කලල ගිලුණු මත වරණිදු ගොඩ ගනුත තුමුල බලැති ගිජිදකු මිස අන් කෙවත

 ඡායාරූපය:

කලල ගිලුණු මත වරණිදු ගොඩ ගනුත තුමුල බලැති ගිජිදකු මිස අන් කෙවත

මෙම වසරේ ජුලි මස 7වන දිනට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 129කි. මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයින් විසින් තම යටත් විජිත පාලනය යටතේ මුල් කාලීනව ආර්ම්භ කළ දෙපාර්තමේන්තුවලින් එකක් වන එය මෙරට ඇති පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය සඳහා පිහිටවූ එකම අධිකාරී ආයතනයද වන්නේය. එහෙයින් මේ දක්වා එය පසුකර පැමිණි සියවසකුත් දශක තුනක කාලය තුළ එහි කාර්යභාරය අවබෝධ කර ගැනීම මෙරට ස්පෘෂ්‍ය මෙන්ම අස්පෘෂ්‍ය සංස්කෘතික දේපළ කළමනාකරණය සම්බන්ධයෙන් රටක් වශයෙන් අප කෙබඳු ආකාරයෙන් කටයුතු කළේද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමටද උපකාරී වෙයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සේම උත්තුංග ආයතනයක් ලෙස වැඩුණු සහ බැබලුණු එය මේ වන විට කුප්‍රකට වී ඇත්තේ වඩාත් ආකාර්යක්ෂම සහ වගකීම් විරහිතව කටයුතු කරන ආයතනයක් ලෙසටය. එයට ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුනාගත හැක්කේ මෙරට සංස්කෘතික අමාත්‍ය ධුරය ඉතා ප්‍රබුද්ධ පුද්ගලයන්ගේ සිට අප්‍රබුද්ධ අමාත්‍යවරුන් විසින් දැරීම දක්වා උණනය වූවා සේම පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ වගකීම් දරන්නන් වඩා ශ්‍රාස්ත්‍රවන්තයන් සහ විෂය ප්‍රමාණිකයන්ගේ සිට අදක්ෂ සහ හුදු දේශපාලන මගඩි මඟින් තනතුරු ලද්දන් දක්වා උණනය වීමේ දෝෂයමය. මෑතකාලීන ඉතිහාසය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විටක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේද, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පසුව සංස්කෘතික යන අමාත්‍යාංශවල කුණු මුලුවලට විසි විය.

එපමණක් නොව මෑත කාලය තුළ මෙරට රාජ්‍ය ආයතන මැදිහත්වීම හරහාද පුරාවිද්‍යා ක්ෂේත්‍ර විනාශ වීම් පිළිබඳ ඇතැම් සිදුවීම් වාර්තා වුණු අතර එහි වඩාත් හාස්‍යජනක කරුණ වුයේ සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධ නිවාස සහ ඉදිකිරිම් අමාත්‍යාංශය යටත් සිදු වූ ව්‍යාපෘතිවලට සම්බන්ධ නිලධාරීන් මඟින්ද මෙම පුරාවස්තු විනාශය සිදු වීමයි. එනම් 2018 වර්ෂය මැදභාගයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ බැලුම්ගල පුරාවිද්‍යා පරිශ්‍රය සහ පසුගිය ජුනි මාසයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තුවේ කුච්චවේලී තදාශ්‍රිතයේ ඇති මූල ඓතිහාසික යුගයට අයත් පුරාණ සුසාන පරිශ්‍රයක් බුල්ඩෝසර් යොදා විනාශ කරන ලදි.

මෙම මස 15වන දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් “අතීත අභිමන හෙටටත්“ යන තේමාව යටතේ ජාතික පුරාවිද්‍යා සමුළුව පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සඳහා අනාගතයක් සකස් කළේ එම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් ධුර මෙහෙය වූ විෂය ප්‍රාමාණිකයන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම මඟිනි. එහෙත් මේ වන විට පුරාවිද්‍යාවේ අනාගතය කුමක් වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාගතය පිළිබඳ යම් සංශයක් ඇතිව තිබේ. එයට හේතු වී ඇත්තේ පුරාවස්තු හානිය පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයින් ගණනාවක් එම දෙපාර්තමේන්තුවේ මෙන්ම එම ආයතනයෙහි මූල ආයතනවල ඉහළ තනතුරුවලට පත්ව ඇති නිසාය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය අනාගතයට පැවරිය හැක්කේ පීත්තපටි කපා ගනිමින් හෝ පහන් දැල්වීමෙන් නොව එකී පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රෙය වඩා ගුණාත්මක සහ ප්‍රාමාණිකව දියුණු කිරීම හරහාය. එවැනි වැඩ පිළිවෙළක් සැකසීම සඳහා මෙරට පුරාවිද්‍යා ක්ෂේතුයේ වර්ධනයේ ඉතිහාසය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍යය. එහෙත් අවාසනාවකට මෙන් අප කටයුතු කරමින් තිබෙන්නේ අපගේ ඉතිහාසය සම්බන්ධයෙන් වුවත් අප කෙදිනකවත් ඉතිහාසයෙන් උගන්වන පාඩම් ගැන සැලකිලිමත් නොවේ. සැබවින්ම 1876දී සර් ජේම්ස් ෆර්ගියුසන් විසින් “ඉන්දීය හා පෙරදිග වාස්තු විද්‍යාවේ ඉතිහාසය“ නැමැති සිය ග්‍රන්ථයෙහි ලියා තැබූ “ග්‍රහයන්ද සිය පිහිටීම මඟින් ලංකාවේ පුරාවිද්‍යාවට අපල සිදු කොට ඇති සේය“ යන සටහන මෙවන් පසුබිමකට මනාව ගැළපෙයි.

සැබවින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිනා පැවති ජනතා විශ්වාසය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොඩනඟා ගත්තේ මහත් පරිශ්‍රමයකින් සහ කැපවීමකිනි. පෙරදී මෙරට බෞද්ධ ප්‍රජාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ආගමික ස්ථානවල අයිතිය සහ නඩත්තුව පිළිබඳ පැවති අරගලය විසඳුණේ ජනතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරිය විශ්වාස කිරීමට පටන් ගැනීමත් සමඟය. ඉතිහාසයත් එහි අන්තර්ගතයත් එමඟින් නිෂ්පාදනය කළ දේත් අවසානයේ අයිති ජනයාටය. එම ඓතිහාසික සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීමට වගකියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි කැපකාර ආයතනය පමණි. එහෙත් පසුගිය දශක දෙක අතරතුර කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සියක් වසක් තුළ ගොඩනඟාගෙන පැවති කීර්තිය සහ අභිමානය වියැකී ගිය බව කවුරුත් දන්නා කරුණකි.

සැබවින්ම ඉතිහාසය යළි යළිත් සිදුවේයැයි සාමාන්‍ය ව්‍යාවහාරය වුවද පෙර පැවති අභිමානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා ගැනීම සඳහා එය වෙසෙස් ව්‍යුහාත්මක වෙනසකට බඳුන් විය යුතුය. දැන් පවතින තත්ත්වය තවත් වර්ධනය වුවහොත් අනාගතයේදී යමෙකු එහි ඉතිහාස කතාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අසාදු ලේඛනයට ඇතුළත් ආයතනවල ඉතිහාස කතාව තුළ කියවනු ඇත.

[දිනේෂ් දේවගේ]

 

මාතෘකා