නිදහසට පසු ලාංකික භික්ෂු සමාජය

 ඡායාරූපය:

නිදහසට පසු ලාංකික භික්ෂු සමාජය

නිදහසට පසුව ලංකා ජනතාවට හමුවනුයේ එයට පෙර පැවති සමාජයට හාත්පසින්ම වෙනස් සමාජයකි. ලෝකයට වඩාත් සමීප වේගයෙන් පරිණාමය වන එම සමාජය ලාංකිකයාට නුහුරු වූවා සේය. එයට පෙර ලාංකික සමාජයට යායුතු මඟ තීන්දු කරන තීරක බලවේගය භික්ෂුව වූ බවට සාධක ඇත. එහෙත් නිදහසට පසුව සමාජය ගමන් කළයුතු ආකාරය පිළිබඳ අදහසක් හෝ අවැසි කථිකාවතක් භික්ෂුවට තිබූ බවක් දක්නට නැත.

නිදහසට පෙර ලෝකය තේරුම් ගැනීමට ප්‍රාචීන අධ්‍යාපනය ප්‍රමාණවත් වුවද නිදහසට පසු ලෝකය තේරුම් ගැනීමට පෙරදිග භාෂා දැනුම ද අවැසි විය. එය භික්ෂුවට මඟහැරී ඇත.

නිදහසට පසු ලංකා භික්ෂු සමාජයේ ප්‍රධාන දහරාවන් දෙකක් දක්නට ඇත. දාර්ශනික අධ්‍යයනයෙන් යුතු භික්ෂුන්ගේ ප්‍රවණතාවක් සහ ජනප්‍රිය තලයේ භික්ෂුන්ගේ ප්‍රවණතාවක් ද වර්ධනය වී ඇත.

පානදුරේ අරියධම්ම හිමියන් ජනප්‍රිය දහරාවේ සමාරම්භකයකු ලෙසට දැක්විය හැකිය. උන්වහන්සේ එතෙක් බෞද්ධ සමාජයේ දක්නට නොතිබූ බෝධි පූජාව ජනගත කර ඇත.

එලෙසම ජනප්‍රිය ධර්ම දේශකයෙකු ලෙස කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් පෙරට එන විට පිරිත් දේශකයෙකු ලෙස වත්තල සීලරතන හිමි ජනප්‍රියව ඇත. අතීතයෙහි කුංකුනාවේ හිමි වැනි භික්ෂුන් වහන්සේලා ජනප්‍රිය ප්‍රවණතාවක සිටියද නූතන තත්ත්වය විෂයයෙහි බලපෑ බවට සාධක නැත.

නිදහසට පසුව වර්ධනය වන බහු භාණ්ඩික සමාජය තුළ ජනප්‍රිය භික්ෂුවට විශාල සමාජ අවකාශයක් වර්ධනය වී ඇත.

නිදහසට පසු අවදියෙහි දාර්ශනික භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් හමුවෙයි. වල්පොළ රාහුල හිමි එම පරපුරේ ඉදිරියෙන්ම තැබිය හැකි පඬිරුවන බව අවිවාදිත කරුණකි. බෞද්ධ දර්ශනය සේම ලොව පහළ වූ අනෙකුත් දර්ශනවාදයන් ද උන්වහන්සේ අතැඹුලක් සේ දත්හ. සමකාලීනව ලෝකයෙහි විසූ ඉහළම පඬිවරුන් හා එක්ව සංවාදගත වීමට තරම් දැනුමක් රාහුල හිමි සතුව පැවතී ඇත.

රාහුල හිමියන් තරමටම ලෝක මට්ටමට නොගියද පොල්වත්තේ බුද්ධදත්ත හිමි, වැලිවිට සෝරත හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි වැනි යතිවරු ලංකා සමාජය නැණ පහනින් ආලෝකමත් කර ඇත. සමකාලීනව ලංකාවේ විසූ මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර, සුචරිත ගම්ලත් බඳු ගිහි පඬිවරු හා එක්ව උන්වහන්සේලා ලංකා සමාජය දාර්ශනිකව සුපෝෂණය කර ඇත.

එම යුගයේ ජනප්‍රිය භික්ෂුන් වහන්සේලාද උන්වහන්සේලා වටා ඒකරාශී වූ ශ්‍රාවක පිරිස් ද තීරක කරුණකදී දාර්ශනික භික්ෂුන් වහන්සේලාගේ මතය ම දරා ඇත.

වර්තමානයෙහි දාර්ශනික භික්ෂුන්ගේ බිඳ වැටීමක් දක්නට ලැබේ. සමස්ත සමාජය විෂයයෙහිම ජනප්‍රිය භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය දක්නට ලැබෙයි.

විශ්වවිද්‍යාල මට්ටමේ දී මෙන්ම පරිබාහිර දී ද යම් හැදෑරීමක් සහිත භික්ෂුන් වහන්සේලාද දාර්ශනික ප්‍රවණතාව සහ ජනප්‍රිය ප්‍රවණතාව යන දෙඅංශයම නියෝජනය කරන බව දක්නට ඇත. එය අවසාන විග්‍රහයේදී ජනප්‍රිය තලයම නියෝජනය කරන්නක් බවට පත්ව ඇත.

වර්තමානයෙහි වල්පොළ රාහුල හිමි බඳු ලෝක මට්ටමේ පඬිරුවනක් භික්ෂු සමාජයෙහි දක්නට නැත. භාෂා ශාස්ත්‍ර විෂයයෙහි උද්ද්‍යෝගයෙන් හා මනා දැනුමින් යුතුව පෙනී සිටින භික්ෂුන් වහන්සේලා හිඟවී ඇත.

භික්ෂු සමාජයේ එම දාර්ශනික බිඳවැටීම ගිහි සමාජයට ද බලපා ඇති අයුරු දක්නට ලැබෙයි. සුචරිත ගම්ලත් මියගිය පසුව භාෂා ශාස්ත්‍ර විෂයයෙහි ගැඹුරින් පෙනී සිටින පඬිරුවනක් ගිහි පැවිදි දෙපක්ෂයේම නැත. ආර්ථික, දේශපාලනික, සංස්කෘතික කිසිදු ක්ෂේත්‍රයක ගැඹුරට අධ්‍යයනය කරන පිරිස වෙනුවට ජනප්‍රිය තලයම නියෝජනය කරන පිරිස සුළභව ඇත.

වඩා වැදගත් කරුණ මෙම අභියෝගය ජයගත හැකි මඟයි. ඒ සඳහා පළමුව වගකිව යුතු භික්ෂුන් වහන්සේලා ගැටලුව තේරුම් ගැනීම වැදගත්ම කරුණකි. භික්ෂු අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය. සිංහල, පාලි, සංස්කෘත සේම අපරදිග ඉංග්‍රීසි වැනි භාෂාද ගැඹුරින් හැදෑරීමට භික්ෂුවට අවස්ථාව ලැබීම වැදගත්ම කරුණකි.

ඉපැරණි පෙරදිග දර්ශනවාද සේම අපරදිග දර්ශන වාදයන්ද නූතන දර්ශන වාදයන්ද ගණිතය වැනි විෂයයන් ද භික්ෂුන් වහන්සේලා ගැඹුරින් හැදෑරීම අවැසිම යුගයකි.

නිදහසට පෙර අවදියෙහි ලාංකිකයනට ජීවිතයේ සෑම වැදගත් කරුණකටම භික්ෂුව මඟපෙන්වා ඇත. වර්තමානයේ වෙනස්ව ඇති සමාජ අවශ්‍යතාවන් හමුවෙහි භික්ෂුවද වෙනස් විය යුතුය.

භික්ෂුන් වහන්සේලා ඉහත තත්ත්වය අවබෝධ කර යහපත් ලෙසට වෙනස් වුවහොත් එහි බලපෑම සමාජයටද බලපානු ලබයි. පුද පූජා සඳහාම තල්ලුවී යන නූතන ලාංකික සමාජයට දාර්ශනික ප්‍රවේශයක් ලබාදිය හැකි වැදගත්ම පිරිස භික්ෂුන් වහන්සේයි. එය උන්වහන්සේලාම තේරුම් ගැනීම වැදගත් කරුණකි. එබදු සබුද්ධික සමාජයක් සෑම අංශයකින්ම සුවපත් වන අතර ශීලාචාර වීමද එමඟින් සිදු වෙයි.

මෙම කරුණ අවබෝධ කර ගැනීම පමාවන තරමට සමාජයද දාර්ශනිකව බිඳ වැටෙයි. ජනප්‍රිය භික්ෂුන් වහන්සේලාම වේදිකාගත වන සමාජයක දාර්ශනික භික්ෂුව මඟහැරී යෑම ස්වභාවික සිදුවීමකි. එබැවින් මෙම අංශ දෙකම සමබරව පවත්වා ගැනීමේ වැදගත්කම නූතන භික්ෂුව තේරුම් ගත යුතුය.

මාතෘකා