සත්‍ය කතාව

 ඡායාරූපය:

සත්‍ය කතාව

ලියද්දී කතාකරුවා අත්දැකීමෙන් ඉවත් විය යුතු යැයි කියන්නේ අත්දැකීම ලියවුණහොත් ඉන් ප්‍රබන්ධයේ කාර්යය ඉටු නොවන නිසාය. ප්‍රබන්ධයේදී සිදු වන්නේ ජීවිතාවලෝකනයකි. අත්දැකීම ලියවුණහොත් ජීවිතාවලෝකනය ලැබීමටත් පුළුවන. නොලැබීමටත් පුළුවන. එහෙත් වැඩි ඉඩ ඇත්තේ නොලැබීමටය. සරත් විජේසූරිය කතාකරුවා සමඟ වරක් මා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූ කරුණක් සඳහන් කළ යුතුය. ඔහු ‘මගේ නඩුව ඉවරයි’, ‘සුදම් සභාව’ ආදී වශයෙන් ලියූ නවකතා කිහිපය එකලාම සත්‍ය කතාය. ඔහුට ඒ කතා මගින් මුදුන්පමුණුවා ගැනීමට වුවමනා වූ අරමුණු තිබිණි. මා හා සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කිසියම් උභතෝකෝටික ගැටලුවකට මැදි විණි. එහිදී එක් පසෙකින් ඔහුට ඒ කතා ප්‍රබන්ධ කතා යැයි කීමට වුවමනා විය. අනෙක් පසින් ඒවා සත්‍ය කතා යැයි කීමට වුවමනා විය. ඒවා ප්‍රබන්ධ කතා නොවේ යැයි - සත්‍ය කතාම යැයි - කිවහොත් ඔහුට ප්‍රබන්ධයේ විෂය ක්ෂේත්‍රයට, ඉන් සිදු වන ජීවිතාවලෝකන කලාපයට අවතීර්ණ වීමට සිදු වන්නේ නැත. ඒවා ප්‍රබන්ධ කතා යැයි කිවහොත් ඔහුගේ අරමුණ - කිසිවකුට පහර දීමේ අරමුණ - ඔහුගෙන් ගිලිහීමට ඉඩ තිබිණ. මෙනිසා සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා සිටියේ මේ කතා රුසියාවේ පළ වුණා නම්, නැත්නම් වෙනත් රටක පළ වුණා නම් ඒවා කිසිවකු සත්‍ය කතා යැයි නොකියන බවය. එහෙත් මට ගැටලුව ‘මගේ නඩුව ඉවරයි’ හෝ ‘සුදම් සභාව’ විදේශයක පළ වී නම් ඒවා ප්‍රබන්ධ කතා ලෙස පිළිගනීද යන්නය. එම කතාවල අනුභූතීනට පාඨකයාට හදවතින් ප්‍රවේශ වීමට බැරි බැවිනි.

සැබැවින්ම ලියන කිසිවක් ප්‍රබන්ධයක් බවට පත් වන්නේ ඉන් කියන දේට පාඨකයාට හදවතින් ප්‍රවේශ වීමට හැකි වුවහොත්ය. ප්‍රබන්ධ බස වාර්තා බසින් බැහැර විය යුතු යැයි හා එය සත්‍ය කතාවෙන් ඉවත් විය යුතු යැයි කියන්නේද මේ සඳහාය. හදවත් සාධකය ප්‍රබන්ධයේ මුඛ්‍ය දේය. එහෙත් කතාවක් හෘදය සංවාද මාධ්‍යයේ යන්නේද, සත්‍ය කතා මාර්ගයේ යන්නේද යන්න තීරණය වන්නේ ආරම්භයේමය. එහිදී කතාකරුවාගේ වුවමනාව තමා මුහුණ දුන් සිද්ධිය විවරණය කිරීම නම් ඔහු කතාවෙන් කරන්නේ සිදුවීම හඹායෑමකි. එවිට ඔහුගෙන් ජීවිත සාධකය ස්පර්ෂ වන්නේ නැත. මේ තුළ ඔහු අතින් බරපතල සිද්ධියක් මිස ජීවිතාවලෝකනයක් වන කිසිවක් ඉදිරිපත් වන්නේ නැත. භාව කෙටිකතා අතිරේකයට ආ එක් කතාවක් ආරම්භ වන්නේ මෙලෙසිනි:

“මාල, වළලු, කරාබු හා නන් විධ අරුමෝසම් ආයිත්තමෙන් සැරසුණ යෞවනයා සහ බස්කොන්දොස්තරවරයා සෙමෙන් ධාවනය වෙමින් තිබූ බසයෙන් එළියට පෙරළී ගොස් සුළු වේලාවක් ගුටි බැට හුවමාරු කර ගත්හ. අනතුරුව මහ මඟ වැටී තිබූ ටිකට් පොත අහුලා ගත් කොන්දොස්තර තැන හති අරිමින් කෑ ගෑවේය.

“තුන්වෙනි වතාවටයි අද ටිකට් නැතුව බස් එක ඇතුළෙදි උඹව අල්ල ගත්තෙ. ආයෙ නම් බස් එක ඇතුළෙදි මට අහුවෙන්න එපා!”

බසයේ නළාව දිගින් දිගටම නොනැවතී නාද වූ අතර මගීන් බස් රියේ කවුළුවලින් හිස්, අත් එළියට දමා ගනිමින් හූ තබන්නට විය. යෞවනයා කුණුහරුප වැලක් විසුරුවමින් ඉවතට දිව යන අතර කොන්දොස්තරවරයා සෙමින් ධාවනය වෙමින් තිබූ බස් රථයට දිව ගොස් ඇතුළු වූවේය…..”

මෙම ආරම්භයේ හෘදයග්‍රාහී ස්වරයක් ඇත. ඒ තුළ පාඨකයාට පහසුවෙන් එම අනුභූතියට හදවතින් ඇතුල් විය හැකිය. එහෙත් අනතුරුව කතාවේ සිදු වන්නේ කුමක්ද? කතාන්දරය පමණක් ඉදිරිපත් වීමය:

“ඊළඟ බස් රියට නැගී කිලෝ මීටර් දෙකක් මඟ ගෙවා නගරයට පැමිණි යෞවනයා මුහුදු මාවත ඔස්සේ කඩිනමින් ගමන් කරන්නට විය….”

මෙහි කෙටිකතාකරුවා යන්නේ සිද්ධිය ඔස්සේ මිස ජීවිතය ඔස්සේ නොවේ. කතාන්දරය කියවා අවසන මට සිතුණේ ඔහු කෙටිකතාව යැයි වටහාගෙන තිබුණේ සිද්ධි ඉදිරිපත් කිරීම පමණක් බවය. ප්‍රබන්ධයත් කතාන්දරයත් අතර වෙනසක් නැතැයි කියන්නන් අවබෝධ කරගෙන නැත්තේ මෙම ජීවිතාවලෝකන සාධකය යැයි සිතේ. ප්‍රබන්ධය යනු ආදර්ශ දෙන දෙයක් යැයි - ධර්ම දේශනාවක් යැයි - ගතහොත් නම් ඊට මේ ආකාර කථන ක්‍රමයක් යෝග්‍යය. එහෙත් ප්‍රබන්ධය අවසානයක් වුවමනාම නැති, පාඨකයා හදවතින් ඇදබැඳ තබන, තවද ඒ ඇදබැඳ තබන කාලයේ ඔහු තුළ ජීවිතය පිළිබඳ ‘පුලිඟු දල්වන’ කිසිවක් යැයි අවබෝධ කරගතහොත් එයට මෙය වලංගු වන්නේ නැත.

එක් අතකට මෙහි ඇත්තේ ප්‍රබන්ධයේ ප්‍රශ්නයක් නොව ලියන අයගේ ප්‍රශ්නයක් යැයි කිව හැකිය. ලියන්නේ ප්‍රතිභා හීන කෙනෙකු නම් ඔහුගෙන් ලියවෙන්නේ සත්‍ය කතාව පමණි. ලියන්නේ ප්‍රතිභාන්විතයකු නම් ඔහු ලියන දේ සත්‍ය කතාවේ නතර වන්නේ නැත. ඔහුට සත්‍යය වැදගත් දෙයක් නොවේ. සත්‍යය ලිවීමට වුවමනා වන කෙනෙකුගේ අරමුණක් තිබේ. ඔහුට වුවමනා වන්නේ පාඨකයාට තමාගේ කතාව කීමටය. ඔහුට තමාගේ කතාව ගැන අනෙකා දැනුවත් කිරීමේ අධ්‍යාශයක් ඇත. එනිසා ඔහු හැකි තරම් ආරලුබූරලු යොදා කතාව - සිද්ධිය - විස්තර කරනවා පමණි. ප්‍රබන්ධකරුවාට මෙවැනි අරමුණක් නැත. ඔහුට ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි පාඨකයකු නැති අතර දැනුවත් කිරීමේ අධ්‍යාශයක්ද නැත. සරලවම ඔහු ලියන්නේ ඔහු සඳහාය. ඔහුගේ වන්නේ භාව විශෝධනයකි. සැබෑ කතාකරුවා දුකින් තැවෙන්නකි. එහෙත් දුකින් තැවෙන්නේ කුමක් නිසාදැයි කිසිවකු ඇසුවහොත් ඔහුට නිශ්චිත යමක් පෙන්වීමටද අපහසුය. මෙනිසා ඔහු සත්‍යය ලිවීමට ගතහොත් ලියන්නේ සත්‍යය ඇසුරින් ඔහු ගොඩනඟාගත් දේකි. ඔහු ලියන දේ වෙත පාඨකයාට හදවතින් මිස මනසින් (බුද්ධියෙන්) අවතීර්ණ විය නොහැකිය. එනයින්ම ඔහුගේ වියමන ‘පුලිඟු’ දල්වන ජීවිතාවලෝකන වියමනක් විනා අනෙකක් වන්නේ නැත.

ප්‍රබන්ධය බිහි වන්නේ රසිකයන් අතරිනි. ඔවුනතින් ඒ බිහි වන්නේ ප්‍රබන්ධය අන් කිසිවකු අතින් බිහි වීමේ ඉඩක් නැති බැවිනි. පුවත්පත රසිකයන් අතින් බිහි වීමේ ඉඩ අඩුය. පුවත්පතින් කෙරෙන්නේ සත්‍ය කතා ඉදිරිපත් කිරීමය. සත්‍ය කතා කියාපෑමට ප්‍රබන්ධකරුවාට වුවමනා නොවේ. ඔහුට පාඨකයකු නැති බැවිනි. චිලී ජාතික ඇමෙරිකානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ මුලින් පුවත්පත් කලාවේදිනියක ලෙස වෘත්තීය මඟ ඇරඹූවෙකි. එහෙත් කෙටි කලකින්ම ඈ පුවත්පතින් බැහැර විය. හේතුව ඈ සත්‍ය කතාවක් ලිවීමට ගත් විට ඇගෙන් සත්‍යය යටපත් වී බොරු කතාවක් (ප්‍රබන්ධමය දෙයක්) ඇගෙන් ලියවීමය. ප්‍රබන්ධකරුවකුගෙන්/ ප්‍රබන්ධකාරියකගෙන් මේ දේ සිදු වන්නේ ඔහුට හෝ ඇයට සත්‍යයේ කිසි වටිනාකමක් නැති නිසාය. හරුකි මුරකාමි සඳහන් කරන්නේ ඔහුගේ සම්පත පරිකල්පනය බවය. පරිකල්පනයෙන් වැඩක් නොගතහොත් ලියන දේ කතාවක් ලෙස ගොඩනොනැඟෙන බව ඔහු කියයි. එසේ බැලූ විට ප්‍රබන්ධ කියා සත්‍ය කතා එළවන්නේ පරිකල්පන ශක්‍යතාවක් නැති ව්‍යාජ කතාකරුවන් යැයි කිව හැකිය. මෙහි ඇත්තේ ප්‍රබන්ධයේ ප්‍රශ්නයක් නොව ලියන අයගේ ප්‍රශ්නයක් යැයි කීවේ මෙනිසාය.

මෙහි අරුම පුදුම දෙයක්ද තිබේ. සත්‍ය කතා ලියන්නන් එය කරන්නේ පොදු සමාජයට සැබෑව ඉදිරිපත් කිරීමට කියාය. එහෙත් සත්‍යය සැබෑවටම - කඩතුරාවට වැසුණු සත්‍යය - ඉදිරිපත් වන්නේ ප්‍රබන්ධකරුවන්ගෙන් වීමය. සත්‍ය්‍ය ලියන අය කරන්නේ තමාට පෙනෙන සත්‍යය ලිවීමය. ප්‍රබන්ධකරුවාට සත්‍යය ජිග්සෝප්‍රහේළිකාවකි. ඔහු පෙනෙන දේ ගැන ලියන්නේ නැත. ඔහු පෙනෙන දෙයින් තමා තුළ ඇති වූ විපර්යාසය - තමා පිස්සකු වූ සැටි - කියයි. මේ කියාපෑමේ ප්‍රතිඵලය ඔහුට සත්‍යය ලියන්නාට නොපෙනෙන සත්‍යය හෙළිදරව් කිරීමට හැකි වීමය. මේ දිනවල මරණ දඬුවම පිළිබඳ හාහෝවක් නැඟේ. ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිය අත්සන යොදා අවසන්ය. එහෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවත් අපරාදයක් බව හෙළිදරව් කරන්නේ ඇල්බෙයා කැමූය. ඔහු එය කරන්නේ ‘පිටස්තරයා’ නවකතාව ඔස්සේ මර්සෝ නම් කතානායකයා පත් වන තත්ත්වය විවරණය කිරීමෙනි. සත්‍යය ලියන්නාට මෙය කළ නොහැකි තරම්ය.

කෙසේ වුව සත්‍ය කතා කියාපෑමට මෙරට ප්‍රබන්ධ ක්ෂේත්‍රයේ ඇත්තේ විශාල ඉල්ලුමකි. ඒ කෙතරම්ද යත් සත්‍ය කතා, චරිත කතා පාදක වූ ප්‍රබන්ධ නිරතුරු සාහිත්‍ය කෘති සමීක්ෂණ මණ්ඩල මගින් ඇගයීමට ලක් වේ. මට හැඟෙන ලෙස ප්‍රබන්ධය මායාවක් නම් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇත්තේද මායාවක් බවය. බොරුවක් බවය. ඒ බොරුව විවෘතව කීමෙන් ඵලක් නැත්තේ එහි හාහෝ නඟන්නේ සැබෑ ප්‍රබන්ධකරුවන් නොවන නිසාය. මේ තුළ ප්‍රබන්ධ නමින් සත්‍ය කතාම මිස ප්‍රබන්ධ නම් බිහි වන්නේ නැත.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා