ආගම සහ පුරාවිද්‍යාව

 ඡායාරූපය:

 ආගම සහ පුරාවිද්‍යාව

ආගම පිළිබඳ වන පුරාවිද්‍යාත්මක මැදිහත්වීම ඉතාමත් සංවේදී එකක් වෙයි. එනම් ආගම පිළිබඳ වන පුරාවිද්‍යාත්මක අර්ථකතනයන් ගොඩනැඟීමේදී ආගමික ප්‍රස්තුතයකට අයත් පුරාවිද්‍යාත්මක දත්ත අනර්ථයෙහි යෙදවීමට ඉඩ අවස්ථා ඇති විය හැකිය. මේ සම්බන්ධයෙන් ගෙන හැර දැක්විය හැකි ගෝලීය උදාහරණ බොහොමයකි. අනුවේදී මනෝභාවයක් ඇති කරගැනීම හෝ සාරධර්මික පක්ෂපාතී තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටීම ඒ පිළිබඳ පර්යේෂණය කරනු ලබන්නෙකුට වැදගත් වන ගුණාංගයන්ය. අනෙක් අතට සලකා බැලුව හොත් ශාස්ත්‍රාලීය ස්වාධීනත්වයද ඉතා වැදගත්වෙයි. එනම් යම් ආගමික විශ්වාසයක් දැරීම හෝ බැතිමතෙකු ලෙස කටයුතු කිරීම මඟින් යම් ආගමික විශ්වාසයක් හෝ ඒ හා සම්බන්ධ චර්යාවක් පිළිබඳ කරනු ලබන විග්‍රහයකට බාධාවිය හැකි අතරම එයින් වියුක්ත වන තුරු එහි තථ්‍ය ස්භාවය වටහා ගැනීමටද නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කළහොත් ආගම පිළිබඳ තථ්‍ය පුරාවිද්‍යාත්මක ප්‍රවේශය මගහැර ගොස් ඇති අතර ඇතැම් විට නොතකා හැර ඇත. එමෙන්ම ආගමික චර්යාව පිළිබඳ ගොඩනැගී ඇති සම්මත භාවිත ආගමික ස්ථාන නාමාවලි සකස් කිරීම හෝ ආගමික ස්ථාන හා ස්මාර්ක වර්ගකොට දැක්වීම මෙන්ම එබදු දෑ සම්බන්ධ ඓතිහාසික ක්‍රියාවලිය විස්තර කිරීම දක්වා සීමා වී ඇති බව පෙනේ. උදාහරණයක් වහයෙන් රුවන්වැලි සෑය ඉදිකර ඇත්තේ කුමන පරිමාණයන්ගෙන්ද? ඒ සඳහා භාවිත කර ඇති තාක්ෂණය දැන ගැනීම තරම්ම ප්‍ර‍්‍රස්තුත කාලයේ ජීවත් වූ බැතිමතුන්ගේ ආගමික විඥානයේ පරිමාව පිළිබඳ දැන ගැනීමද එකසා වැදගත් වනු ඇත. එනම් ඔවුන්ගේ ආගමික ප්‍රජානනය අනාවරණය කර ගැනීමයි. මෙය පුරාවිද්‍යාව හරහා ළඟාවිය හැකි තත්වයකි.

එහෙත් බැතිමතුන්ගේ දෘෂ්ටිකෝණය සලකා බලා පූජනීය ලේඛන තුළ තිබෙන කරුණු සත්‍ය බව පසක් කිරීම හෝ ඒවායෙහි සත්‍ය අසත්‍ය භාවය පිරීක්සීම සඳහා යම් පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්නේ නම් එය සෘනාත්මක ප්‍රවේශයක් වෙයි. උදාහරණයක් වශයෙන් 1970 ගණන්වල අවසාන භාගයේදී දුටුගැමුණු රජුගේ භස්මාවශේෂ කෙරෙහි මහජනයාගේ අවධානය යොමු වීමත් සමඟම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාකළ ආකාරය මෙයට මනා උදාහරණයකි. පෙරදී එළාර සොහොන හා පසුව දකුණු දාගැබ ලෙස ව්‍යවහාරකරන්නට යෙදුණු මෙහි කරන ලද කැණීම්වලින් සොයාගත් මෙම භස්මාවශේෂ පිළිබඳ පරණවිතාන මහතාගේ නිගමනය වුයේ, 'භෂ්මාවශේෂ හමු වූ ස්ථුපය දුටුගැමුණු රජුගේ සොහොන මත ඉදිකරන්නට ඇති අතර එම ථුපය පිහිටි භූමි භාගය දුටුගැමුණු රජතුමා ආදාහනය කළ පුලිල මළුව විය හැකි' බවයි. සංස්කෘතික අමාත්‍යාංශය මුලිකත්වයෙන් පත් කළ කමිටුවකින් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි පාදක කොටගෙන අචාර්ය පරණවිතාන මහතාගේ මතය මුළුමනින්ම පරීක්ෂා කිරීමට කටයුතු කෙරිණි. සියලුම විශ්ලේෂණ වලින් අනතුරුව මෙම කමිටුවේ ඒකමතික අවසාන නිඟමනය වුයේ මෙම භස්මාවශේෂ දුටුගැමුණු රජුට අයත් බවයි.

මෙහිදී මෙකී ප්‍රවේෂයෙහි ඇති දුර්වලතා කිහිපයක් හඳුනා ගත හැකිය. එනම් රටක පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ වගකීම ඇති මූල ආයතනය මහජන සවිඥානකත්වයට සංවේදී වියයුතු වුවද එහි කාර්යය භාරය වන්නේ මහජනයා අතීතය සම්බන්ධයෙන් නිවැරදිව ඥානනය කිරිම වන අතරම පවතින දේශපාලනමය මතවාදයන්ට පක්ෂව සහ උපකාරී වන අයුරින් අතීතය සම්බන්ධ දැනුම වෙනස් කිරීම හෝ අනවශ්‍ය අවධාරණයන්ගෙන් වැළකී සිටිය යුතුද වන්නේය. අනෙක් කාරණය නම් එකී භස්මාවශේෂ මානව භස්මාවශේෂ ලෙස ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වුවද ඒවා දුටුගැමුණු රජුටම අයත් භෂ්මාවශේෂ ලෙස හඳුනා ගත්තේ කිනම් ක්‍රමවේදයක් යටතේද යන්නයි. ඓතිහාසික ලේඛනයන් මත පදනම්ව සපයා ඇති දත්ත කෙතරම් සිත් ඇද ගන්නාසුලු වුවද පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපනය එකී ක්ෂිතිජයන්ගෙන් ඈත පවතින තත්‍ය ස්භාවයක් විය හැක.

මේ අයුරින්ම යම් පර්යේෂකයෙකුට අනුරාධපුරයේ වැඩසිටින ජය ශ්‍රී බෝධී වහන්සේ කෙතරම් පැරණිද හෝ මහනුවර දළදා මාළිගාවේ වැඩසිටින බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව සැබවින්ම බුදුරජානන් වහන්සේට අයත් එකක්ද යන්න දැන ගැනීමේ පරමාර්ථයෙන් යම් පර්යේෂණයක් සිදු කරයි නම් එයද ආගම පිළිබඳ ගනුලබන සෘණාත්මක පුරාවිද්‍යා ප්‍රවේශයක් වෙයි. එනම් යමෙකු එසේ උත්සහ කරයි නම් හෝ ආගම මෙන්ම සමාජයක ව්‍යුහය සකස් වී ඇති අනෙකුත් විශ්වාස පද්ධති හා සංඝටකයන් පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇත්නම් එකී පර්යේෂණ ව්‍යාපෘතිය මඟින් සමාජයේ ප්‍රගමනයට අවශ්‍ය කිසිදු දැනුමක් ජනනය නොකරන බව ඔහුට හෝ ඇයට ඒත්තු යනවා ඇත. මේ ආකාරයෙන් බලන කල අඩු හෝ වැඩි වශයෙන් මේ දක්වා සිදු වී ඇත්තේ ඓතිහාසික අර්ථකථන පුරාවිද්‍යා අර්ථකතන මත පතිත කරගනිමින් වංශකතාවල හෝ අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍ර වල අඩුලුහුඬුකම් පිරවීමට හෝ ඒවායෙහි සත්‍ය අසත්‍ය භාවය පිරික්සා බැලීමට අවිඥානික ගම්‍යතාවයක් සහ ලාලසාවක් පවත්වාගෙන යෑමයි. එයද පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූ කල ආගම වෙත ලඟාවිය හැකි සෘණාත්මක ප්‍රවේශයකි.

පුරාවිද්‍යාවේ මූලික කාර්යය භාරය වන්නේ අතීතය මඟින් වර්තමානය වෙත ඉතිරි කර තිබෙන දව්‍ය සමුච්ච වල අඛණ්ඩතාව හැදෑරීම වන බැවින් මෙකී කාරණා දෙකම යම් ආගමික ස්ථානයක් පිළිබඳ කරනු ලබන පුරාවිද්‍යාත්මක විග්‍රහයකදී වුවද ඒ ආකාරයෙන්ම යොදාගත හැක. ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත බුදුදහම මුල්කාලීනව කේන්ද්‍රගත වූ මහාවිහාරය ගතහොත් එය කලානුරූපීයව අභ්‍යන්තරික හා බාහිර දේශපාලනික, ආර්ථික, ආගමික විචලනයන්ට හසු වූ අතර ඒ තදාශි‍්‍රතය සම්බන්ධව කරනු ලබන පුරාවිද්‍යාත්මක අධ්‍යනයකදී ඒ හා ඓතිහාසිකව සිදුවූ සිදුවීම් වල අඛණ්ඩතාවය හා විපර්යය කෙරෙහි අනිවාරයයෙන්ම අවධානය යොමු කළ යුතුය. මේ සම්බන්දයෙන් ගත් ප්‍රශස්ත උත්සහයන් පැවතියද එම අධ්‍යන සම්ප්‍ර‍්‍රදායන්ගේ පැවැත්ම තහවුරු කිරීමට අපොසත් වී ඇත් බව පෙනෙන්නට තිබෙන කරුණකි.

[ දිනේෂ් දේවගේ]

මාතෘකා