ගාල්ලේ “නොයා යුතු තැන”

 ඡායාරූපය:

ගාල්ලේ “නොයා යුතු තැන”

පාසැල් ප්‍රජාව මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා දූ දරුවන් දැනුවත් කිරීමට ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද "නොයා යුතු තැන" වැඩසටහනක් මේ වන විට පාසල් 135ක් පමණ පවත්වා ඇත.

තම රාජකාරියෙන් ඔබ්බට ගොස් කෙසේවත් බන්ධනාගාර විෂය පථයට අදාළ නොවන මෙවැනි වැඩසටහනක් නිර්මාණය කර එය ගමින් ගමට රැගෙන යමින් සංවේදී මිනිසුන් පිරිසක් බිහි කරන්නට මෙම දරන වෑයම අගය කළ යුතුමය. මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන මහතා පැවසුවේ විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වන බවයි.

“ගාල්ල ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වන නිසා තරුණ පුරපුර ඒ සඳහා පුරුදු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළයි. මේ නිසා දවසින් දවස මෙම සමාජයේ දූෂණ අපරාධ වැඩි වෙනවා මිස අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

“මේ නිසා මම කල්පනා කළා මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මට නවත්වන්න බැරි වුණාට අවම කිරීමට හැකි බව. ඒ හින්දා මේ දේ පටන් ගන්නා ඕනෑ පාසැලෙන් කියලත් මට තේරුම් ගියා. ගෙදරට වුණත් ලේසියෙන්ම පණිවිඩයක් යවන්න පුළුවන් පාසැල් දරුවන් හරහා.

“ඒ හින්දා දරුවන් දැනුවත් කිරීමටත් මේ වන විනාශය ඔවුන්ට තේරුම් කරලා දෙන්නත් කියලා මෙම ‘නොයා යුතු තැන’ වැඩසටහන නිර්මාණය කළා. මේ වන විට පාසැල් 135ක පමණ දරුවන් තිස් දහසකට අධික ප්‍රමාණයක් දැනුවත් කරලා ඔවුන් යම් විදියකින් හරි මාර්ගයට ගන්න කරන උත්සාහයක් මේක.

“මෙම වැඩසටහන තුළින් සිසු දරුවන් දැනුවත් කරනවා වගේම ගරු අධිකරණයෙන් දඬුවම් ලබා දෙන ආකාරයත්, ඉන්පසු සිර මැදිරිවල ගෙවන කටුක ජීවිතය, මරණ දඩුවම ලබාදෙන ආකාරය යන සියල්ල වීඩියෝ දර්ශන මඟින් පාසැල් ළමයින් දැනුවත් කරනවා. මෙය ඉතා සංවේදී ආකාරයෙන් සකස් කළ වැඩසටහනක්. මේ වැඩසටහනේදී මා සමඟ දේශන ඉදිරිපත් කරන ප්‍රධාන බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරී ජයන්ත අදාළසූරිය මහතා හොඳ ගායන ශිල්පියෙක්. ඔහු ගීත ගායනා කරමින් මෙම වැඩසටහන මෙහෙයවනවා. ඒ වගේම අද සමාජයට ගැළපෙන්නේ වෙමැනි පාසැල් දරුවන්ගේ හදවතට කතා කරන නිර්මාණ. මේ වැඩසටහනට සිරකරුවන් පවා යොදා ගන්නවා. ඔවුන් සිය කැමැත්තෙන් තමයි මේ සඳහා සහභාගී වන්නේ” ජගත් චන්දන පැවසීය. මෙම වැඩසටහන පිළිබඳව පළාතේ විදුහල්පතිවරු මෙන්ම ස්වේච්ඡා සංවිධාන නායකයන්, සමාජයේ විවිධ පුද්ගලයන් අදහස් දක්වා තිබිණි. ඒ අතර බෙරලපනාතර ද්විතීයික පාසැලේ විදුහල්පති සුසන්ත පී. විතානගේ මහතා මෙසේ සඳහන් කර ඇත. මෙම නොයා යුතු තැන වැඩසටහන තුළින් දරුවන් වැරදිවලින් ඈත්ව සිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන බව ඉඳුරාම ප්‍රකාශ කරන බවත්, අපරාධකරුවන් ලෙස හංවඩු ගහන අහිංසක මිනිසුන් ශෝධනය කොට යහපත් මිනිසුන් ලෙස සමාජගත කිරීමට බන්ධනාගාර අධිකාරිවරයා දරන මෙම ප්‍රයත්නය අගය කළ යුතුය.

කරන්දෙණිය බන්දුල සේනාධීර මහා විද්‍යාලයේ විදුහල්පති, ආර්. ඩබ්. වී. එස්. රාජපක්ෂ මහතා "නොයා යුතු තැන" මෙම වැඩසටහන දරුවන්ගේ හදවතට දැනෙන කාලීනව වැරදි වැඩවලට යොමු වන සමාජය යහපත් සමාජයක් බිහි කිරීමට මහෝපකාරී වන බවත් මෙම වැඩසටහන අප විද්‍යාලයේ පැවැත්වීම පිළිබඳවත් ස්තූතිවන්ත වන බවත් පැවසුෙව්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඇතුළු වත්මන් ආණ්ඩුව මතින් නිදහස් රටක් සංකල්පය යටතේ පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහාද සක්‍රීය දායකත්වය දක්වන ලද රාජ්‍ය ආයතන අතර ගාල්ල බන්ධනාගාරය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. මෙම වැඩසටහන අගය කළයුතු වන්නේ මින් සමාජයට ඉතා අගනා පණිවිඩයක් ලැබෙන බැවිනි. ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී ජයන්ත අදාළසූරිය මහතාත්, සියලු වැඩකටයුතු සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බන්ධනාගාර නියාමක පරිගණක ශිල්පී ඩී. ජී. ජී. එල්. සම්පත් මහතාද සිහිපත් කළ යුතුය. මෙම වැඩසටහන සිසු දරුවන් යහමඟට ගැනීමට දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගේ 2017/06/09 දිනැති ලිපියෙන් සියලු විදුහල්පතිවරුද දැනුවත් කර ඇත.

වසර දෙකකට අධික කාලයක් වැඩසටහන් 135කට අධික සංඛ්‍යාවක් මේ අයුරින් පාසැල් සිසු දරුවන් වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා, සිය රාජකාරී විෂය සීමාවෙන් ඔබ්බට යමින් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් අඛණ්ඩව පවත්වනු ලබන ‘නොයා යුතු තැන’ වැඩසටහන මේ වන තෙක් රජයේ කිසිදු වගකිවයුතු නිලධාරියකු හෝ ආයතනයක ඇගයීමට හෝ ගෞරවයට ලක්වී නොමැති වීම කනගාටුවට කරුණකි. ජනාධිපතිතුමා ප්‍රධාන වත්මන් රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා මේ තරම් දායකත්වයක් දක්වන වෙනත් රාජ්‍ය ආයතනයක් ඇත්දැයි සැක සහිතය. එසේම හෙට රට භාර ගන්නා අපේම දූ දරුවන් භයානක මත් රකුසාගෙන් බේරා ගැනීමට මෙවැනි රාජ්‍ය නිලධාරීන් ගන්නා උත්සාහය කිසිදා මිල කළ නොහැකි අතර වැඩසටහන් නැරඹූ දරුවන්ගේ හදවත් තුළ මෙම නිලධාරීන්ගේ වෑයම සදා සටහන් වනු නොඅනුමානය.

[ප්‍රභාත් විතානාච්චි] - දකුණු පළාත් විශේෂ

මාතෘකා