ඇලඩින් සිහින

 ඡායාරූපය:

ඇලඩින් සිහින

මේ ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් වාසය කරයි. පරිත්‍යාගශීලීන් සහ අත්පත් කර ගන්නන්ය. අත්පත් කරගන්නන්ට භෞතික සම්පත් හොඳින් ලැබේ. පරිත්‍යාගශීලීන්ට නින්ද හොඳින් ලැබේ! අන්තර්ජාලයේ සැරසරමින් තිබූ මා දුටු පෝස්ටුවක දළ අදහස කිව්වොත් එසේය.

මේ අදහස නිරන්තරයෙන් සංවාදයට ලක් කර ඇත්තෙමි. මගේ ඇතැම් හිතවතුන්ගේ අදහස වන්නේ අනුන් වෙනුවෙන් කාලය, ශ්‍රමය පරිත්‍යාග කිරීම තේරුමක් නැති වැඩක් බවය. ජීවිතය සුඛිත මුදිත කිරීමට භෞතික සම්පත් රැස් කිරීම නොපමාව කළ යුතු යැයි නිරන්තරයෙන් මිත්‍රශීලී උපදෙස් ලැබේ. එවැන්නන්ගේ අදහස අනුව මා කරන්නේ කාලය කා දමන වැඩය! රටේ ප්‍රශ්නවලට ලේ නරක් කරගෙන, සමාජ මාධ්‍යවලද මහපාරේද අරගලවලට සහභාගී වීම අපරාධයකි. ඒ වෙලාවේ මට 'තවත් පොතක් ලියා ගත හැකිය!'

එහෙත් මෙතැනදී තවත් තර්කයක් මතු වේ. අපි සියලු දෙනාම, අනෙකා ගැන නොසිතා තම තමන්ගේ ආත්මාර්ථකාමී සිහිනවල ගැලී සිටියහොත් මේ ලෝකය යහපත් තැනක් බවට පත් වන්නේ කෙසේද?

අනෙකා ගැන අමතක කොට, තම සිහින හඹාගොස්, සියලු භෞතික සම්පත් අත්පත් කර ගත්තා යැයි සිතමු. ඊට පසුව අපට මේ ලෝකයේ තනිව ජීවත් විය හැකිද? අප සැප සම්පත් හිමි කරගෙන වසන්නට යන්නේ ගරා වැටෙන සමාජයක් ඇතුළතද? නාය යන පස් කන්දක් මත ලෝකයේ ඇති සුන්දරම මාලිගාව තනා ගත්තත් වැඩක් නැත!

එහෙයින් අපට අපේ සිහින හඹා යන වේගය මඳක් පමා කොට, පොදු යහපත වෙනුවෙනුත් යමක් කළ නොහැකිද?

කුඩා කාලයේ කියැවූ රුසියානු කතන්දර පොත් බොහොමයක සිටි වීරයන් අනුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරමින් ම සිය සිහින හඹා ගිය අයවලුන්ය. එනිසාම දෝ තවමත් මගේ ලෝකයේ වීරයන් බවට පත් වන්නේත් ළබැඳි මිතුරන් බවට පත් වන්නේත් එවැනි මිනිසුන්ය.

අප කුඩා කල කියැවූ ඇලඩින් ගේ පුදුම පහන නම් කතාව ඇසුරෙන් සුප්‍රකට ඩිස්නි සමාගම නිපදවූ ඇලඩින් චිත්‍රපටයද කතා කරන්නේ මේ තේමාව ගැනය.

එය අප කුඩා කල කියැවූ ඇලඩින් කතාවේ සාර්ථක අනුවර්තනයකි. නැති වී යන මනුස්සකම් සහ වටිනාකම් ගැන පණිවිඩයක් ලබා දෙන ඇලඩින්, ලොව පුරා තිරගත වන්නේ එය නැරඹීමට ඉතා සුදුසුම කාලයක යනු මගේ හැඟීමය.

නූතන ඇලඩින් චිත්‍රපටයේ ඇලඩින්ද දුප්පත් තරුණයෙකි. සුල්තාන්වරයාගේ දියණිය වූ ජැස්මින් කුමරිය හා පෙමින් වෙළුණු ඇලඩින් සිය සිහිනය හඹා යන අයුරුත් ඉන් ජය ගන්නා අයුරුත් එහිදී කියැවේ.

අප අසා ඇති කතාවේ පරිදිම භයංකාර, මායාකාරී ගුහාවේ පිහිටි මැජික් ලාම්පුව සොයා ගන්නා ඇලඩින් එය පිරිමැදීමෙන් හමුවන ජීනී හෙවත් බහිරවයා/ භූතාත්මය සමග මිත්‍රත්වයෙන් බැඳෙයි. එහෙත් ස්වාමි- සේවක සම්බන්ධයක් ඔවුන් අතර ඇති වන්නේ නැත. ඇලඩින් ජිනීට සලකන්නේ සමාන්‍යයෙකු මෙනි. සුපුරුදු කතාව පරිදිම ජීනී ඇලඩින්ට සිතූ පැතූ දේ ලබා දෙන වර තුනක් ඉල්ලීමේ අවස්ථාව ලබා දෙයි. ඇලඩින් පළමු වරය ලබා ගන්නේ ඒ වන විට සිර වී සිටින ගල් ගුහාවෙන් එළියට විත් සිත් ගත් කුමාරියගේ අත ගන්නට ධනවත් කුමාකු බවට හැරීමටය. ඉන් පසුව සිදු වන සිද්ධි දාමයකදී ඇලඩින්ගේ ජීවිතය බේරා ගැනීමට වැයවන්නේ දෙවැනි වරයයි. විශේෂත්වය වන්නේ ඇලඩින් සිය තුන්වැනි සහ අවසන් වරය වැය කරන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ලාම්පුව ඇතුළත සිරවී සිටින ජීනී මනුෂ්‍ය ජීවිතයකට ගෙනැවිත් නිදහස් කිරීමටයි! වැදගත් කාරණාව වන්නේ, ඒ මොහොත වන විට අවාසනාවන්ත සිද්ධි ගණනාවකට පසු ඇලඩින් රාජකීය කුමාරයකු නොවන බව කුමරිය සහ සුල්තාන්වරයාට අනාවරණය වී තිබීමයි. වුවමනා නම් ඇලඩින්ට යළිත් සිය පෞද්ගලික ලාභයක් වෙනුවෙන් වරය පාවිච්චි කිරීමට ඉඩ තිබිණි. එහෙත් ඔහු කිසිදු පැකිළීමක් නැතිව එය වැය කරන්නේ, තම ජීවිතය අවස්ථා කිහිපයකදී බේරාගත්, ඒ වන විට තම හොඳම මිත්‍රයා බවට පත්ව සිටින හිත හොඳ ජීනීගේ බහිරව ආත්මය ඒ දුකෙන් නිදහස් කිරීමටයි!

ඉතින්, එසේ වූ ඇලඩින්ගේ සිහිනයට කුමක් වේද? අනුන් ගැන සිතීම නිසා ඔහුගේ සිහිනය මිය යනවාද? නැත. අවසානයේදී ඔහු සිය සොඳුරුම සිහිනය වන බුද්ධිමත්, නිර්භය සුරූපී කුමරිය දිනා ගන්නේ මායා බලෙන් නොව ඒ පරිත්‍යාගශීලී, අවංක මනුෂ්‍යත්වය නිසාමය! එනම් කුමරිය ඔහු හා පෙමින් බැඳී විවාහ වන්නේ ඔහු සතු උතුම් මනුෂ්‍යත්වය සහ අනුන්ගේ යහපත වෙනුවෙන් ඔහුගේ ඇති කැප වීම හඳුනාගෙනය!

ඇලඩින් මනුෂ්‍යත්වය සහ සිහින යන දෙකම ජය ගනී!

සුරංගනා කතාවල මොනවා වෙන්නට බැරි දැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් අඩු වැඩි වශයෙන් අප ජීවත්වන ලෝකයේද මායාව විසින් නොව මනුෂ්‍යත්වයේ වටිනාකම් හරහා සිහින ජය ගන්නා ඇලඩින්ලා තවම සිටින බව සත්‍යයකි. පරිත්‍යාගශීලී මනුෂ්‍යත්වය හරහා 'පොදු සිහින' සැබෑ වන අවස්ථා ඉඳ හිට හෝ පවතී!

තම අන්තිම වරය අනුන්ගේ යහපත වෙනුවෙන් වැය කරන හැබෑ ලෝකයේ ඇලඩින්ලා සුල්තාන්ලාගේ දියණිවරුන් හා විවාහ වී ධනවත් කුමාරවරුන් බවට පෙරළෙන්නේ නැති බවත් ඇත්තකි.

එහෙත් ඔවුහු උතුම්ම ධනය වූ හිතේ සතුටෙන් සුව සේ නිදා ගනිති!

මාතෘකා