මාලිමාවේ කුලය

 ඡායාරූපය:

මාලිමාවේ කුලය

[ධනුෂ්ක බස්නායක]

ගමනක දිශාව නිර්ණය කරන සාධකය නිරන්තරයෙන්ම වටිනාකම අතින් ඉහළ අගයක් ගනී. ගමනාන්තය සනිටුහන් කිරීමේදී එහි උපයෝගීතාව කෙතරම් තීරණාත්මකද යන ප්‍රතිශතය මත ඒ පිළිබඳව තබනා විශ්වාසයද දැඩි වේ. එකී කාරණයේදී එම නිර්ණායකයේ "කුලය" නොසලකා හැර "බලය' ප්‍රමුඛව සැලකේ. කුලය බලාත්මකව පැවති වැඩවසම් යුගයේ නිමාවත් සමඟම බලය ඇත්තෝ කුලවත් වීමට පටන් ගන්නේ එහෙයිනි.

මඟ වැරදුණු සෑම මොහොතකම උතුරට ගමන් කිරීම තුළින් අතරමං වීම වළකාගත හැකියැයි විශ්වාසයක් පවතී. "මාලිමාව" වැනි දියුණු උපකරණ සොයාගෙන නොතිබූ යුගයේ අප දිශාවන් සොයා ගත්තේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී ඉබේම මතකයට නැඟුණේ "උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලා වරෙන්" කියා අප පාසල් සමයේ දිශාවන් සිහියට නඟා ගැනීමට උපයෝගී කරගත් ක්‍රමයයි. මෙය සූත්‍රයක්දැයි කිසිවකු නොදනී. එහි නිර්මාතෘවරයාද නොදනී. බොහෝ කියමන් ක්‍රියාකාරකම්වලට අයිතිකරුවන් සිටියද අපට දිශාව ඉගැන්වූ මේ "මාලිමා යන්ත්‍රයට" පියකු නැත. ගුරු කුලයක්ද නැත. එහෙත් "කුලය " නොදන්නා මේ ක්‍රමය අපට දිශාව ඉගැන්වූ බව පමණක් අප දනී. මාලිමාවෙන් දිශාව සොයාගන්නා නූතනයේ පැරණි සූත්‍ර ක්‍රම විධි මතකයේ නොවුණද දිශාව කියූ සැණින් අදටත් මගේ මතකයට එන්නේ ඒ පැරණි ක්‍රමයයි. මගේ හිත කියන්නේම මාලිමාව දක්වා දියුණු තාක්ෂණයකට පාර කියන්නට ඇත්තේ අතීතයේ අපට තිබූ දිළිදු වුවත් නිර්මාණාත්මක මෙවන් ක්‍රමවේදයන් බවයි.

ප්‍රවෘත්ති විකාශයක් අතරතුර ඉතා දුර්ලභ දසුනක් දක්නට ලැබිණ. ඒ මඟ වැරදී නිවසකට පැමිණි කබල්ලෑවකුට එම නිවසේ සුනඛයා දැක්වූ ප්‍රතිචාරයයි. තමන් සේන්දු වී ඇත්තේ වැරදි ගමනාන්තයකට බව තේරුම්ගත් කබල්ලෑවාට සැඟවීමට අවැසි විය. ඌ පොළොව හාරමින් ඒ සඳහා උත්සාහයක යෙදෙද්දී සුනඛයා පස්වලින් කබල්ලෑවා වසමින් ඌට සැඟව ගැනීමට සහාය දැක්වීය. එක් අතෙකින් එය දුර්ලභ ගණයේ ප්‍රවෘත්තියකි. අනෙක් අතින් සත්ත්ව ලෝකයේ සබැඳියාව පිළිබඳ අපූරු උදාහරණයකි. සුනඛයා අයත් වන්නේ සුරතල් සතුන් ගණයටය. අතීතයේ සිට ඌ ගෙහිමියාගේ ආරක්ෂකයා යැයි පැවසේ. මෙම සුනඛයාගේ විශේෂත්වය වන්නේ ඌ ගෙහිමියාට අනතුරක් නැති සත්වයකු හඳුනාගැනීමට සමත් වීමයි. ස්වාමියාගේ නිවසට මඟ වැරදී ආ පමණින් නිකරුණේ බුරනවාට වඩා තමාට හැකි පමණින් ඌට සහාය වී සිය ස්වාමියාත් තම සත්ත්ව චර්යාවත් මූර්තිමත් කළ සුනඛයා කෙතරම් බුද්ධිමත්ද..? බුරන්නට ගත් විට ස්වාමියාටත් කන්දොස්කිරියාවක් වන තරමට නිකරුණේ බුරන අසල්වාසීන් පවා සපා කන බොහෝ සුරතලුන් අතර මේ සුනඛයා සැබෑම ආරක්ෂකයෙකි. සුරතලෙකි.

මෙවර ජනාධිපති සම්මාන උලෙළේදී මහේන්ද්‍ර පෙරේරා සහ දසුන් පතිරණ සම්මානයට පාත්‍ර වූහ. පොදු කියමනෙන් කියන්නේ නම් එකම වේදිකාවක "ගුරා" සහ "ගෝලයා" සම්මානනීය වීම ලෙස දැක්විය හැකිය. ගුරුවරයා යනු මඟපෙන්වන්නාය. ඒ මඟ යමින් සාර්ථකත්වය දකින සිය සිසුවා තරම් වෙනත් සම්මාන සැබෑ ගුරුවරයකු අපේක්ෂා කරන්නේද නැත. "ගුරු කුලය" හෝ "ගුරු මුෂ්ටිිය" රැකීම යල් පැනගිය ක්‍රමයකි. රැකිය යුත්තේ ගුරුවරයා දුන් ශිල්පයයි. ප්‍රදර්ශනය කළ යුත්තේ ඒ ශිල්පය තුළින් ඔහු ලද ශික්ෂණයයි. අතීතයේදී මෙන්ම වත්මනේදීත් ගුත්තිලලා සහ මූසිලලා අඩු වැඩි වශයෙන් නැත්තේ නොවේ. වීණා වැයුම් නැතත් ගුත්තිලලාගේ දරුවන් ශිල්ප දක්වනු දැකීම සතුටකි. පෙන්වන දිශාව මිස "මාලිමාවේ" "කුලය" වැදගත් නොවන්නේ එහෙයිනි.

සැබවින්ම අපට ඇත්තේ "කොන්ටිටිය" සහ "කොලිටිය" පිළිබඳ ප්‍රශ්නයකි. ගොඩ කොපමණ විශාල වුවද ඒ ගොඩෙහි ප්‍රමිතිය අවම නම් අවසාන වටිනාකමද එසේය. ප්‍රමිතිය මනින්නේ කිසිවකු දිනාගත් ප්‍රසිද්ධිය මත පමණක් නොවේ. එය ප්‍රමාණාත්මකව විශාල විය හැකිය. මිලෙන් අධික වටිනාකමක්ද විය හැකිය. එහෙත් ඒ සියලු දේ බාහිර සාධකය. පුද්ගල චරිතයක් තුළ ඇති ශික්ෂණය ඉහත කී බාහිර සාධකවලට වඩා මිලෙන් වැඩිය. වටිනාකමෙන්ද ඉහළය. ඔබ නිකමට මතකය වෙහෙසා බලන්න. ඔබ දන්නා ජනප්‍රිය චරිතවලින් ඔබට ඉතා පහසුවෙන් මතකයට නඟා ගත හැක්කේ ඔහු තැබූ වාර්තා ප්‍රමාණයද..? සම්මාන ප්‍රමාණයද..? එසේත් නැතිනම් ඔහුගේ හෝ ඇයගේ කතාව, සිනහව හැසිරීම වැනි සරල කාරණාද..? කණාටු වූ ඉපල් ගස් ආඩම්බරයෙන් අහසට එසවී තිබේ. බොල් වී කරල්ද එසේය. එහෙත් ඵල බරවූ ගස් සහ කිරිවැදුණු ගොයම් නිරන්තරයෙන් බරවන්නේ පොළොවටය. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වටිනාකම් හඳුන්වා දීමට ඊට වඩා සුදුසු නිදසුන් නැත.

"සහනය" සහ "අසහනය" බැලූ බැල්මට පරස්පර තේරුම් ඇති වචන දෙකකි. එහෙත් එක් වචන‍යකින් "අ" යන්න ගලවා ඉවත් කළ පසු වචන දෙක සහ අරුත් සමානය. නූතනයේ සියලු සමාජ සංසිද්ධි මේ කෝවේ දමා කියවා ගතහොත් අවසාන කියවීමද එක සමානය. පතරංග උදාහරණ සොයා වෙහෙස විය යුතු නැත. කලෙක ජනප්‍රිය මාතෘකාවක් වූ "කුවේට් කුමාරී" නොහොත් "කුමාරි අක්කා"ගේ වත්මන් කතාව හා සසඳන්න. සිද්ධි යනු මාලිමාවක් වැනිය. එය ඔබට පෙන්වන්නේ යා යුතු දිශාව මිස අන් යමක් නොවේ. ඔබ ගමන් කරන දිශාව මත ඔබේ ගමනාන්තය තීරණය කෙරේ. එය සුඛිත හෝ දුක්ඛිත වන්නේ ගමන තුළ ඔබට ඇති ශික්ෂණය මත පමණි.

බලයද කුලය මෙන් කාලයාගේ ඇවෑමෙන් ක්ෂය වන දෙයකි. කුලය ගැන නොතකා බලය ඇති තැනට මිනිසුන් රැස් වන්නේ එනිසාය. බලය රැකගැනීම වෙනුවෙන් විටෙක මිනිසුන් සිය තරාතිරම තත්ත්වය පමණක් නොව බුද්ධිය, ශික්ෂණය පවා අහිමි කර ගනිති. ධන බලය, නිල බලය, පිරිස් බලය මෙන්ම රාජ්‍ය බලයද එසේය. සියල්ලෝම එය අප වෙනුවෙන් බව පුන පුනා කීවද ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ තමන් බලවත් වී සිටීමටය. "බලය ඇති දා මොළය නැත. මොළය ඇතිදා බලය නැත" යන කියමන අදට කෙතරම් ගැළපේදැයි සිතෙන්නේ බලය උදෙසා නටන නරි නාටක දැකීමෙනි. ඔබේ අපේක්ෂාව සාර්ථක ගමනාන්තයක් නම් මේ "මාලිමාව" සහ එහි "කුලය" කියවාගන්න. එය ඔබ යා යුතු "දිශාව" තීරණය කරාවි.

මාතෘකා