මැනීම්

 ඡායාරූපය:

මැනීම්

"තවම හොඳ නෑ ඩොක්ටර්"

"ඇයි දන්නෙ නෑ උණ එන්නේ???"

ඩෙංගු උණ බහුල මේ වැහි කාලයේ අම්මලාගෙන් ඇසෙන්නේම එවැනි කතාය. කොයි තරම් පැහැදිලි කළද ඉතින් එකවරක් නොව සිය වරක් වුවත් එන එන දොස්තරගෙන් හෝ හෙදියගෙන් එකම දේ අහන්නේ හිත සැහැල්ලු කරගන්නට විය හැකිය. වාට්ටුව වටේ ඇඳෙන් ඇඳට යද්දී මගේ කරේ නළාවේ පැටලී එකතුවන දුක් කඳුළු, සෝ සුසුම් හිතට ගෙන එන්නේ බරකි. ඒ අතර මතක් වූයේ ඩෙංගු රක්තපාත උණ තත්ත්වයේ පසුවන දරුවන්ගේ මුත්‍රා මනින හැටි ගැන කතා ටිකක්ය.

"ඩොක්ටර් අන්න අර අහවල් ඇඳේ බබා පැය තුනකටම මූත්‍රා මිලිලීටර් 25යි දාලා තියෙන්නේ"එක් දිනක් හෙදිය දිගු කළ පසුගිය සටහන්වලින් තේරුණේ මේ දරුවා ඊට කලින් සෑම පැය තුනකටම වරක් මිලිලීටර් සීයකට වඩා මුත්‍රා දමා තිබෙන බවය. ඩෙංගු උණ අසාධ්‍ය අවධියේදී මේ දියර සහ මුත්‍රා මැනීම ඉතා වැදගත් වේ.

පසුගිය කාලයේදී අප අත්දුටු දෑ නිසා දැන් අපි ඔවුන් මනින කෝප්පය හෝ සිරින්ජරය පරීක්ෂා කර බලන්නෙමු.

මට දැන් පෙනෙන්නේ ඒ කෝප්පයේ අවසාන අගය ලෙස කෝප්ප අඩියට පොඩ්ඩක් උඩින් සටහන් වෙන්නේ මිලිලීටර් 100 බවය. ඉන් පසු මිලිලීටර් 150 , 200 ලෙස වැඩිවෙමින් සටහන් කර ඇත. දැන් මට ඇති පුදුමය මේ අම්මා මිලිලීටර් 25 ක් මනින ලද ක්‍රමය ගැනය.

"කෝ අම්මේ මිලිලීටර් 25 සලකුණ" මම ඇසීමි.

"අනේ මට රාත්‍රියට ඇස් පේන්නෙ නෑ පුතා තමයි කීවේ 25යි කියලා"

දරුවා නිදිය. ඔහු අවුරුදු 12ක් පමණ වන නිතර මුත්‍රා මනින්නට කියන අපව කරදරයක් ලෙස සලකන වයසේ පොඩ්ඩෙකි.

"පුතේ කොහොමද ඔයා විසිපහක් කීවේ..." මම ඔහුගෙන් ඇසීමි.

"අනේ මං දන්නෑ... මට හිතිච්ච ගාණක් කීවා"

ඔන්න දරුවාගේ උත්තරේ! එසේ කියා චක් චුක් ගෑ පොඩ්ඩා මෙන්න ආයෙමත් නිදි !

"අම්මේ මොකද කරන්නේ??? මේ දරුවට ඩෙංගු, එතකොට මේ දරුවාගේ මුත්‍රා මනින එකයි දියර හරියට දෙන එකයි ඔයා තමා කරන්න ඕනේ. "

"අම්මේ මේ කරන දේ හරියට කරන්න කියන්නේ අපි හොයන බලන නිසා නෙමේ. ඔයාගේ දරුවාට කරදරයක් නැතිව ලෙඩේ හොඳ වුණොත් ඒක ඔයාගේ සැනසීම නේද?.. මේ දේවල් කරන්නේ අපිව සනසන්න නෙමේ "

"කෝ බලමු මනින ඒවා ලියන කොළ "

එය බලද්දී මට වැටහුණේ ඒ අම්මාට තමන් කරන කටයුත්ත ගැන විශේෂ වැටහීමක් නැති බවයි.

"ඇයි මේ වැඩිපුර දීලා" මම ඇසුවෙමි.

"බොනකොට වමනෙ ගියා. ඒ නිසා මම ආයෙත් වැඩිපුර ප්‍රමාණයක් දුන්නා" මව කීවාය.

"වමනෙ ගියොත් අපිට කියන්න ඕනේ... හිතුමතේට පොවන්න බෑ" මම පැහැදිලි කළෙමි.

තව දරුවකුගේ ළඟ සිටියේ ආච්චීය.

"අනේ පුතේ මට මිලිලීටර් ගණන් තියෙන තැන පේන්නෙ නෑ " ඇය කීවාය. ඇයට සිරින්ජරයක් දී එහි සියල්ල සලකුණු කර දුන්නෙමි.

"අම්මේ පහුගිය පැයේ කීයක් දැම්මද ?"

"සිරින්ජරෙන් තුනක් "

"ආ ඒ කියන්නේ මිලිලීටර් 30යි" මම ගණන් හදා ගනිමි.

"ඊළඟ පැයේ ? "

"මැන්නෙ නෑ, කෝ මට කීවේ නෑනේ"

සමහර විට අප කරන කියන සියල්ල ගඟට ඉණි කැපීමක් වන්නේ මෙලෙසිනි.

“අම්මේ ඔයාට කරන්න තියෙන්නේ වැඩ දෙකයි. දැන් බබාට මුත්‍රා අඩු නිසා අපි සියලු දියර ජාති සේලයින් එකෙන් දෙනවා. ඒ නිසා බොන්න දෙන්න එපා ! මුත්‍රා හරියට පැයෙන් පැය මැනලා කියන්න"මම කීවෙමි.

දරුවන්ගේ මුත්‍රා මැනීම පිටස්තරයින්ට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ මව පියා හෝ කිට්ටුම කෙනෙක් ළඟ නවතා ගන්නේ ඒ නිසාය.

"කොච්චරක් තිබ්බද ?".

"සිරින්ජර 3යි පොඩ්ඩයි"

"ඉතින් ඔය පොඩ්ඩ මනින්නනේ සිරින්ජරේ දුන්නේ අම්මේ. කෝ ගේන්න සිරින්ජරේ"

අම්මා මට සිරින්ජරේ දික් කරමින් දෙකේ සලකුණ පෙන්වයි."

ඇයට ඉලක්කම් කියවා ගත නොහැකි බව දැන් මට වැටහේ. එම නිසා මුත්‍රා අගය අප වෙත ගෙන එන ලෙස කීවෙමි. නැවත මේසය වෙත පැමිණෙන මට හෙදියන්ගෙන්ද ලැබුණේ සිනා සාගරයකි.

මෙහි එන බොහෝ මවුවරු මෙවැනි අඩු ආදායම්ලාභී පවුල් පසුබිමක් ඇති හරිහමන් ඉගෙනුමක් ලැබූ අය නොවේ. දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ඔවුන් කියන දේවල් ඒ අයුරින්ම ගත්තා නම් මේ දරුවන්ට අපි වැඩිපුර දියර දී අමාරු කරගෙනය. නැත්නම් අඩුවෙන් දියර දී විජලනය කරගෙනය.

අපේ රටේ අහස යට රෝහලක වැඩකරනවා යනු විටෙක අප නඩුකාර උන්නාන්සෙලාය, විටෙක ගණිත ගුරුවරුන්ය, විටෙක පෝෂණවේදීන්ය. විටෙක පවුල් ආරවුල් විසඳන අයවලුන්ය. ඇඳුම් සපයන්නෝය, සෙල්ලම් බඩු සපයන්නෝය. මදුරු දැල් ගෙන එන්න ආධාර සොයන්නවුන්ය. මිතුරන් සමඟ එකතුවී වාට්ටු ඇඳන් පේන්ට් කරන පේන්ට් බාසුන්නැහැලාය.

කොටින්ම වාට්ටුවේ හෝ රෝහලේ කුදු මහත් අඩුපාඩුකම් පෙනෙද්දී දෑස් පියාගෙන අපේ වැඩේ විතරක් කරගෙන පාඩුවේ ඉන්නට බැරි බැරියාව ඇති අයය. එහෙම අයට මේවායේ කරන්නට වැඩ ඕනෑ තරම්ය.

මේ සියලු සංවේදනා විටෙක වෙහෙසකි. එහෙත් මතකයට නැඟෙද්දී සැනසෙන්නට කරුණු ඕනෑ තරම්ය!

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා