවේ ස්වභාවය එයයි. දිනුමට, දිණුම් කණුවට මිස විෂයට හෝ ගුරුවරයාට අවනත වියයුතු යැයි නීතියක් එහි නැත. දිනුමට අවහිරවන සියලු බාධක අනුකම්පා විරහිතව මඬින තෙක් ජයක් නැත. එකමුතුව, සහයෝගය, කණ්ඩායම් හැඟීම වැනි බාහිර සන්නාම නොතකා ඉලක්කය තෙක් දිවීම ක්‍රීඩාවේ නුතන ආචාර ධර්මයයි.

ලාංකේය දේශපාලනයද දැන් ඉලක්ක හඹා යන ක්‍රීඩාවකි. එහි ඉතිහාසය පුරාම ඇත්තේ විවිධ වර්ගයේ "ගේම්”ය. සර් බාරොන් ජයතිලකට තානාපතිකමක් ලැබී, ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඩී.එස් සේනානායක වන්නේ එහෙමය. සෝමාරාම අතින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය වන්නේ එහෙමය. විජය කුමාරණතුංග, රෝහණ විජේවීර පමණක් නොව, ප්‍රේමකීර්ති ද අල්විස්ලා පවා අපට අහිමි වන්නේ එහෙමය. රන්ජන් විජේරත්න, විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව අද සිටියා නම්, මෙරට රණවිරු ඉතිහාසය ලියවෙන්නේ වෙනස් අයුරිනි. ලක්ෂ්මන් කදිරගාමර්, ආර්. ප්‍රේමදාස ජීවත් වූවා නම්, මෙරට ඉතිහාසයේ වෙනස් පරිච්ඡේද ලියවෙනු ඇත. ඉතිහාසයේ සිට මෙරට බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රීඩාවෙහි ඉලක්කය වූයේ ජනතාවට නැවුම් අපේක්ෂාවන් දුන් ජනහිතකාමී චරිතය.

කලෙක මර්වින් සිල්වලාගේ දේශපාලනයෙන් මාධ්‍යයේ සිරසට පහර වැදිණි. ඉන්පසු සිල්වලාගේ සිරසට මාධ්‍යයෙන් පහර වැදිණි. පිටිය වෙනස් වී ඇත. ක්‍රීඩකයන් මාරුවී ඇත. එහෙත් ක්‍රීඩාව තාමත් පවතී. ප්‍රේමකීර්ති "දවසක්දා කකුළුවකුට" සහ " බොරු කකුල්කාරයෙක්" ලියන්නට ඇත්තේ රූපවාහීනියේ මහගෙදර සිට වන්නට ඇත. අද ඔහු ජීවත්ව සිටියානම්,මාධ්‍ය නාළිකා ටිකට වී ඇති නස්පැත්තිය ගැන තවත් අපූරු ගීතයක් ලියනු ඇත. තමන් විසිකරන ආයුද තමන්ටම පාරා වළල්ලක් වී එනබව අප මාධ්‍ය මිතුරන් දැන්වත් වටහාගත යුතුය. සෞදියේ ජමාල් කෂෝගිලාගේ ඉරණම් නැවත මෙරටින් මතු නොවන්නේ එවිටය.

වෙඩි හඬ, බෝම්බ හඬ නැති රටකට මේ රතිඤ්ඤා හඬද හිසරදයකි. කිරිබත් කන්නේ කුමන ජයග්‍රහණ වෙනුවෙන්දැයි මඳකට සිතා බැලිය යුතුය. වීදී බසින්නට ඇරයුම් කරන්නේ කුමන අරගලයක් උදෙසාදැයි තේරුම් ගත යුතුය. ක්‍රීඩාවේ ඉලක්කය ජයග්‍රහණය නම්, ඔබ සිටින්නේ කුමන කණ්ඩායමේද, ඔබේ ප්‍රතිවාදියා කවුරුන්ද යන්න තෝරා බේරා ගතයුතුය. ඔබ තරඟ කරන්නේ කා සමඟදැයි වටහා නොගන්නාතුරු ඔබට ජයක් නොමැත.

"එකම අරමුණක් තියෙන උන් බලය ගන්න වෙන වෙන පක්ෂ හදාගෙන මිනිස්සු භේද, බින්න කරනවා.." මෙහෙම කියන්නේ "සහෝදරයා" ටෙලිනාට්‍යයේදී රොෂාන් රවීන්ද්‍ර, තුමිඳු දොඩන්තැන්නටය. 57 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, 70-75 සභාග ආණ්ඩුව, පනහට පනහේ ඉල්ලීම්, 80 ජූලි වැඩ වර්ජනය, 88-89 තරුණ නැඟිටීම් ගැන එම ටෙලිනාට්‍යයේදී නාමල් ජයසිංහ කරන අර්ථ ගැන්වීම කිසිවකුට ග්‍රහණය වූවා නම්...., මෙරට කුහක දෙමළ නායකයින්, පුහු සිංහල විප්ලවවාදීන්, නිවට වාමාංශිකයින් හඳුනාගන්නට තිබුණා නොවේද? අවාසනාවකි. "සහෝදරයා" කී "සිංහල,දෙමළ, මුස්ලිම් අපි හැමෝගෙම පොදු හතුරා අන් ජාතීන් නොව අපිම බලයට ගේන මේ ආණ්ඩු" යන්න අප කෙදිනක වටහා ගනීද?

ලාංකේය දේශපාලනය චෙස් ක්‍රීඩාවකි. දාම් ඇදීමකි. කැරම් ගැසීමකි. ඔවුන් මේ ක්‍රීඩාවේදී පොදුජන මතය නොතකයි. ජනතාවගේ ලෑල්ලේ සෙල්ලම් කරන සියල්ලටම අවැසි "දාම්" යෑමටය. "රෙඩා පොට්" කිරීමටය. අප හැමදාමත් මේ "බෝඩ්" එකේ ඔවුන්ගෙන් පහර කන ඉත්තෝය. 2013 වසරේ ඉල් මස, ලියෝ ග්‍රැෆික්ස් වෙතින් ප්‍රකාශය වන රුවන් බන්ධුජීවගේ "මීළඟ මීවිත" කෘතියෙහි, තිස්වන පිටෙහි ඇති පහත කවිය උපුටා දක්වමි.

 

"තවත් එක් පඹයෙක් හදන්නට

ගිහිං එක්කහු වෙනව වෙනුවට

උපන් කමතට පොහොර වෙන එක

සැපකි-සතුටකි පිදුරු ගසකට"

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා