මුහුණු පොතේ අකුරු කෙරුම්

 ඡායාරූපය:

මුහුණු පොතේ අකුරු කෙරුම්

ගහක හැටි

එහෙමත් තැනක තමයි
මල් පිපෙන්නේ ලස්සන,
ගොම පොහොර කැත වුණාට
එතැන තමයි සුල මුල
සුවඳ දෑ පුඹුදන්න

ගහක් වැඩුනාම නම්
අතු ඉතිත් සරුකමට
මලුත් පුබුදන දාට
අමතකයි ඒ
ගොම පෝර

■ තුසිත පතිරණ

----------------

ඔබේ කටහඬ

සිතාරයක
හඬ එකින් එක පරදුව නැගෙන
ඇතුළාන්තයෙන්ම මුමුනන
යම් ඒකතානමය ස්වරයක්
මහ හැඟුම් දනවන

පෙර එක් ජීවිතයක
රහසින් කන අසල හිඳ
මුමුන මුමුනා සිටි යම් මතකයකි
දැනුත් මේ හැටි මතකය අවුස්සන
විසිරුණු පෙම් ගීතයක පද කැටියක්ව සැරසුව

මහා කන්කලු විහඟ ගීයක
ලතෙත් මුදු පහස කැටිකළ
සමනලියකගේ පියාපත් සෙලවුමක
නැවුම් තාරුණ‍යයක පැහැසරනියක් උපදන

යුගාන්ධර ඈතක
තවම නොකියූ කතාවක් කියවන
ඔබේ ඔය කටහඬ
ළදල්ලක භාවනාවකි මට

■ රුවින් බුද්ධික

----------------------------

දවසක් දා

කෙතරම් තුනී ද මල්පෙති
උඩුබැලිව පොළොවේ වැතිරී ඇති
හැඟෙන්නේ දැනුයි
ඔබ ගියායින් පසුව තමයි

ඉස්සරම දවසක...
ඉර පවා අඳුරේ එබී හුන් සැඳෑවක
මේ වගේ මල්පෙති
මගේ කෙහෙරැලි අතර
ඔබ විසින් සඟවන ලදි

දම් පාට මල්පෙති
හරි තුනී
සුවඳයි ඒ මල්පෙති
ඔව්
ඔබ ඇවිත් ගියායින් පසුවත්...

■ සෂි මධුශානි

------------

නුඹ

අතැරගත යුතුය
කවිම පබදින හඳවත..
කොහොම මඟහැර ලිව්වත්
එහි බොහෝ තැන්වල නොව
අංශුවක් පාසාම නුඹ..!

■ දිනෙත්‍රා ප්‍රභාශ්වරී

-------------

හිස්තැනක් වීය එහි

ඒ මොහොතේ
හදවතේ ඉහළ බිත්තියේ
බිඳුණු තැනකින්
රිදී සඳකිරණ කිහිපයක්
ඇතුල් විය හද ගැබට

කල්පයක් නිදාසිටි ප්‍රේමය
අවදිවිය සෙමින්

මගේ පැරණි මතකයකින්
ඉවතට පා තැබුවක්මෙන්
මන්දස්මිතියක් දල්වා
ඔබ සිටියා ය මා ඉදිරියේ
මුවා කරමින් සැන්දෑ හිරු එළිය

විහිදුවමින් සඳ එළිය
එක කෙස් රොදක් පමණක්
සෙමින් සුළඟේ ලෙලදුනි
නූපුරයක සිහින් හඬක් විය
ඒ සුළඟෙහි

නමුත් ඒ සිනහවේ
කුමක්දෝ හිස්තැනක් විය

■ තරින්ද්‍ර ගලහේන
 

මාතෘකා