කවුළුවෙන් බැලිය යුතුමය

 ඡායාරූපය:

කවුළුවෙන් බැලිය යුතුමය

මිනිසා වේගවත් ගමනක යෙදී සිටියි. සෑම මිනිසකුම එකෙක් පසුකර ඉදිරියට යන්නට වලිකමින් පොරබදිමින් හති හලමින් දිව යයි. මිනිසා තම ජීවිතයේ වටිනාම කාලය ලෙස සලකන්නේ මෙම අනවරත දිවීමය‍. මිනිස් ජීවිතයෙහි ඔහු සිතන සහ පතන ලෝකය අතිශය සංකීර්ණත්වයට පත්වී තිබේ. භාවිත කරන දේට වඩා භාවිත කළ යුතු යැයි සිතන දේ, පුළුල් ලෙස මිනිස් මනස තුළ සක්මන් කරමින් අභියෝග එල්ල කරයි. උක්ත කාරණා තුළ මිනිසා දැන දැනම බරපතල ලෙස කාලය අපතේ හරිමින් සිටී.

විද්‍යුත් මාධ්‍යන්ගේ ප්‍රබලත්වය, ආශාවන් සහ බලාපොරොත්තු ඉහළ ගිය සමාජයක් මිනිසාට නිර්මාණය කර දී තිබේ. මානව ක්‍රියාකාරිත්වයේ සියලු ක්ෂේත්‍ර එයට ග්‍රහණය කරගනිමින් ජන විඥානයට පුළුල් ලෙස බලපෑම් කර තිබේ. එය බලපෑමකට වඩා මිනිසා ඇන්දවීමේ ක්‍රියාවලියක මෙහෙයුමකි. මිනිස් මනස ඉලක්ක කොට එහි හැසිරීම පුළුල් ලෙස භාවිත වන ප්‍රචාරණ කලාවක් ඉන් බිහිවී තිබේ. එහි බලපෑම දේශපාලන, සංස්කෘතික මෙන්ම කලාව සහ සාහිත්‍ය හරහාද හමා ගොස් තිබේ.

මාධ්‍ය, මිනිසාගේ අතිශය සංවේදී තත්ත්වයන් මනොවිශ්ලේෂී ලෙස භාවිතයට ගනු ලැබෙයි. එහෙත් එය සිදු වන්නේ ජනමාධ්‍යයේ උවමනාවට වඩා එය මෙහෙයවන්නන්ගේ අවශ්‍යතා වෙනුවෙනි. රටක ජනමාධ්‍ය මත බලපෑම් එල්ල කරන ප්‍රධානම බලවේග වන්නේ වෙළෙඳ අධිකාරිය සහ දේශපාලනයයි. ජාතිවාදය, වර්ගවාදය, ආගමික මෙන්ම ආදරය වැනි මනෝභාවයන් ඒ සඳහා උපයෝගී කරගනී. එය සූක්ෂ්ම පරිහරණයකි.

මිනිසා ලෝකාවබෝධය ලබාගන්නේ එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න මඟින් නිර්මාණය වන ගැටලු හඳුනා ගැනීමෙනි. එහෙත් නූතන මාධ්‍යයේ ඉනාවට අවනතව තත්‍යාසන්න යථාර්ථයේ ගනුදෙනුකරුවකු වන මිනිසා ගැටලු හඳුනාගැනීමේ නිලීනතාවෙන් පෙළෙයි. එහි බලපෑම කොතෙක්ද යත් ආපදාවන්ට ඇතුළු වීම සඳහා තම නිවෙස්වල දොර විවර කර තැබීම නොදැනීම ඔහු සිදුකරයි. තමා තුළ සිටින තමා දැකීම අත් හරින නිසා අනෙකකු වෙනුවෙන් පෙනී සිටියි. එය තමා සතු ඇත්ත නැතහොත් හෘද සාක්ෂිය අඩපණ කර දමයි. එහි සමාජීය පිළිබිඹුව අකමැත්තෙන් කැමැත්ත රජ කරවීමය. නැතහොත් ජීවිතයේ අකමැති ගමන් කැමැත්තෙන් යෑමය.

“සියලු මනුෂ්‍යයන් තුළ දේවතාවකු සහ යක්ෂයකු ජීවත් වන අතර ඔවුන් නඟන හඬ බොහෝ දුරට ඒක සමානය” යැයි කියමනක් තිබේ. ගැටලු හඳුන්වා දෙන හුදකලා සංවාදයේ යෙදෙන්නා යක්ෂයා වන අතරම එම ගැටලුවට මුහුණ දීම උදෙසා ආකල්ප වර්ධනය කරන්නා තමා තුළ සිටින දේවතාවාද වෙයි. උක්ත අවස්ථා සඳහා මුහුණ දීමට බොහෝ විට බාහිරයේ පිහිට පැතීමට සිදුවෙයි. පෙර එම සහයෝගය ලැබුවේ මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, හිතමිතුරන් වැනි තම සමාජයේ තමා ළඟින්ම ඇසුරු කළ වටපිටාවෙනි. එහෙත් පශ්චාත් නූතන සමාජය තුළ උක්ත සහකරුවා වන්නේ අන්තර්ජාලයයි. නව මාධ්‍ය හරහා මෙන්ම විවිධ සෙවුම් හරහා තමා කිසිසේත් නොදන්නා කිලෝමීටර් දහස් ගණනක් ඈත ඉසව්වකින් උපදෙස් ලබාගනී. එය උපදේශයන්ට වඩා ඒ ඔස්සේ ගොඩනැඟෙන සූක්ෂ්ම අලෙවි කිරීමකි. සත්‍යතාව කුමක් වුවද ඒ අනුව තම ගැටලු සඳහා විසඳුම් මෙන්ම සුන්දර පැලැස්තරද යොදයි. ඒ අනුව මානව සබඳතාවන්හි අද දවස සංකීර්ණය. විසඳුම් ගොඩනැඟෙන්නේ ගෝලීය ව්‍යුහයන් සහ ආකෘති මතය.

ලාංකේය ජන සමාජය ගොඩනැඟී ඇත්තේ සාම්ප්‍රදායික බුද්ධි ව්‍යුහයන් මතය. එහෙත් එය ඉක්මවා ඒවා ප්‍රශ්න කිරීම් සඳහා ගෝලීය ව්‍යුහයන් පෙනී සිටියි. ගෝලීය මාධ්‍ය නිෂ්පාදනයේ කේන්ද්‍රය වන්නේ බටහිර රටවල්ය. ඒ අනුව ලාංකේය සම්ප්‍රදායෙහි බටහිර චින්තනය නොසලකා පවත්වාගෙන යෑම අසීරු වී තිබේ.

දැනුම, ආකල්ප, චින්තනය, ආදී නිර්මාණාත්මක දැනුම උකහා ගන්නා වේගයට වඩා වැඩි වේගයකින් වෙළෙඳ අධිකාරිය මඟින් ගෝලීය සාධක අත්පත් කර ගෙන තිබේ. ඒ අනුව මාධ්‍ය පොදුවේ වෙළෙඳ අධිකාරියේ පොදු වාහකයා බවට පත්ව තිබේ. නාගරික සමාජ පන්තිය මෙන්ම හද්දාපිටිසර ගම්මානද තම සමාජ ලක්ෂණ ඉක්මවා ගෝලීය මාධ්‍ය රැහැනෙහි පැටලී සිටියි. ඉන් සංස්කෘතිය අභියෝගයට ලක්ව තිබේ. එහි බලපෑම ශිෂ්ටාචාරයේ ගලායෑම දක්වාම විහිදෙයි.

සංස්කෘතික අභියෝග මැඩපවත්වා ගනිමින් ශිෂ්ටාචාරය රැකගැනීමේ සටනට මුහුණ දිය යුතුම වී තිබේ. ගෝලීය දැනුම උකහා ගැනීම අත්‍යවශ්‍යම සාධකයකි. ඒ සඳහා ජාත්‍යන්තර සන්නිවේදන අවශ්‍යතා සපුරන කිසියම් ගෝලීය භාෂාවක් හැදෑරිය යුතුය. ලොව ප්‍රමුඛ ගෝලීය භාෂාව ඉංග්‍රීසි බවට පත්ව තිබේ. 1956 ලාංකේය ජාතිය අත්හළ ඉංග්‍රීසිය, ලෝකයම ගම්මානයක් වී ඇති යුගයේ පොදු භාවිතය වී තිබේ. අන්තර්ජාලය මෙන්ම ලොව විද්‍යා, කලා, තාක්ෂණ, දාර්ශනික දැනුම ස්ථම්භ වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාව මතය. ජාත්‍යන්තර ජන මාධ්‍යයේ සන්නිවේදනය සිදුවන්නේද ඉංග්‍රීසියෙනි.

මානව බුද්ධිය මිනිසා අරමුණු කරා මෙහෙයවයි. සම්පුර්ණ ශිෂ්ටාචාරයක් යනු සම්පූර්ණ බුද්ධිය හා සමවන දෙයකි. අර්වින් එඩ්මන්ඩ්ට අනුව පවතින ලෝකය සහ පැවතිය හැකි ලෝකය අතර මිනිස් මනසේ ආතතියක් හට ගනී. එය නිශ්චල කළ හැක්කේ කලාව තුළදීය. ජීවිතය හා කලාව පූර්ණ වශයෙන් සමාන වීමට විශ්වීය දැනුමක් අවශ්‍යය. ගෝලීය මාධ්‍ය මඟින් ලබාදෙන දැනුම එකතු කරගත යුතුය. ඒ සඳහා ගෝලීය භාෂාව ප්‍රගුණ කළ යුතුමය. කවුළු පියන් හැර බොහෝ දුර සෙවිය යුත්තේ එබැවිනි. එය එකෙක් පසුකර ඉදිරියට යන්නට වලිකමින්, පොරබදිමින්, හති හලමින් දිව යෑමට වඩා වෙනස්ය.

මාතෘකා