ඒ සෙනෙහෙ ගඟුල!

 ඡායාරූපය:

ඒ සෙනෙහෙ ගඟුල!

ජීවිතය රිදුම් දෙන බොහෝ තැන්වලදී මට සිහි වෙන්නේ මගේ මිත්තණියගේ උණුසුමයි. බොහෝ දෙනකු සමග කතා කළ නොහැකි සමහර දේ, මට ඇය සමග කතා කළ හැකිව තිබිණි.

තමන් බෞද්ධ උපාසිකාවක ලෙස හඳුන්වනවාට කැමති වුවද ඇය කිසි දිනෙක පුද පූජා පවත්වනු පිණිස පන්සල් ගානේ ගිය බවක් මට මතකයේ නැත. පෝ දාට සිල්සමාදන් වීම හැරුණු කොට ඇය බොහෝ විට කළේ පන්සලේ කුලඟන සමිතියට බැඳී ඒ හා ආශ්‍රිත සමාජ වැඩය.

සිංහල බෞද්ධකම යනු සටන් කොට රැක ගත යුත්තක් වන බව ඇය ඇදහූ බව නොපෙනිණි. කවර තත්ත්වයක් යටතේවත් ඇගේ වාග් මාලාවේ අනෙකුත් ජාතීන්ට පරිභව කරන වදන් තිබුණේ නැත.

ඇගේ බෞද්ධකම, කිසිවකු පෙළන ආගමක් වූයේ නැත. අවිහිංසාව මුල් කරගත් බෞද්ධ දර්ශනයෙන් ජීවිතය හැඩගස්වා ගත්තා විණා ඇය කිසි කලෙක, එය අධිපතිවාදයක් පෝෂණය කරන දහමක් ලෙස පිළිනොගත්තාය.

එහෙයින්ම ඇගේ ජීවන දර්ශනය බොහෝ කොට මගේ ජීවන දර්ශනය පෝෂණය කිරීමෙහි ලා බලපෑවේය. පසුගිය කාලය පුරාත් මේ දැනටත් හමා යන ප්‍රචණ්ඩ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රවාහයන් හමුවේ මනුස්සකම වෙනුවෙන් පෙනී සිටින්නට මට දිරිය ලැබුණේ ඇයගෙනි.

මා නව යොවුන් වියේ සිටියදී එක්තරා දේශපාලඥයකුගේ ඝාතනයක් ගැන අසා ඇය මහත් සොවින් කඳුළු සැලූ බව මට මතකය. ඇය ඒ දේශපාලනඥයා තදින් අප්‍රිය කරන බවත්, ඔහුට කිසිදා ඡන්දය පාවිච්චි කර නැති බවත් මම දැන සිටියෙමි.

" හතුරකුගෙ වුණත් මරණෙකදි සතුටු වෙන්ඩ හොඳ නෑ දුවේ. දුක් වෙන්ඩ ඕනෑ. අපි බෞද්ධයො" යි ඇය අවංක කඳුළු අතරින් මට කීවාය.

ඇය අද ජීවත්ව සිටියා නම් සිදු වෙමින් තිබෙන බොහෝ දේ දැක කම්පාවට පත් වනු නිසැකය.

මා මේ කතාව ලියන්නේ මීට හරියටම අවුරුදු දෙකකට පෙර ජූලි මාසයේදී ඇය අප අතැර ගිය වේදනාව හදවත පෙළන අතරය. ඒ වන විට ඇය අවුරුදු 101 උපන් දිනය සමරා තිබිණි!

එය ඇගේ පමණක් නොව ශත වර්ෂයක් පමණ පැරණි ඇගේ පරම්පරාවේම කතාව විය හැකිය.

" මගේ තියෙන හිතේ හයියෙන් බාගයක් උඹලගෙ අම්මට නෑ, උඹලගෙ අම්මගෙ තියෙන හිතේ හයියෙන් බාගයක් උඹට නෑ" යනු ඇය වරක් දෙවරක් මට කීවාය!

ඒ අනුව මට ඇගේ තිබූ හිතේ හයියෙන් කාලක් වත් නැත. සම්පූර්ණ ඇත්ත! ඒ කතාව කියන්නට ඇයටද සම්පූර්ණ අයිතිය තිබිණි.

මගේ මුත්තණුවන් හදිසියේ මිය ගියේ ඇය තරුණ වියේදීය. ඒ වන විට ඕ පස් දරු මවකි. ඇගේ බාලම දරුවා වූ මගේ මාමණ්ඩිය ළදරුවෙකි. එහෙත් ඇගේ ජීවිතය ආපස්සට හරවන්නට ඒ අවාසනාවන්ත සිදුවීමට හැකියාව ලැබුණේ නැත.

රජයේ පුහුණු ගුරුවරියක වූ ඇය ඒ වන විට විදුහල්පතිවරයකු වූ මගේ මුත්තණුවන් සමග රටේ දුෂ්කර පළාත්වල සේවය කොට තිබුණාය. ඔවුන්ගේ අවසන් නවාතැන වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, මගේ මුත්තණුවන්ගේ උපන් ගම වූ ඇකිරියගලය.

මගේ මිත්තණියත් ඇගේ සැමියාත් ඒ ගමෙහි තිබූ කුඩා පාඨශාලාව දියුණු කරන්නට ගත් උත්සාහය මම අසා ඇත්තෙමි. එක්තරා අන්දමකට එය ජනප්‍රිය ගුරු ගීතයේ කතාවට සමානය. ගෙවල්වල හුන් වැඩිහිටි සිසුන් පවා පෙරැත්ත කොට පාසලට ගෙනැවිත් ඉගැන්වූ හැටි මගේ මිත්තණිය අප සමග කියා තිබේ. ඇය නෙට්බෝල් කණ්ඩායමක් පවා එහි සෑදූ බවත් ගමේ ළමයින් සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් කරවන්නට දිවා රැය නොබලා වෙහෙස වූ බවත් මා අසා තිබේ.

මුත්තණුවන් මිය ගියාට පසු ඇය ඔහු සමග කළ වැඩ කොටස තනිව කරගෙන ගියාය. තනිව දරු පවුලද ගොඩනැඟුවාය.

විශ්‍රාම ලැබීමෙන් පසු ඇය ගමත් පන්සලත් කේන්ද්‍ර කර ගත් සමාජ සේවා වැඩවලට යොමු වූ අතර කොයි වේලේ බැලුවත් ඇයට ගමේ මිනිසුන් සමග සාකච්ඡා, සමිති සමාගම් සංවිධාන වැඩ ඕනෑ තරම් තිබිණි. ඒ අතරම වයස අවුරුදු අසූව පැන්නාට පසුත් දවස් දෙක තුනකට වරක් උදැල්ල ගෙන වත්තට බහින ඇය පාත්ති හදමින් ඒවා පැළ සිටුවනු මා දැක තිබේ. මෝල් ගහෙන් පිටි කොටන, කුරහන් ගලෙන් කුරහන් අඹරන, වී තම්බන, වී වේළන, මාළු පිණි ඒදන ඇය එතරම් ජවයකින් වැඩ කරන්නේ කෙසේදැයි බොහෝ විට මම සිතා ඇත්තෙමි.

සංචාරයටද ඇය බෙහෙවින් ප්‍රිය කළාය. මාස දෙක තුනකට වරක් කොහේ හෝ පිට පළාතක ගමනක් යෑමට ඇය එකපයින් සූදානම්ව සිටියාය. ගිලන් වී ඇඳට වැටුණාටත් පසු ඇය ප්‍රාර්ථනා කළේ කොහේ හෝ දුර පළාතක විනෝද ගමනක් හෝ වන්දනා ගමනක් යන්නටය!

ඇය කෙදිනකවත් ගතානුගතික ගැහැනියක වූයේ නැත. විවාහ වූ පසු දරුවන් හදන්නේ නැද්දැයි ඇය කිසි දිනෙක මගෙන් ඇසුවේ නැත. වෙනත් ගැමි ගැහැනුන් මෙන් මගේ පෞද්ගලික ජීවිතය ප්‍රශ්න නොකළාය. මගේ ස්වාධීන ජීවිතයට අල්ප මාත්‍රයක්වත් බලපෑම් නොකළාය. ඇයට හිතේ දුකකට කියා තිබුණේ මා පත්තර කන්තෝරුවල රෑ බෝ වන තෙක් වැඩ කිරීමත් කුලී ගෙවල්වල දිවි ගෙවීමත් පමණි.

ජීවිතය රිදුම් දෙන බොහෝ තැන්වලදී මට තවමත් ඇය සිහි වේ. එකවරම ඇය සොයා ගොස් ඇගේ සෙනෙහස පිරි හඬින් "දුවේ" යි අසන්නට සිත් වේ.

එහෙත් ඇය දැන් මෙලොව කොතැනකවත් නැති බව මට එවිට සිහි වේ!

කොහේ හෝ සිට තවමත් සෙනෙහෙ පිරි සිතෙන් ඇය මා දෙස බලා සිටින බව පමණක් හැඟේ!

මාතෘකා