පාස්කු ප්‍රහාරය එක්ක පත්තර ගන්න ප්‍රමාණය අඩු වුණා

 ඡායාරූපය:

පාස්කු ප්‍රහාරය එක්ක පත්තර ගන්න ප්‍රමාණය අඩු වුණා

පුවත්පත් විත්තීන් සොයා යන ගමනේ අද දින අප නවතින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේයි. අද දින පත්තර ලෑල්ලෙන් ඔබ වෙත ගෙන එන්නේ බුත්තල අරුණ ස්ටෝර්ස් ආයතනයයි. එහි වත්මන් හිමිකරු වන්නේ ඩී.එම්.එස්.එම්. දිසානායක මහතායි.

ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳ කතා කළොත්?

1974දී තමයි මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. මගේ වැඩිමහල් සහෝදරයා තමයි මේක මුලින්ම පටන් ගන්නේ පස්සේ මට මේ ව්‍යාපාරය බාර දුන්නා. හැබැයි කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ සිල්ලර කඩයක් හැටියටයි පස්සේ තමයි අපි ඒජන්සිය පටන් ගත්තේ. ඒ එක්දහස් නවසිය අසූ ගණන්වල.

ඔබ ආයතනයේ අලෙවි කරන පුවත්පත් මොනවාද?

දැනට ඔක්කොම වගේ පුවත්පත් අලෙවි කරනවා. දැන්වීම් පවා අපි කරනවා ඒ වගේම ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර සියල්ලම වගේ ඒජන්සිය හරහා අලෙවි වෙනවා. මගේ ලොකු පුතාවත් මම මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන තියෙන්නේ මේ වෙනකොට. ව්‍යාපාරය ඉතින් හොඳින් පවත්වාගෙන යනවා.

මේ ව්‍යාපාරයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම මේ ව්‍යාපාරයට එන්නේ 1980 ගණන්වල වගේ. මට හරියටම කාලවකවානු මතක නෑ. මම පාසල් අධ්‍යාපනය අවසන් වෙච්ච ගමන් තමයි සම්බන්ධ වෙන්නේ. දැන් මට අවුරුදු 79ක් මේ ඒජන්සිය කරන්න අරන් අවුරුදු 39ක් විතර වෙනවා.

ඔබ ඒජන්සිය හරහා මොන ප්‍රදේශවලටද පත්තර යන්නේ?

මුළු බුත්තල නගරයම ආවරණය වෙනවා. දිශාවන් පිළිබඳ කියද්දි බුත්තල සිට පැල්වත්ත දක්වාත් බුත්තල සිට කුඹුක්කන දක්වාත් බුත්තල සිට ඔක්කම්පිටිය දක්වාත් බුත්තල සිට බඩල්කුඹුර දක්වාත් අපේ ඒජන්සිය හරහා ආවරණය වෙනවා.

උප අලෙවි නියෝජිතයන් කී දෙනෙක් විතර සිටිනවාද? බයිසිකල්වලිනුත් පත්තර බෙදාහැරීම් කරනවාද?

පිටස්තර කට්ටිය නම් නෑ දැන්. ඉස්සර නම් හිටියා. බයිසිකල්වලින් දැන් බෙදාහැරීම් කරන්නේ නෑ. ඒ අයට ලැබෙන කොමිස් මුදල ගොඩක් අඩුයි. ඉතින් මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්නනේ මිනිස්සුන්ට ලැබෙන මුදල නිසා තමයි එන්න එන්නම බයිසිකල්වලින් බෙදාහරින එක අඩුවෙලා තියෙන්නේ.

මේ ආපු ගමන්මඟේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

එහෙම විශේෂ සිදුවීම් නම් මතකයක් නෑ. රටේ ඒ කාලේ වුණු කලකෝලාහල එක්ක මට කඩය ටික දවසක් නම් වහන්න වුණා මතකයි. තව ගිය දවස්වල වුණු පාස්කු ප්‍රහාරය සමඟ මිනිස්සු පත්තර ටික ගන්න ප්‍රමාණය අඩු වුණා.

වැඩිපුර අලෙවි වෙන පත්තර මොනවාද?

වැඩිපුර අලෙවි වෙන පත්තර අතර දිනමිණ, තරුණි තියෙනවා. ලේක්හවුස් එකේ අලුතින් පටන් ගත්ත "රැස" පුවත්පතටත් මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එන පත්තර ඔක්කොම වගේ අලෙවි වෙනවා.

පැරණිම පුවත්පත් ඒජන්සියකට හිමිකම් කියන ඔබගේ අදහස කොහොමද ලේක්හවුස් ආයතනය පිළිබඳව?

ලේක්හවුස් එක කියන්නේ ඉතින් පැරණිම ආයතනයක්. අපේ පඩිනඩි පවා වෙලාවට ගෙවනවා. කියන්න තරම් අඩුපාඩුවක් නෑ. දැන්වීම් එහෙමත් ගොඩක් එනවා. මොකුත් කියන්න ප්‍රශ්නයක් නෑ.

අනාගත බලාපොරොත්තු එහෙම ඇතිනේද?

ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ. මගේ පුතාව දැන් මේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන තියෙනවා. එයා කරගෙන යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

බුත්තල සුදුබණ්ඩා දිසානායක එයාගේ අවුරුදු 39ක පත්තර ජීවිතය ගැන අන්න එහෙමයි අපිත් එක්ක තොරතුරු බෙදාගත්තේ. ඉතින් ලබන සතියෙත් තවත් පළාතකට ගිහිල්ලා පත්තර ලෑල්ලක නියෝජිතයකු එක්ක මේ වගේම විස්තර බෙදා ගන්න "රැස"ත් එක්ක ඉන්න.

මාතෘකා