පිරිමින්ට ප්‍රවෘත්ති හා ගැහැනුන්ට මෙගා නාට්‍ය

 ඡායාරූපය:

පිරිමින්ට ප්‍රවෘත්ති හා ගැහැනුන්ට මෙගා නාට්‍ය

සමාජ මාධ්‍ය කොයිතරම් ප්‍රචලිත දැයි කීවත් තවමත් ජන සමාජයේ වඩා බලපෑම් සහගතම මාධ්‍ය වන්නේ රූපවාහිනියයි. වැඩිහිටි ජනගහනයෙන් සුළු පිරිසක් හැර සමාජ මාධ්‍ය සක්‍රියව භාවිත කරන පිරිසක් මෙරට තවම නැත. එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙත හුවමාරු වන ඇතැම් තොරතුරුද ජන විඥානගත වෙන්නේ ඒවා රූපවාහිනියේ තහවුරු කළ පුවත් වන්නේ නම් පමණි. තරුණ පරම්පරාවේ බොහෝ දෙනකුගේ මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයද මිතුරකු දෙදෙනකු අතර කතා බහකට, සමූහයක හෝ පිටුවක අහම්බෙන් ඇස ගැටෙන යමක් කියවීම හෝ බැලීම මිස ඉන් එහා සිදුවන බලපෑමක් නොවේ.

මේ සියල්ල තහවුරු කරන්නේ කුටුම්භයක නැතිනම් නිවසක එහි නිවැසියන් බාහිර සමාජයේ සමාජ, දේශපාලනික, ආගමික හා සංස්කෘතික කාරණා ගැන ඉගැන්මක් ලබන්නේ රූපවාහිනිය මූලික කරගෙන බවයි. නමුත් රූපවාහිනියේ ඉදිරිපත් කෙරෙන වැඩසටහන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පදනමකින් ඉදිරිපත් වන බවක් දිස්වේ. ඒ පුවත් හා කාලීන සිදුවීම් පිරිමි ඇසකින්ද මෙගා ටෙලිනාට්‍ය, රියැලිටි තරග ගැහැනු ඇසකින්ද දැකිය හැකි ලෙස රූපාන්තරණය කර තිබීමෙනි.

නිවසක බොහෝ වැඩිහිටි පිරිමින්ට මෙගා නාට්‍ය හා දිලිසෙන වෛවර්ණ ඇඟලුම් ඇති රියැලිටි තරග 'මල විකාරයන්' වේ. ගැහැනිය බොහෝකොටම ප්‍රවෘත්ති නරඹන්නී සමාජය කලඹන සිදුවීමක රූප නැරඹීම පිණිසය. මේ නිසා පිරිමින් බොහෝ නවක නළු නිළියන් නොදන්නා අතර ගැහැනු බොහෝ පුවත්වල යටිපෙළ කාරණා නොදනිති.

ගැහැනුන්ගේ නුවණ හැඳි මිටේ දිග යැයි පිරිමි කියමනකි. නමුත් පිරිමින්ට වඩා දේවල් ග්‍රහණය කර ගන්නී ගැහැනියයි. පිරිමින්ගේ දැනුම විෂයෙහි කථිකා වන කාරණා පිළිබඳ ඔවුන් දක්වන වැදගත්කමත් ගැහැනිය ඒ ගැන දක්වන උදාසීන බවත් ඇගේ නුවණෙහි දිග පළල ගැන නිර්ණායක සැකසෙන්නට හේතු වී ඇත. අද දවසේ ජනප්‍රියම ටෙලි නිළිය කවුදැයි කියා හෝ අසවල් ටෙලියේ අද සිදු වූ හොඳම කොටස කුමක් දැයි කියා හෝ පිරිමියා නොදැන සිටීම ඔහුගේ නුවණෙහි දිග පළල හොයන්නට උත්ප්‍රාස වන කාරණයක් නොවේ. මෙයින් පැහැදිලි වෙන්නේ ගැහැනු සමාජයද පිරිමියා වැදගත් යැයි දකින තොරතුරු ගැන මැදිහත් වීමට කුසීත බවක් දැක්වුවද ඊට සමස්ත සමාජයෙහි දෙන වැඩි වැදගත්කම පහත හෙළීමට අරමුණු කර නොගන්නා බවයි.

ගැහැනු පොදු සමාජයේ වැදගත් යැයි සලකන විෂයයන්, කථිකාවන් මඟහරින්නේ ඇයි? සුලබ පිළිතුරු නම් "අනේ මම ඔය ගැන දන්නේ නෑ" "මට ඕවා තේරෙන්නේ නෑ" යන්නයි. නමුත් මේ නොතේරුම් නොමේරු ගැහැනුම ජාතික විභාගයන්හි පිරිමින් අභිභවමින් ලකුණු ගනිති. සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව උසස් අධ්‍යාපන ආයතනවල අඩකටත් වඩා ගැහැනු වර්ගයා නියෝජනය කරති. රැකියා වෙ‍ෙළඳපොළෙහි පිරිමින්ට අභියෝග වන සුදුසුකම්ලාභීන් වෙයි. නමුත් මේ ගැහැනු පිරිසම තමන්ටද බලපාන ප්‍රතිපත්ති සම්පාදනයට හේතු පාදක වන සමාජයීය කථිකාවන්, සමාජයීය දැනුම උත්පාදන මාර්ගයන්ගෙන් ඈත්ව වසති.

ඉතින් මේ සටහනෙහි ප්‍රවේශයෙහි පෙන්වා දෙන ලෙසම පිරිමින් සඳහා ප්‍රවෘත්ති සංස්කරණය වෙද්දී ගැහැනුන් උදෙසා මෙගා නාට්‍ය පිටපත් ලියවේ. පිරිමින් තම වින්දන අවශ්‍යතා සඳහා විදෙස් රූපවාහිනී නාලිකාවල විකාශය කෙරෙන අධිතාක්ෂණික, අධියථාර්ථවාදී නිර්මාණයන් වෙත වහ වැටෙන විට ගැහැනු තොල් සායම් හා බරැති අභරණ පිටින් මහා සළු දවටා නින්දට යන ගැහැනුන්ගේ ශෝකාලාප කියවෙන මෙගා ටෙලි වෙත ඇබ්බැහි වෙති. පසුදා උදයෙහි කාර්යාලයේ, දරුවන්ගේ පාසල් ළඟ ගේට්ටු අසල, පොදු ප්‍රවාහන රථයේ එම කතාවෙහි රසමුසු තැන් සේම අහවල් නිළිය ඇඳ සිටි ඇඳුමෙහි රේන්දයේ දිග පළල, හැඩ නිල ගැන පවා කතා කරති.

පිරිමි හමු වූ විට දේශපාලනය පොදු මාතෘකාව වේ. උනුන් හා අදහස් කටින් කට යන කල මුහුණුපොත බිත්ති මත ලියවෙන කල පිරිමින්ට උවමනා දේශපාලනික සමාජ සැකැස්මට උවමනා මානසික වටපිටාවන් සියුම්ව නිර්මාණය වෙයි. ගැහැනිය තොරතෝංචියක් නැතිව දොඩමලු වන්නී එහෙත් තමන්ට බලපාන ලෙස සැකසෙන සමාජ වියමනට කිසිඳු අදහසක් නොදෙන්නීය. මෙගා නාට්‍ය වින්දනය විසින් ඇගේ චින්තන හැකියාව මොට කරනු ලැබ අවසන්ය. අනෙක් අතට ගැහැනියට ස්වයං විචාරයක් හෝ බොහෝ විට නොපවතී. ඒ නිසාම කුටුම්භ ජීවිතය හැර ඉන් පරිභාහිර ලෝකය ගැන උනන්දුවක් නැත. "අපි හම්බ කර ගත්තොත් අපි කනවා" න්‍යායෙන් දේශපාලන, සමාජ, ආර්ථික වටපිටාව තමන්ගෙන් ඉතා දුරස්ථ සංකල්ප සේ වටහාගෙන සිටී.

මේ නිසා සමාජයක සියල්ල සිදුවන්නේ සංවාදවල හා විසංවාදවල එකඟතා, ගැටුම් නිසා බව අද දවසේ ගැහැනිය අවබෝධ කර ගත යුත්තේය. අධ්‍යාපන සහතික මිටි හෝ රැකියාවන්හි ලද තනතුරු නොව සක්‍රිය සමාජ ජීවිතය ඊට වඩා යමක් තමා වෙත ප්‍රදානය කරන බව ගැහැනිය වටහා ගත යුත්තේය. පිරිමින් එකතු වී කතාබස් කර පිරිමින්ගේ තීරණ පමණක් එළිදකිනු ඇති බවද කාන්තාව කවදත් හැඳි මිටෙහි නුවණට යනු ඇති බවද තමාට පසු පස පරම්පරාවට හෝ කියා දිය යුත්තේය. දැනුම පමණක් නොව සහජ බුද්ධිය මෙහෙයවා කාන්තාව ඵල ලබන දින මේ මාතෘකාව මෙසේ වෙනස් වනු ඇත. "රූපවාහිනිය පොදු ප්‍රේක්ෂකයා".

[සජිනි උයන්ගොඩ]

මාතෘකා