ජනතා සේවය

 ඡායාරූපය:

ජනතා සේවය

මගේ කාර්යාල කාමරයේ පුටු තබා ඇති තැන දෙස මම බැලුවේ ඉන් නැඟුණු වෙනස් ශබ්දයක් නිසා මටම සිතාගත නොහැකි වුණා, තරුණ යුවළක් පුටු දෙකක වාඩි වී මා දෙස බලා ඉන්නවා. ඔවුන් බොහොම කඩවසම් යුවළක්. ඔවුන් එහි පැමිණ ඇත්තේ මටත් නොදැනෙන ලෙසද?

“ඔයාලා මාව හම්බ වෙන්නද?”

මං ඇසූ පැනයට ඔවුන් දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත්තා. දෙදෙනාගෙන් එක් අයෙක්වත් උත්තර දුන්නේ නැහැ. මම හඬ උස් කොට ආයෙත් පැනය නැඟුවා. එවිට ඔවුනතරින් තරුණයා ජනේලයෙන් ඈත බලමින් කෙනකුට අත වැනුවා. ඔහුගේ මුහුණේ තිබුණේ නොසන්සුන්කාරී බවක්. මේ

ක්‍රියාකලාපය මට හිතාගන්න බැරි වුණා. ඒ සමඟ කාර්යාලය තුළට පිවිසුණේ වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවක්.

“මිස්, සමාවෙන්න. මට එන්න ටිකක් පරක්කු වුණා.”

මම ඇයට වාඩි වන ලෙස අතින් සංඥා කළා.

“මිස් මම ලතා. මේ මගේ මල්ලියි එයාගෙ නෝනයි.... මේ දෙන්නටම කථා කරන්න බැහැ.”

ඇය එසේ පැවසුවා. ඒත් මෙච්චර ලස්සන තරුණියකට සහ තරුණයකුට කථා කරන්න බැරි වීම මා සසල කළා. මගේ සසල බව අවබෝධ කරගත් නිසාදෝ කාන්තාව මෙසේද කියා සිටියා.

“ගොඩක් දෙනා මුලදි මෙයාලා දැක්කාම හිතාගන්න බැරිව කල්පනා කරනවා....”

“ඉතින් මොකද මේ පැත්තේ?” මම කෙළින්ම අවශ්‍යතාව විමසුවා.

“මිස්, මේ දෙන්නාම හොඳට ඉගෙනගෙන ඉන්නේ. දෙන්නා ආබාධිත අයටම වෙන් වුණු ඉස්කෝලෙකයි ඉගෙනගත්තේ. දැන් දෙන්නාම එකතු වෙලා ගෙදර ඇක්සයිස් පොත් හදනවා. සාමාන්‍ය ආදායමකුත් තියෙනවා. ඒ වුණාට අපේ අම්මා ඉන්නෙත් මේ දෙන්නත් එක්කයි. ඒකට මගේ මල්ලි කැමති නැහැ. අම්මා දැන් ඉන්නේ ඇඳේමයි. මේ නංගියි මමයි තමයි අම්මගේ වැඩ ටික කරන්නේ....”

ඇය කියාගෙන ගියා. ඒත් අවශ්‍යතාව හරියටම කීවේ නැත. මම ඇගේ දෑස් අඳ නෑනණ්ඩිය දෙස බැලුවා. ඇය ඉතා සාවධානව අපගේ කථාවට ඇහුම්කන් දෙනවා. මට ඔවුන්ගේ පවුල් පසුබිම ටිකක් සොයා බලන්න හිතුණා.

“දැන් ඔයාගෙ පවුලේ ඉන්නේ ඔය දෙන්නා විතරද?”

“ඔව් මිස්. මට ඉන්නේ මල්ලි විතරයි. තාත්තා අපි දෙන්නටම මහන්සි වෙලා ඉගැන්නුවා. මමත් උසස් පෙළ පාස්. ඒත් රස්සාවකට යන්න බැරි වුණා. මම අවුරුදු විස්සෙන් බැන්දා. මමත් මහත්තයත් මගේ දරුවෝ දෙන්නත් දැන් ඉන්නේ අපේ මහගෙදර කිට්ටුවෙන්ම ගෙයක් හදාගෙන. ඒ නිසා ගෙවල් පැත්ත බලන්නත් ඉඩ තියෙනවා. අද අපි ආවේ අම්මට රෝද පුටුවක් ඉල්ලාගන්න ක්‍රමයක් තියෙනවාද බලන්න.”

එසේ කියූ ඇය ඇගේ සොහොයුරා දෙස බැලුවා. ඔවුන්ගේ අවශ්‍යතාව මට හොඳින් වැටහුණා. ඒත් සියල්ලට කලින් මොවුන්ගේ නිවස ඇති තැන සොයාගත යුතුයි.

“ඔයාලගේ ගෙවල් කොයි හරියෙද?”

“අපි විහාර මාවතේ දෙවැනි ගෙදර. සිරිල්ලාගේ ගෙදර කිව්වම කවුරුත් දන්නවා.”

අනතුරුව රජයේ නිවේදනය මා ඔවුන් වෙත දැන්වූවා.

“ඉස්සෙල්ලා අපි ඇවිත් අම්මව බලන්න ඕන. ඊට පස්සෙ රෝද පුටුවක් ඉල්ලලා යවන්න පුළුවන්.”

මගේ පිළිතුර ඔවුන් සෑහීමකට පත් කරන්නක් වුණා. එනිසා මා දෙස කෘතඥ පූර්වකව බැලූ තිදෙනා පිටත් වීමට අසුනින් නැඟිට්ටා.

“අපි ගිහින් එන්නම් මිස්.”

තම සහෝදරයා ආබාධිතයකු වුවත් ඔහුත් ඒ සමඟ ඔහු කැටුව ආ ඔහුගේ දෑස් අඳ බිරිඳ වූ සිය නෑනණ්ඩියත් තමාගේම මෑණියනුත් රැක බලාගැනීමට වෙහෙසෙන මේ කත ගැන මට විශාල හැඟීමක් ඇති වුණා. මගේ කාර්යාල කාමරයෙන් බැහැර වුණු ඔවුන් තිදෙනා පාරට පිවිසුණේ එකිනෙකාට කණවැල අල්ලමින්. පුටුවේ වාඩි වී හිඳගෙනම මම විවර වූ දොරින් ඔවුන් දෙස බලා සිටියා.

“මිස් මොකද බලා ඉන්නෙ?” එකෙණෙහි මා විමසුවේ කොස්සක් රැගෙන කාමරයට ඇතුළු වූ විනීතා.

“අර ආව කට්ටිය ඉන්නෙ කොහෙද කියල විනීතා දන්නවාද?”

“දන්නවා මිස්.” ඇය ඍජුව පැවසුවා.

“එහෙනම් හවසට ඒ පැත්තෙ යමුකො.”

වැඩි විස්තර කිසිවක් විනීතාට නොකී මම ආපසු ලිපි ගොනුවට එබුණා. ඒත් නැවත ඊට අවතීර්ණ වීමට කුමක්දෝ අපහසුතාවක් මට දැනුණා. මං හිස ඔසොවා ඉදිරිපස බැලුවා. අර තිදෙනා වාඩි වී සිටි පුටු පේළිය හිස්ව ඇති බව මට පෙනුණා. මඳ වේලාවක් එසේම සිටි මට මා රාජකාරිය බාරගත් දිනයේ ප්‍රාදේශීය ලේකම්තුමිය පැවසූ කතාවක් සිහි වුණා:

“රාජ්‍ය සේවය කියන්නෙ ජනතාවට කරන සේවයටයි. රාජ්‍ය සේවකයා ජනතාවගේ සේවකයායි. ජනතා සේවකයකුට ලැබිය හැකි ඉහළම ප්‍රතිලාභය වැටුප නෙවෙයි, ජනතාව ලබාගත් සේවය නිසා තමන් ලබන ආත්මතෘප්තියයි. කවදා හෝ විශ්‍රාම යන දවසක ඔයාට ඉතිරි වෙන්නත් ඒ ආත්මතෘප්තියත් ඉන් ඔයා ජනතාවගෙන් ලබන ප්‍රශංසාවත් විතරයි.”

මාතෘකා