ලේ (ඕ)නෑකම

 ඡායාරූපය:

ලේ (ඕ)නෑකම

ප්‍රසූතිකාගාරය අතිශය කාර්යබහුල වූ එක්තරා දිනෙක දැඩි පරිශ්‍රමයකින් තම පස්වැනි දරුවා ප්‍රසූත කළ මවකගේ තත්ත්වය අසාධ්‍ය වූයේ රුධිර වහනය නොනැවතීම නිසාය. දරුවා බිහිකළ පසුව ගර්භාශයෙන් වැදෑමහ පිටවූ පසු රුධිර වහනය වීම කෙමෙන් අඩුවන්නේ ගර්භාශ බිත්ති හැකිළීමත් සමඟය. අධික ලෙස විස්තාරණය වූ ගර්භාශ පේශි හැකිළීම බොහෝ ඉක්මනින් සිදුවේ. එනමුත් සමහර අවස්ථාවලදී කල් ගත වේ. දරුවන් බොහෝ ප්‍රමාණයක් ප්‍රසූත කර තිබීම, දිගු කාලයක් ප්‍රසූත වේදනා විඳීම මෙන්ම හෝර්මෝන තත්ත්වයන්ගේ බලපෑම සහ ඇතුළත බිත්තියෙන් වැදෑමහ පටක කොටස් හරියාකාරව ගැලවී නොයෑමද රුධිර වහනයට හේතුවන ප්‍රධාන කාරණාය.

“මට කලන්තේ" කියමින් ඒ අම්මා දෑස් පියවයි. ඊළඟ මොහොතේ ඇයගේ රුධිර පීඩනය සහ හෘදස්පන්දනයද හීනවනු ඇත. මේ අවස්ථාව පසු ප්‍රසව රුධිර වහනය හඳුනාගෙන ඊළඟ තත්පරයේදීම ක්‍රියාත්මක විය යුතු මොහොතකි. රුධිර කොටස් ගෙන්වීමට කටයුතු කරන අතර ගර්භාෂය තුළට අත්වැසුම් දැමූ අතැඟිලි ඇතුළු කර මෙවැනි පටක කැබැලි ඇතිදැයි පරීක්ෂා කර බලනු ලබයි. පිටතින් ක්‍රමාණුකූල ලෙස තෙරපමින් ගර්භාශය සම්බාහනය කරන අතර විටින් විට රුධිර වහනය ගැන විමසිලිමත් විය යුතුය.

ඒ අම්මා ගැන එසේ ක්‍රියාත්මක වන විට ඇසෙන්නේ බාහිර රෝගී අංශයේදී ක්ලාන්ත වී වැටුණු තරුණියක සුදුමැලිව ඇති බවත් ඇගේ මූත්‍රා පරීක්ෂණයෙන් ඇය ගර්භණී බවක් පෙන්වන බවත්ය.

ඇයගේ ගර්භාශයෙන් පිටත පැලෝපීය නාලවල ගැබ් ගැනීමක් සිදුවී ඇති බවත් මේ වන විට එය පුපුරා ඇගේ ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් සිදුවී ඇති බවත් ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු විය. ගර්භාශයෙන් පිටත පැලෝපීය නාලයක දරු ගැබක් පිළිසිඳ ගැනීමට හේතුවන්නා වූ කාරණා රාශියකි. බොහෝ විට මේ සඳහා හේතු වෙන්නේ පැලෝපීය නාලවල ඇතිවන අවහිරතා වේ. පැලෝපීය නාල තුළ ඇති සිලියා නම් කුඩා කෙඳිවලට හානි සිදුවීම මඟින් මෙවැනි අවහිරතා ඇති විය හැකිය.

ඒ රැය පුරා ශල්‍යාගාරයේ සිටි අප මෙන්ම රුධිර බැංකුවේ සිටි වෛද්‍යවරයා, හෙදියන්, සුළු සේවකයන් මෙන්ම වාට්ටුවල සිටි කාර්ය මණ්ඩලයද බොහෝ සෙයින් කාර්යබහුල වූවෝය.

මේ මවුවරුන් දෙදෙනාගේම දිවි බේරාගත්තේ මහත් වෑයමකිනි. අධික රුධිර වහනය නිසා සිරුරෙන් බැහැර වූ රුධිරය වෙනුවෙන් රතු සෛල, ප්ලාස්මාව, පට්ටිකා සහ ක්‍රයෝ නම් රුධිරය කැටිගැසීමට අවශ්‍ය වන සංඝටක බහුල රුධිර කොටස් විටින් විට ඒ මවුවරුන්ට ශරීරගත කෙරිණ.

අප දන්නේ පත්‍රිකා පුරවමින් රුධිර කොටස් ඉල්ලූ බවද විටින් විට ඒවා ලැබුණු බවද පමණි. තිරයෙන් පසුපස සංග්‍රාමය ඊටත් වඩා වෙහෙසකරය. රෝගියාගේ රුධිර සාම්පලය සමඟ දායක රුධිර රතු සෛල ගැළපිය යුතුය. ඒ සඳහා ප්‍රතික්‍රීයක සමඟ එම රුධිරය, ප්ලාස්මාව ක්‍රියා කරවා රුධිර ගණය හා ගැලපුම් පරීක්ෂා සිදු කළ යුතුය. රුධිර සෛලවලට විරුද්ධව

ප්‍රතිදේහ සකස්කොට ඇත්නම් ගැළපෙන රුධිරය සොයා ගැනීම අපහසු කාර්යයකි. ප්‍රසව හා නාරිවේද වාට්ටු තුළ මවගේ සහ ළදරුවාගේ යන ජීවිත දෙකම බේරා ගැනීමට පොර බැදිය යුතුය.

වෛද්‍යවරයා දෙවියෙක් වෙන්නේ කෙසේදැයි මා එවන් මොහොතවල අත්දැක තිබේ. දරුවාද මවද බේරාගන්නා වෛද්‍යවරුන් හට දෙඅත් එකතුකර වඳිනා මවුපියවරුන් මම දැක තිබේ. ඔවුන් එසේ කරන්නේ තම කෘතවේදීත්වය පෙන්වීමටය. අප උතුරු කොන ගිය අවධියේ ඒ ප්‍රදේශයේ සිටියේ දකුණට බියවූ දකුණ ගැන වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණාවූ මොළ සෝදා දැමූ පිරිසක්ය. එයින්ද ප්‍රසව වාට්ටු තුළ අපට හමුවූයේ තරුණ මවුවරුන්ය. ඔවුන්ට ආගන්තුකයන් වූ ඔවුන් කාලයක් පුරා බිය වූ දකුණේ වෛද්‍යවරුන් හට තමන්ගේ ලෙඩ දුක්වලදී පිහිට වෙන්නටත් තම ශරීර අභ්‍යන්තරය කපා ඇර ශල්‍යකර්ම කිරීමටත් ඉඩ දුන්නේ මහත් වූ විශ්වාසයකිනි. ඒ, වෛද්‍යවරුන් දෙවියන් හා සම කරමින් වෛද්‍යවරයා විසින් කිසිදු නපුරක් සිදු නොකරාවිය යන විශ්වාසයෙනි. එහෙයින් ලියාපදිංචිය ලබා ගනිද්දී කියවන හිපෝක්‍රටීස් ප්‍රතිඥාව සිහි කැඳවාගෙන ඒ විශ්වාසය සමාජය වෙත ලබාදීමට අප කටයුතු කළ යුතුය.

අවිනිශ්චිත ලෝකයේ නිශ්චිත වූ යමක් ඇත්නම් ඒ මරණය පමණි. මරණින් මතු මෙසේ සිදුවේයැයි අපට පිළිගත හැකි සාක්ෂි හෝ පර්යේෂණ මා දැක නැත. එහෙයින් මහ පොළොවේ ඔබ ගමන් ගන්නා කාලය තුළ “හොඳ” පමණක් ඉතිරි කර යන්නට වගබලා ගත යුතුය.

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වන අද වැනි දිනයක ලොව පුරා ලේ දන් දෙන සොඳුරු මානවයන්, මානවිකාවන් සමරනු වස් උත්සව බොහෝය. ශරීරයෙන්, පැහැයෙන්, හැඩරුවින් වෙනස් වන අප විසින්ම හදාගත් ආගම් ජාති, කුල වැනි බෙදීම් කොතෙක් තිබුණද අප සියල්ලන්ගේම සිරුරේ දුවන්නේ රත් පැහැ ගත් රුධිරයයි. A, B, AB, O යනුවෙන් ප්‍රධාන රුධිර ඝණ හතරකි. මේවා ගැළපෙන්නට මා කලින් කියූ කිසිදු සාධකයක් බලපාන්නේ නැත. තරුණ අම්මාවරුන් දෙදෙනාගේ ජීවිත සුරැකුණේ අද අප කෘතවේදීත්වය දක්වන රුධිර දායකයන් නිසාය. සියයට සියයක්ම ස්වේච්ඡා රුධිර දායකයන්ගේ රුධිර පරිත්‍යාගවලින් රටේම රුධිර අවශ්‍යතා ඉටු කිරීමට තරම් පොහොසත් රටක් බවට අප පත්වූයේ 2014දීය. ඒ දන්දීමට කැමැති ශ්‍රී ලාංකිකයන් නිසාය.

මාතෘකා