ඇගේ කතාව!

 ඡායාරූපය:

ඇගේ කතාව!

වයසක අම්මා කෙනෙක් දොරකඩ බිම ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. රැලි ගැසුණු ඇගේ මුහුණ ශෝකයෙන් බර වෙලා. ඈ සිටියේ මා වසම් කාර්යාලයට යන අතර මුණගැසෙන පොඩි ගේ කෑල්ලේ. කාර්යාල ගමන මොහොතකට නතර කළ මම ඒ අම්මාට කථා කළා.

“මොකද අම්මේ බර කල්පනාවක?”

මගේ හඬින් ඇගේ කල්පනා ලෝකය බිඳ වැටුණු බවක් පෙනුණේ. අනතුරුව ඈ දෑතේ වාරු ගෙන සෙමෙන් ඇඟ කෙළින් කළා.

“.... ඔය දරුවා කවුද? මට නම් මතකයක් නැති ගානයි?”

ඈ ගැන විස්තර කියනවාට වඩා ඇය මා ගැන විස්තර විමසුවා. ඇගේ හඬ තුළ තිබුණේ විරසකයක් නෙවෙයි, සෙනෙහසක්. සැබැවින්ම ඈ මා දිහා බැලුවේ කාලෙකින් නොදුටු දරුවා දෙස බලන මවක මෙන්. ඈ එසේ බැලුවේ ඇයි? එය මට පැහැදිලි වුණේ ඈ පසුව පැවසූ දෙයින්.

“පුතේ, මට මතක ඇති දවසකින් අම්මා කියන වචනේ ඇහුණේ ඔය දරුවගෙන් තමයි.”

“ඇයි අම්මේ, එහෙම කියන්නේ? කෝ ගෙදර වෙන කවුරුත් නැද්ද?”

“මගේ මුණුබුරා ඉන්නවා. ඒ ළමයාත් දැන් වැඩක් හොයාගෙන ගිහින්. දැන් නම් මම විතරයි ඉන්නේ.”

“ඇයි මුණුබුරා විතරක්? මුණුබුරාගේ අම්මා තාත්තා නැද්ද?”

ඈ මොහොතක් නිහඬ වුණා. පසුව කථා කළා.

“ඒක දිග කතාවක් පුතේ.”

මට කාර්යාලයට තවත් වෙලාව තිබුණා. ඒ නැතත් මේ වයස්ගත මව වෙනුවෙන් මට කාලය සොයාගන්න බැරිද?

“මං කැමතියි අම්මගේ කතාව අහන්න.”

මා එසේ කීවේ ගෙපිලට ගොඩ වී අසල බංකුවක් මත වාඩි වෙමින්.

“අනේ පුතේ, ඉන්න මං පුටුවක් ඇතුළෙන් අරන් එන්නම්.”

මා බංකුවට ප්‍රිය කළත් ඈ සිත පැහැදෙනු පිණිස ගෙතුළින් ගෙනා වැල් කැඩුණු පුටුවේ වාඩි වුණා. අනතුරුව ඈ හඬ අවදි කළා.

“මගේ කතාව අහන්න කවුරුත් ආස වෙන එකක් නෑ පුතේ....”

ඇය විස්සෝපය වෙනුවට උපහාසාත්මක සිනාවක් මුවට ආරෝපණය කරගෙන. පසුව අසල ඉලත්තට්ටුවෙන් බුලත් විටක් කටට රුවාගෙන කතාව දිගහරින්නට වුණා.

“..... පුතේ මම මෙහෙ කෙනෙක් නෙවේ, උඩ පළාතේ. ඒ කිව්වේ හේවාහැට.... ඒ කාලේ හැටියට අපේ අප්පච්චිට යමක් කමක් තිබුණා. මං විතරයි දරුවෙකුට හිටියේ. ඒත් මට බාල මල්ලි කෙනෙක් ඉපදිලා තියෙනවා. එයා උපන්ගෙයිම මැරිලා. ඒක නිසා මං විතරයි පවුලේ හිටියේ.”

ඇය කථා කරගෙන ගියා.

“අපේ අප්පච්චි හරි සූරයා පුතේ. අපි පුංචි දවස්වල ගමේ උසම පොල්ගස්, කොස්ගස් නඟිනවා....”

ඇගේ කතාව වර්තමාන කතාවට වඩා නිධාන කතාව තුළ ගොනු වුණා. නිධාන කතාව වැදගත් විය හැකියි. ඒත් ඊට මේ වේලාව නොවන බව මට දැනුණා.

“හොඳයි, අම්මා එහේ ඉඳලා මෙහේ ආවේ කොහොමද?”

“මගේ හිතුවක්කාරකම තමයි දුවේ.... මං හිතුවක්කාර කසාදයක් කර ගත්තා. ඒ සිද්ධියෙන් පස්සේ අම්මයි අප්පච්චියි මං එයාලගෙ මූණේ දැලි ගෑවා කියලා මාව දරුකමෙන් ඈත් කළා.”

“අම්මා කසාද බැඳපු කෙනාගේ අඩුව මොකක්ද?”

“එයා අපේ අප්පච්චිගේ වත්තක් බලාගත්ත එක තමයි අඩුව. ඒත් මං නැති අඩුව අප්පච්චිට දරාගන්න බැරි වුණා. ඉතින් ඒ දුකෙන්ම අප්පච්චි මැරිලා ගියා.”

ඇය මා දෙස බලා සුසුමක් හෙළුවා. එකෙණෙහි කිසිවක් සොයමින් මෙන් හදිසියේ පිලට ගොඩවැදුණු බලු නඟුටෙක් මා සමීපයට පැමිණ ඉව කර පසුව මව අසලට ගොස් දරණ ගසාගත්තා.

“ඊට පස්සෙ මොකද වුණේ අම්මෙ?”

“ඊට පස්සෙ කතාව ඊට වඩා දුකයි පුතේ....”

“ඒ කිව්වේ?”

“මගේ හිතුවක්කාරකම නිසා අප්පච්චි මැරුණා කියලා අම්මා අපේ දේපළ ටික අනාථ නිවාසෙකට දුන්නා. දැන් මගේ ගෙදර අනාථ නිවාසයක්. අනික පුතේ, මං කසාදෙ කරගත් මිනිහාත් හිතපු තරම් හොඳ කෙනෙක් වුණේ නෑ. ඒ මිනිහා මාව බැඳලා තියෙන්නෙම මගේ දේපළ උදුරාගන්න බලාගෙන. ඒක හරි නොගිය නිසා එයා මට හුඟක් කරදර කළා. නිතර ගුටිබැට දුන්නා..... ඔය අතරේ මට පුතෙක් ඉපදුණා. ඒ පුතාගේ පුතා එක්ක තමයි මම දැන් ඉන්නේ.... මගේ පුතා අමාරුකම් තිබ්බත් කොහොම හරි ඉගෙනගත්තා පුතේ. ඒත් මුණුබුරා ඉපදිලා අවුරුදු දෙකකින් පුතයි ලේලියි දෙන්නාම බයිසිකලේ යද්දි ලොරියක හැපිලා එතනම මළා.”

ඇගේ කතාව එතෙකින් අවසාන වී යැයි මට සිතුණා. ඒ ඉන් පසු ඈ කී දේවල්වලට මගේ සවන් විවෘත නොවූ නිසා. සැබැවින්ම පටාචාරාගේ කතා වස්තුවට මෙහි දුරක් තිබේද? ඒත් ඇගෙන් සමු ගැනීමට පෙර මා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබුණා.

“ඉතින් කෝ අම්මා බැඳපු කෙනා”

යළි නිහඬතාව පැතිරුණා. වැඩි වේලාවක් නොගොස් යළි ඈ කථා කළා.

“දරුවා නැති වුණාට පස්සේ එයාගේ සිහිය නරක් වුණා. පස්සේ නිකම්ම නැති වුණා.”

ඊට පිළිතුරු ලැබුණු පසු තවත් ප්‍රශ්නයක්. ඇගේ මුණුපුරා පාසල් යන වයසේද?

“කොල්ලා දහයේ පන්තියෙන් පස්සෙ ඉස්කෝලෙ ගියේ නෑ පුතේ. ඒත් මං හිතේ හයියෙන් මුණුපුරා හැදුවා. එකම දේ තවම කොල්ලාට හරිහමන් රස්සාවක් නැති එක. අදත් ගියේ රස්සාවක් බලන්න....”

මා වයස්ගත මවගෙන් සමුගෙන නැවත පාරට පිළිපන් වේලේ ඈ අන්තිම වරට දෙඩූ බස මා සවනත රැව් දෙන්නට වුණා.

“අම්මා අප්පච්චීට දීපු දුක තමයි පුතේ මගේ පස්සෙන් පන්නන්නෙ!”

මාතෘකා