It’s not about the destination, it’s about the journey.

 ඡායාරූපය:

It’s not about the destination, it’s about the journey.

ළමයකුට පුංචි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ සැලසුම් සහගතව ජීවිතේ ගෙවන්න. ඊළඟ පියවර ප්ලෑන් කරන්න. පෙර පාසලෙන් ප්‍රාථමික පාසලට, ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙකට, සාමාන්යන පෙළින් උසස් පෙළට, උසස් පෙළින් කැම්පස් එකට, රස්සාවකට, විවාහයකට, ගේදොර යානවාහනවලට, දරුමල්ලන්ට. මේ ලිස්ට් එකේ ඉවරයක් නෑ. අපි හැමවෙලේම හිතන්නෙ ඊළඟ පියවර අපේ ගමනාන්තය කියල. ඒක අත්පත් කරගන්නකන් ඉවසුම් නෑ. අපි හුස්මක්වත් නොගෙන ඒක හඹා යනව. ඒක හිමි කරගත්තම අපිට ඊළඟ පියවරට අඩිය තියන්න ඕන වෙනව. ආයෙත් හඹා යනව. ඉස්පාසුවක් නෑ. මරන මොහොතට ඇවිත් හැරිල බලද්දි දිවිල්ලෙ ඉවරයක් තිබිලත් නෑ, ඒත් අත්පත් කරගත්ත දේවල් විඳලත් නෑ.

ඇත්තටම නං ජීවිතය කියන්නෙ අපි දේවල් ලුහුබැඳගෙන යද්දි, අපිට මඟඇරෙන දේවල්වලට. සැලසුම් කරපු ජීවිතයක් වෙනුවට සැලසුමක් නැති, එන විදිහට මූණ දෙන්න ලෑස්ති ජීවිතයක් තෝරගන්න අපි පැකිළෙන්නේ ඇයි? මිනිස්සු විදිහට හැමවිටම පහසු මාර්ගය තෝරගන්න අපි පුරුදු වෙලා ඉන්න නිසා.

හදවත කොනිත්තල අපි සැතපිලා ඉන්න නිද්‍රාවෙන් ඇහැරවල, ජීවිතේ කියන්නෙ ගමනාන්තයකට නෙමෙයි ගමනකට බව කියල දෙන කතාවක් මේ. වීරා ත්රිැපති දිල්ලියේ ප්‍රාකෝටිපතියකුගෙ දියණියක්.ඇගේ විවාහයට පෙරදා මැර පිරිසක් විසින් අත්වැරදීමකින් ඇයව පැහැරගෙන යනවා. මුළු කතාවම දිවෙන්නෙ,මේ මැරයන් පොලීසියේ උකුසු ඇසින් බේරීමට නොයෙක් උපක්‍රම යොදමින් නගරයෙන් නගරයට වීරා රැගෙන පලා යන ගමන වටා. පුදුමාකාර ලෙස මේ ගමන අතරතුර දී වීරා නිදහස පසක් කරගන්නවා. එතෙක් කල් අහිමිව සිටි තමන්වම හොයාගන්නවා. නම්බුව රැකගැනීම පිණිසම ජීවිතය කැප කළ තමන් ජීවත් වූ සමාජය කෙතරම් වංචාකාරී දැයි ඇයට තේරුම් යනවා. ඇය හැමවිටම බලාපොරොත්තු වූ හදවතේ සාමය මේ ගමනේදී අත්පත් කරගන්නවා. ඒ වගේම, ඇයව රැගෙන යන මැර පිරිසේ දරදඬු ප්‍රධානියා, මහබීර් භාටිගේ ඉතිරි කෙටි ජීවිත කාලය සහමුලින්ම වෙනස් කරන්න ඇයට හැකි වෙනවා.

‘මං හිටපු, ඔයා මාව අරං ආපු තැනට මට ආපහු යන්න ඕන නෑ. අපි මේ යන්න හදන තැනට යන්නත් මට ඕන නෑ. ඒත් මේ යන ගමන.. මේ ගමන මට ඕන. මේ ගමන ඉවර වෙන්නෙ නැතුව තියෙන්න ඕන.’

වීරා මහබීර්ට කියනවා. මේ කතාව ඇතුළත්, 2014 අවුරුද්දෙ තිරගත වීම ඇරඹූ ‘හයිවේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජබ් වී මෙට්, ලව් ආජ් කල්, රොක්ස්ටාර්, ටමාෂා වගේ වෙනස් ඉන්දීය චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වුණු ඉම්තියාස් අලී. වීරා ලෙස ආලියා භාත් සහ මහබීර් ලෙස රන්දීප් හූදා විශිෂ්ට රංගනයක යෙදෙනවා. ඔවුන්ගේ රංගනය දැකීමෙන් හදවතේ බුබුළුලන හැඟීම්, ඒ. ආර්. රහ්මන්ගේ සංගීතය නිසා දෙගොඩතලා යනවා.

මේ සිනමාපටය එක අතකින් නැවතීමත් අනෙක් අතින් ගමනත් යෝජනා කරනවා. මහා සමාජය යන වේගෙට සමපාත වෙන්න හිතාගෙන ඉවක්බවක් නැතිව දුවන දිවිල්ල නවත්තන්නත් සමාජයෙන් ලැබෙන භෞතික සම්පත් තනතුරු නම්බුනාම ලුහුබඳිනවා වෙනුවට පුළුවන් තරං අත්දැකීම් එකතු කරමින් ජීවිතය ඈතට විහිදුවන්නත් ප්‍රේක්ෂකාගාරයට යෝජනා කරනවා. ජීවිතය විශාල වෙන්නේ මතුපිට වටිනාකම්වලින් නෙමෙයි. ආධ්‍යාත්මිකව දියුණු මිනිහෙක් ලෙස ගොඩනැඟීමට නම් කෙනෙක් තමා තුළම චාරිකාවක් යා යුතුයි. ඒ සඳහා සමාජෙන් වෙන්වෙලා සංචාරයේ යෑම තරම් කළ යුතු වෙන කිසිවක් නැතැයි හයිවේ අධ්‍යක්ෂවරයා පවසනවා.

මහායාන දර්ශනයේ එන සංකල්පයක් සේකර සිය ‘ප්‍රබුද්ධ’ පොතේ මෙහෙම ලියනවා.

‘නැවතීම ම ය ගමන - සංසාරය ය නිවන.’

මාතෘකා