පාවෙන දේදුන්නක ලැගුම් ගැනීම

 ඡායාරූපය:

පාවෙන දේදුන්නක ලැගුම් ගැනීම

“ඔබ මේ වන විට වාර ගණනාවක් හීයෙන් විද තිබුණත් ඔබ දුන්න තබා ගන්නා ඉරියව්ව සහ දුනුදිය ලිහිල් කරන ආකාරය ගැන දිගටම සතිය පිහිටුවා ගත යුත්තේය. ආධුනිකයකු තමාට අවශ්‍ය කරන්නේ කුමක්දැයි දන්නා කල්හි ඔහු අවසිහියෙන් සිටින ඉසිවරයකුට වඩා ප්‍රාඥ බවක් ප්‍රකට කරන්නේය”

පුද්ගල‍ෙයක් උපදින විට ඔහුගේ මනස පිරිසුදු පුවරුවකට සමානය. සහජයෙන් කිසිදු දැනුමක් ඇතුළු වී නැති මෙම මනස, දැනුම් තේරුම් ගැනීමේ හැකියාව ලද මොහොතේ පටන් අනුභූතීන්ට අනුව විවිධාකාර වූ අත්දැකීම් ඇතුළු කරගනියි. මිනිසා බුද්ධිමත් වන්නේ උක්ත කාරණාව නිසාය. ප්‍රතිචාර දැක්වීමට පටන් ගත් වහාම ජාන මඟින් රැගෙන එන සහජ සංකල්ප දැනෙන්නට පටන් ගනී. අමරදේවයන්ට අනුව එය කෘත පුණ්‍ය වාසනා ගුණයය.

දැනීම මිනිසාට ලැබෙන්නේ අත්දැකීම් අනුවය. එමඟින් මිනිස් මනස නිර්මාණශීලී ප්‍රතිචාර සඳහා යොමු කරවයි. එය ගොඩනැඟෙන්නේ පැහැදිලි විචාරය මතය. අවබෝධයේ සීමා අනුව එය ස්වයං විචාරයක් දක්වා වුව විහිදිය හැකිය. විචාරය මඟින් පැහැදිලිව යම් සංකල්පයක් පිළිබඳ තාත්වික දැනීමක් ලබාගත හැකිය. මිනිසාගේ දැනුම ඉන්ද්‍රියයන් මඟින් ලබාදෙන සන්නිවේදනයෙත් බුද්ධිය මඟින් ලබාදෙන අවබෝධයෙත් එකතුවෙන් ගොඩනැඟෙන්නක් බව ඉමානුවෙල් කාන්ට් මතයයි. මිනිසා වින්දනය කරනු ලබන විවිධත්වයන්, අවබෝධය මඟින් ප්‍රකාශනයන් ලෙස සකස් වී ඇනවුම් ලෙස සංස්ලේෂණය කරගනිමින් දැනුමෙහි දියුණුවට පත්වෙයි.

ලොව සෑම කාරණාවක්ම තේරුම් ගැනීම පිණිස එක්කෝ එය කුඩා කොටස්වලට බිඳ දමමින් ඒ ඔස්සේ විශ්ලේෂණයක නිරත විය යුතුය. නැතහොත් අංශු මාත්‍රීය ලක්ෂණ එකතු කර සංශ්ලේෂණය කරමින් අධ්‍යයනය කළ යුතුය. අත්දැකීම හෙවත් අනුභූතිය අප ලබන්නේ සමාජයේ සිදුවන බොහෝ සිදුවීම් එකක් අනෙක හා බැඳුණු සමීපත්වයක් මත සිදු කරන සංශ්ලේෂණ ප්‍රතිඵලයක් ලෙසය.

ස්වභාවික සේ පෙනුණද මිනිසා කෘත්‍රිමව සමාජයේ ගලා යෑම් නිර්මාණය කරයි. ඒ අනුව මිනිසා විශ්ලේෂණයෙන් එකතු කරන ලද දැනුම උපයෝගී කරගෙන සත්‍ය සේ පෙනෙන සමාජයක් නිර්මාණය කරයි. තවත් මිනිසෙක් එය පිළිගත්තද එය සැබෑ යථාර්ථය නොවේ. ඇත්ත සේ පෙනෙන්නක් පමණි. මිනිසා සහජයෙන් සහ ගොඩනඟාගත් අච්චු සහ රාමු අනුව එය විශ්ලේෂණය කරගනියි. ඉන් ලැබෙන ප්‍රතිඵලය සත්‍ය නොවේ; විකෘතියකි. මන්ද මිනිසා මිනිසා රැවටීම පිණිස අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත්තේ ඇත්ත සේ පෙනෙන ඇත්ත නොවන ඇත්තකි. දීර්ඝ කාලයක් මෙම රැවටීම සමාජය මතින් ගොඩනැඟෙන විට මිනිසා දකින දේ තම ඇත්ත ලෙස පිළිගැනීම සිදුවේ. නැතහොත් පිළිගත්තා සේ හිඳීමට සිදුවේ.

පශ්චාත් නූතන මිනිසා ලෝක කිහිපයක එකවර ජීවත් වීමට උත්සහ ගනිමින් සිටී. කල්පනා ලෝකය සුක්ෂ්ම ලෙස මිනිස් චින්තනය විවිධ අවශ්‍යතා තුළ සිර කර තිබේ. ලෝකය දැකීමේ ප්‍රවණතා වැඩිවත්ම මිනිසාගේ අවශ්‍යතා සඳහා ඉල්ලුමද වැඩි වී තිබේ. තමාට පිවිසිය නොහැකි බොහෝ පරිසරයන් තම වටපිටාව තුළ ඇති කරගැනීම පිණිස මිනිසා උත්සාහ දරයි.

ප්‍රජාව මාධ්‍යකරණය වීම හේතු කොටගෙන පුළුල් තත්‍යාසන්න යථාර්ථයක් මිනිසාට සමීප කර තිබේ. එය පූර්ණ ලෙස පාලනය වන්නේ වෙළෙඳ හා දේශපාලන ආධිපත්‍යයක් මතය. මිනිසා යමක් මුල්වරට දැකගනීමෙන් අනතුරුව ඔහු ඒ පිළිබඳ සොයන්නකු බවට පත්වෙයි. එය පරිභෝජනයට සැරසෙයි. මාධ්‍ය සහ ජාලගත සම්ප්‍රේෂණයන් මඟින් ලබාදෙන අනුභූතීන් මිනිස් අවශ්‍යතා සංකීර්ණ කර තිබේ. එහෙත් මිනිසා එම සංකීර්ණතා සමීප කරගෙන ඇත්තේ භාවිතයෙන් නොව භාවිතය සේ පෙනෙන ඇත්තක් ලුහුබැඳීමෙනි. එය ලිංගිකත්වයේ පටන් මිනිසාගේ සියලු අවශ්‍යතා සංකීර්ණ කරමින් කල්පිතයක් සමීප කර තිබේ. මිනිසා ස්ව කැමැත්තෙන් එයට යටත් වී තිබේ.

මිනිසා සතු මෙනෙහි කිරීමේ ශක්තිය උසස් මනසක් මිනිසාට ඇති බවට සාක්ෂියයි. එහෙත් අධි තාක්ෂණ සහ මාධ්‍ය භාවිතය ඔහුට සැබෑ අත්දැකීම් අහිමි කර තිබේ. ඔහු ජීවත් වන්නේ මවාගත් යථාර්ථයක් තුළය. මාධ්‍ය කර්මාන්තය තුළ එය නිෂ්පාදනය වන අතර මිනිසා තමා අතහැර කාගේ හෝ පිටපතක චරිත බවට පත්ව තිබේ. ඔහු ආදරය කරන්නේද අනෙකා සමඟ ගනුදෙනු කරන්නේද ඇඳුම් පැලඳුම් සහ තම සිතුම් පැතුම් දිය කර හරින්නේද පිටපත සත්‍යයැයි අදහාගෙනය.

හරය සොයාගත නොහැකිව මිනිසුන් හරය යැයි වැලඳ ගන්නා ව්‍යාජය පැවැත්මක් නොමැතිව ඉක්මනින් බිඳ වැටෙමින් තිබේ. මන්දයත් මිනිසා සත්‍යයැයි වැලඳගන්නා අත්දැකීම දිගින් දිගටම ප්‍රතිඵල විරහිත වීම මත ඔහු විසින්ම එය විශ්ලේෂණය කරනා තැනට කටයුතු සිදුවන බැවිනි. ඒ අනුව මිනිසා විඳි දේ ඔහු විසින්ම අවබෝධ කරගන්නා මොහොතට එළැඹේ. එය සාපේක්ෂව මවාගත් හෙජමොනි බිඳ වැටීමට සමානකම් දරයි.

ආකෘතියක් නොමැති එවන් බිඳ වැටීම්, පිම්බීම මත බැලුමක් පුපුරා යෑමකට සමානය. එහි සත්‍යයේ ආකෘති නොමැත. යථාර්ථයෙන් දුරස් වූ මිනිසා වතුර මල් මතින් විහිදෙන දේදුන්නක් වැනිය. පිටපත නිර්මාණය කරන්නා විසින්ම වතුර මල් වැසිය හැකිය. එවිට දේදුනු අතුරුදන් කළ හැකිය. එබැවින් මිනිසුන් සැබෑ හිරු එළියේ, සැබෑ වරුෂාවේ දේදුනු දැකිය යුතු කාලය එළැඹ තිබේ. ඒ සඳහා ස්වකීය කුසලතාවන් ස්වයංව විවර කළ යුතුය. ඉසිවරයන්ද සිහි එළැඹිය යුතුය. නැතහොත් සබන් බෝල සුළඟේ පාවන විට ඒ පිළිබඳ විශ්ලේෂණයට කලින් ඒවා පිපිරී යෑම වැළක්විය නොහැකිය.

 

මාතෘකා