සුමාන හැටක්

 ඡායාරූපය:

සුමාන හැටක්

රහදිව තියෙන ඇත්තොත් එක්ක සුමාන හැටක් ගෙවා දැම්මය කියන්නෙ සුලුපටු කාරණාවක් නෙවෙයි ඕං. ඔය අව් අස්සෙ අපේ කෑම්පීම් රටාවෙ වරුණෙ ගැන තව කතා කොච්චර කියන්ඩ ඉතිරි වෙලා තියෙනවද? හැබැයි හිතන්ඩ නරකයි මේ සිංහල රටේ අපේ කෑම ගැන මුන්දැ කියන්නේ අනෙක් ඒවාට වැඩිය එව්ව උහ හින්දාය කියලා. ඇත්තටම එහෙම එකක් නෑ. අර මොකද හැම ජන කොට්ටහකම කොයි සංස්කෘතික කාරණාවම වාගේ ඉවිල්ල, පෙවිල්ල, ගිලිල්ල තීරණේ වෙන්නෙ තමුන්නෙ වුවමනාවෙ හැටිවට වාගේම මහ පොළවත් එක්ක ගැටෙන්ඩ වෙන හැටියට.

පමණක් සංස්කෘතිවල ඇත්තො වැඩියෙන් මස් කන්නෙත් අපි නොකන දේවල් කන්නෙත් ඒ හින්දා තමයි. ආං ඒ වාගේම කොයි කා අතරෙත් රස නහර සන්තෝසෙන් නිල් වෙන විදිහෙ පංකාදු කෑම තියෙනවා. ඔයික අතරෙ අපේ වාගෙ ඉර එක්ක ළං වෙච්ච රටවල ඇත්තො කාපු බීපු දේවලට හුඟක් එක්කහු කෙරුවෙ ස්වභාවික දේවල්. දැං බලමුකො ඔය අපේ කුළුබඩු. අපි කෑම රහ කරගන්ඩ යොදාපු දේවල් කට රහ කෙරුවා විතරක් නෙවෙයි ලෙඩ දුක් නිවාරණය කෙරුවත් එක්කනේ. මේ ඊයෙ පෙරේදා මං දන්න බවලතියක් සූකර මාලුවක් උයාගන්න විදිය ගැන උජාරුවට විස්තර කරලා තිබ්බා වත් පොතේ. ඒකෙ තියෙනවා උයාගනිද්දි ඌරු මසට චිකන් ස්ටොක් එක්කාසු කරන්ඩ කියලත්. මං ඇහුවා හත්තිලව්වේ මේ මක්කටැයි එහෙම කෙරුවම ඌරු මාංශෙ රහ යට ගිහිල්ලා විච්චූර්ණ කුකුළු මස් රහක් උඩ එනවා නෙවද කියලා. දැන් එහෙමලු. ඉතිං මං මොනව කියන්ඩද? හැබැයි රජෝ මොන කෑම ඉව්වත් මුලින්ම මතක තියාගන්ඩ ඕනෑ ඒකට ආවේණික රහ ඉස්මතු වෙන්ඩ දෙන්ඩ ඕනැය කියන කාරණව. දැන් බලන්ඩ මාලු වරිග කොච්චර තියෙනවද ඒ එක එකක් වෙන වෙනම රහ තියෙනවා. උයන්ඩ ඕන වෙනස රැකෙන්ඩ. අර පබිලිස් සිල්වා මහත්තයා කියන්නැහේ.

හා ඉතිං පහුණු දවස්වල අපේ නුවරඑළියෙ චන්ද්‍රජෝති මහ නායක උන්නාන්සෙ ඔත්පල වෙලා බදුල්ල මහ ඉස්පිරිතාලෙ වැඩ උන්නා බෙහෙත් වළඳමින්. උන්නාන්සෙට දීඝායු. මාත් එක්ක ආ ගිය කතා දමද්දි හිනා වෙලා කියනවා තමන් වහන්සෙගෙ අම්මා මාළුපිනි ඒදනකොට වතුරෙන් නැතුං තෙලෙන් තැම්බෙන්ඩ ඇරලා එක එක එළවළුලුවෙ රහ වෙනස රැක්ක හැටි. එව්වා බලා ඉඳලා අම්මගෙ අත් ගුණේ හිතට උරාගත්ත හින්දා සාම‍ණේර සීලෙ රකින කාලෙ මහනායක උන්නාන්සෙට රතු ලූනු කිරි හොදි හදලා දුන්න හැටිත් සිහිපත් කෙරුවා. අමුමිරිසුයි, දුරු තුනපහ ඩිංගකුයි ඇති පදම් රතු ලූනුයි පොල් කිරි දාලා උයාගෙන බෑවට පස්සෙ දෙහි බෑයක විතර ඇඹුල් මුහු කරගත්තම ආං පංකාදු හොද්දක්. කැමති නම් උම්බලකඩ කුඩු ටිකකුත් එක්කාසු කරගත්තට කාරි නෑ. කොච්චර කෑවත් මොකද රතු ලූනු අගුණ කෑමක් කියලයෑ. ඔයාකාර හොද්දක් මං කෑව කතරගමදි. රතු ලූනු විතරක් නෙවෙයි ඇති පදම් මුරුංගා කොළ දාලා සියඹලා ඇඹුලෙන් රහ කරාලා. ඒකත් බත් මරන්ඩ පුළුවන් හොද්දක්.

අවුරුද්දකට සැරයක් ඇහැළ මහේ යාල්පානමේ හිට මිනිස්සු ඌවේ කතරගමට පයිං ගාටනවා මුරුගන් නැත්තං කතරගම දෙයියන්නාන්සෙ වඳින්ඩ. පානමට ඇවිල්ලා කුමණෙන් කැලේට ඇතුළු වුණාම එතනින් යාලත් පහු කරලයි මුන්දැලා කතරගමට එන්නෙ. ඉතිං මේ හුඟක් නඩ උයා පිහාගෙන කනවා. මාත් මේ නඩයක් එක්ක වතාවක් උන්නා ඔකඳ දේවාලෙ. ඔය ගමන්වලදිත් මුරුංගා කොළ හොද්ද බඩ ගින්දර නිවන බතට රහ දෙනවා. මේ විදියටම තෝර කොළත් උයා ගන්ඩ පුළුවන් හැබැයි සමහරුන්ගෙ බඩ ඩිංගක් බුරුල් කරන්ඩ ඉඩ තියෙනවා තෝර කොළ කෑවම. කතුරු මුරුංගා කොළ වුණත් හොද්දට කෑවකි. එහෙම නැත්තං ඉස්සො කකුළුවො උයද්දි දාන්ඩ පුළුවන් ගිනියම නිවෙන්ඩ. දන්නවද කතුරු මුරුංගා කරලුත් කන්ඩ පුළුවන්. බොහෝම ළපටි කතුරු මුරුංගා කරල් කෑලිවලට කඩලා නටන උණු දියට දාලා විගහනියට ගත්තම එව්වයෙ තව් මැරෙනවා. ඊටපස්සෙ මෑ බොංචි උයන්නැහේ කිරට උයාගත්තම රහයි. මේ විදියට උයන දඹල ජාතිත් තියෙනවා.

යංතම් කහට ඇඹුල් රහක් දැනෙන තව හොද්දක් ගැන මතකෙට ආවා. ඒ තමයි අමු දිවුල් ගැට හොද්ද. අමු නොපැහුණු දිවුල්වලට අපේ මහ ගම උන් කිව්වෙ බත් ජූල් කියලා. ටික්කිරි අපි ලුණු කැට එක්ක එව්වා උලා කෑවා. නැත්තං අර ලොවි සම්බෝල හැදුවා වාගේ අලුත් පොල් කට්ටකට හූරලා දාගෙන ලුණු මිරිස් එක්ක කොටලා කෑව. ඔය බත් ජූල් හොද්දට කන්ඩ පුළුවන් වග වැඩිය හොඳට දැන හිටියෙ වන්නිකරේ හිංගල ඇත්තො. මෙහෙමයි ඒක ඉව්වෙ මට මතක හැටියට. බත් ජූල් ගෙඩි බිඳලා ගා ගන්නවා හීනිවට. ඊට පස්සෙ ළොඳ මද වතුරෙ දිය කරගන්නවා. දැන් ඒක පොල්කිරි වාගෙ. ඒකට අමු මිරිස්, දුරු පහේ ජාති, උලුහාල්, කරපිංච, කුරුඳු, ගම්මිරිස් ඩිංගක් වාගේ හොද්දකට වුවමනා අඩුම කුඩුම දාලා පස්සවා ගන්නවා. ඕකටම මුරුංගා කොළ මුහු කරන්ඩත් පුළුවන්. කතරගම දේවාලෙ නිලමෙ වලව්වෙත් ඔයි වාගෙ හොදි බත් පංගුවට බෙදුණා. ඒවා ගැන කියන්ඩ ඔනැන්නෙ නෑ මයෙ හිතේ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා