"එයානම් නියම බොස් කෙනෙක්"

 ඡායාරූපය:

"එයානම් නියම බොස් කෙනෙක්"

"මේ යෙදෙන වැඩ අස්සේනම් කොහොමටවත් වේලාවක් ඉල්ලනව කියන්නේ නිකම් බොරු වැඩක්" ඔහු කල්පනා කරන්නට පටන්ගත්තා. ඔහු සේවය කරමින් හිටියේ විශේෂ ව්‍යාපෘතියක. කාර්යයන් එක දිගට කරගෙන යන්න නම් එක මොහොතක් හෝ ප්‍රමාදයක් නොමැතිවෙන්න අවශ්‍යයි. සියල්ල හරිම කාර්යබහුල තත්ත්වෙක. කොයිතරම් අත්‍යවශ්‍ය කටයුත්තකටවත් කලින් යනවා කියන්නේ ඉටු නොවන ඉල්ලීමක් නිසා කිසිවෙක් හෝ එයට උත්සාහ නොදරන එක සාමාන්‍ය දෙයක්.

මේ විශේෂ ව්‍යාපෘතියේ ප්‍රධානියා ගැන හිතුවම නම් ඔහුත් එක්ක වැඩ කරන්න පහසු නැහැ. වැඩක් නිවැරදිව විය යුතු විධියත් ඊට ගත වන කාලයත් ගැන හරිම පුළුල් අවබෝධයකින් යුතු නිසා බොරුකාරයන්ට පැවැත්මක් තිබුණේ නැහැ. ගෙවන වැටුප වගේම එකතු වන දැනුම පිළිබඳව සලකලා දක්ෂයන් විතරයි රැඳිලා හිටියේ.

හෙමිහිට ප්‍රධානියාගේ කාමරයට එබෙමින් අවසරයක් ගත්තු ඔහු මෙහෙම කිව්වා.

"බොස් මම දන්නවා මෙහෙම ඉල්ලන එක ඔබව අපහසුතාවට ලක්කරන්නක් කියලා"කාරණය විමසන්න ප්‍රවේශයක් අවශ්‍යයි.

"අද හවසට නගරයේ තියෙන ප්‍රදර්ශනය නරඹන්න මගේ දරුවන් දෙන්නව එක්කන් යන්න මට පොරොන්දුවක් දෙන්න වුණා"කාරණාව කියා අවසානයි. ප්‍රතිචාරය කොයි ආකාර වෙයිද?

ප්‍රධානියා මඳ කල්පනාවකට වැටුණා. ඔහු දන්නවා කොයිතරම් කාලය ගෙවුණත් වැඩක් අතරමඟ දාලා යන්නේ නැති මේ සේවකයා තමන්ට ඉතාම වටින බව.

"හොඳයි. ඔබට අදට විතරක් යන්න අවසර තියෙනවා" සිය උපැස් යුගල බැරෑරුම් අයුරින් ඔසවා එහි යටින් බැල්මක් හෙළමින් ඔහු කියා සිටියා.

"ඔයා නොහිටියා කියලා අඩුව නොදැනෙන්න සලස්වලා යන්න"

එහෙම කියන්නේ ඇයි කියලා ඔහු දන්නවා. හවස 3.30ට පිටවෙලා යන්න නම් තමන්ගේ වැඩ උපරිමයෙන් කරලා අනෙත් පිරිසට දවසේ වැඩ කරගෙන යන්න ඉඩ සලස්වන එක අනිවාර්ය කාර්යයක්. ප්‍රධානියාට ස්තුති කරපු ඔහු කාමරයෙන් පිටවගොස් ඉක්මනින් වැඩ ආරම්භ කළා.

කෑමට පවා ලොකු අවධානයක් නොදුන්න මේ සේවකයා බොහොම උනන්දුවෙන් වැඩෙහි යෙදී හිටියා. කාලය ගෙවෙනවා දැනුණේ නැහැ. අනෙක ඔහු වැඩ කරන්නේ බාහිර ලෝකයෙන් අත්මිදුණු, එහි ස්වාභාවික වෙනස්වීම් හඳුනාගත නොහැකි කෘත්‍රිම ආලෝකයෙන් පිරි පරිසරයක. එක දිගට වැඩට ලොකු අවධානයකින් යෙදුණු සේවකයා අන්තිමේදී තමන්ගේ කාර්ය අවසන් කළා. ලොකු සුසුමක් හෙළූ ඔහු තමන්ගේ ඔරලෝසුව දෙස බැලුවා.

කලබලයට පත්වුණු ඔහු ඉක්මනින්ම සිය පැමිණීම සටහන් කරන ස්ථානයට දිවගියා. වැරැද්දක් නැහැ. එහි වේලාවත් එයමයි. ඔහුට දෙලොව රත්වුණා. වේලාව රාත්‍රී 7.30යි. දරුවන් දෙන්නාගේ බලාපොරොත්තු කඩ වූ මුහුණු ඔහුට මැවී පෙනුණා. බිරිඳගේ කේන්තියෙන් පුපුරන මුහුණ...! පසුතැවීමෙන් ඔහු ප්‍රධානියා සොයා ගියත් ඔහුත් පිටව ගොසින්!

ඔහු ගෙදරට ළඟා වෙද්දී වේලාව රාත්‍රී 8යි. බිරිඳ පුටුවක වාඩි වී පත්තරයක් බලමින් සිටියා. කොයි මොහොතේ තමා කරා කඩා පනීදැයි සැකයෙන් ඔහු තමන් පැමිණි බවට උගුර පාදමින් අඟවා සිටියා.

"ආ ඔයා ආවද? තේ එකක් බොනවද? නැත්නම් කෑම ලෑස්තියි කන්නත් පුළුවන්" පුවත්පත පසෙකට කරමින් බිරිඳ ඔහුව පිළිගත්තා. පුදුමයට පත් ඔහු සිය විමතිය සඟවාගනිමින් ඇය දෙස වඩාත් උවමනාවෙන් බැලුවා.කේන්තියක් පෙනෙන්නත් නැහැ. සියල්ල සාමාන්‍ය වගෙයි.

"බඩගින්නක් නම් තියෙනවා. ඒත් කෝ මේ අපේ දරුවෝ" ඔහුට දරුවන්ගේ මූණ බලන්නත් දුකයි.

"තාම එයාලා ආවේ නෑනේ. එයාලා ගියේ 5.30ට වගේ" බිරිඳ පිළිවදන් දුන්නා.

"ඔයාට ඉන්නේ හරි පුදුම බොස් කෙනෙක්. එයා ඔයා වෙනුවෙන් ඔහොම කරනවනම් ඔයාව එයාට කොයිතරම් වටිනව ඇද්ද?"

කතාවේ අගමුල ගැටගහගන්න තව කරුණු අවශ්‍යයි.

"බොස්?..ආ ..ඔව් එයා එහෙම තමයි. මොනවද එයා කිව්වේ?" ඔහු විමසුවා.

"ඔයාට කරල ඉවරකරන්න ලොකු වැඩක් තියෙන නිසා එයා ඔයා වෙනුවෙන් දරුවන්ව ප්‍රදර්ශනයට එක්කන් යන්න ආවා කිව්වා. අනික එයා සමාවත් ඉල්ලුවා එන්න පමා වුණා කියලා." බිරිඳ සිය දෙනෙත් ප්‍රීතියෙන් පුරවාගෙන.

"එයානම් නියම බොස් කෙනෙක්"

හවස් වරුවේ වැඩ අධීක්ෂණය කරගෙන යන අතරතුර බොස් දකිනවා තමන්ගෙන් වේලාසන පිටව යන්න අවසර ගත් සේවකයා තාමත් වැඩ. වේලාව 5යි. ඔහුගේ වැඩේ දැන්ම ඉවරවෙන පාටක් නැහැ. ඉතින් ඔහු වෙනුවෙන් දරුවන්ව සතුටු කරන්න නික්මෙන්න ප්‍රධානියා තීරණය කරනවා.

මේ නිකන්ම නිකන් කතාන්දරයක් නෙවෙයි. මේ මහපොළොව මත සැබැවින්ම වූ සිදුවීමක්. එහෙම බොස් කෙනෙක් ඇත්තටම හිටියා. ඉතින් ඔබට හිතෙනවද මේවගේ මිනිසුන්ට රටක් බාර දුන්නොත් කොහොම තියේවිද කියලා?

ඔව්. ඔහුට රටක ජනපති පදවිය ලැබුණා. ඔහුව අදටත් සලකන්නේ "ජනතාවගේ ජනපති" (People's President) නමින්. එයට අමතරම ඔහු වඩා ප්‍රසිද්ධවූයේ "මිසයිල මිනිසා (Missile Man) නමින්. වෙන කවුරුත් නෙවෙයි, ඔහු ආචාර්ය අබ්දුල් කලාම්. අසල්වැසි ඉන්දියාව ලෝකය තුළ ප්‍රබලයෙක් කරනු වස් කැපවුණ ඉන්දීය න්‍යෂ්ටික වැඩසටහනේ නියමුවා. ලෝකයේ බල පුළුවන්කාර රටවල් හා එකට සිටගන්න හැකි ඉන්දියාවක් බිහිවුණේ ඔහුගේ දැනුමෙන්. අති භයංකර න්‍යෂ්ටික බලයේ නිමැවුම්කරුවෙක් වුවත් ඔහු අසීමිත මානව දයවෙන් යුත් පුද්ගලයෙක්.

ඔහු වරක් මෙලෙස පැවසුවා.

"සිහින කියන්නේ ඔබ නින්දෙන් දකින්නක් නොවේ. සිහින කියන්නේ ඔබට සුවසේ නිදන්නට ඉඩ නොදෙන්නක්"-

[මේනක මදුජිත්]

මාතෘකා