සදාචාරවත් දේශපාලනය

 ඡායාරූපය:

සදාචාරවත් දේශපාලනය

පසුගිය සතියේ සදාචාරවත් දේශපාලනයක අවශ්‍යතාව ගැන සඳහන් කළෙමි. එයට හේතුව අනන්‍යයන් ගැන සංවේදයක් නැතිව දේශපාලන බලය සඳහා ඕනෑම දෙයක් කරන දේශපාලනයක් ඇති වී තිබෙන බැවිනි.

දේශපාලනය යනු මූලික විද්‍යාව යයි ඇරිස්ටෝටල් වසර දෙදහසකට පෙර ලීවේ දේශපාලනයට සමාජයේ අනිකුත් ක්‍රියාකාරකම් පාලනය කරන බලයක් ඇති නිසාය. එම නිසා ඔහු අගය කළේ ‘ස්වභාවික යුක්තිය’ අනුගමනය කරන දේශපාලනයකි. එය ලබාගත හැක්කේ තමන් විසින් තෝරා ගත් පාලකයන්ට ඕනෑම දෙයක් කරන්නට බලය පවරන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එම පාලකයන්ව නීතියට යටත් කරන ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය (Constitutional Government) යටතේ බව ඔහු පෙන්වා දුන්නේය.

නිදහස ලැබීමෙන් පසුව මේ රටේ ව්‍යවස්ථාවන් සාදනු ලැබුවේ පාලකයන්ට නීතියට ඉහළින් සිටින්නට හැකි තත්ත්වයක් ලබා දෙන්නටය. එමගින් ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය යන්න කනපිටට කියවන ලදි. ඔවුහු යටත් කරන්නට බැරි ව්‍යවස්ථාවන් සොයාගෙන ගියෝය. එය සිදු කර ගත්තේ ජනතා පරමාධිපත්‍යයේ නාමයෙනි. අවසානයේ ‘කන්න දෙනව නම් බොන්න දෙනව නම් මොන කෙං ගෙඩියද ඕනෑ කරන්නේ’ යයි ගී කියන තැනට ජනතාව පත් වූ දේශපාලනයක් ඇති විය.

මෙය යහපත් තත්ත්වයක් නොවේ. එහෙත් බොහෝ දේශපාලකයන්ට එය පෙනෙන්නේ නැත. ඔවුහු තවදුරටත් වෛරී දේශපාලනය ඉදිරියට ගෙන යති. සදාචාරවත් දේශපාලනයක් ගැන කථා කරන්නට සිදු වී තිබෙන්නේ මේ නිසාය. මෙම දේශපාලනයට අයත් මූලික ලක්ෂණ දෙකක් එක්සත් ජාතීන්ගේ සභ්‍යත්ව අතර සංවාදය පිළිබඳ සාකච්චාව විසින් හඳුන්වා දෙන ලදි.

පළමුවැන්න පරසංවේදනයයි (Empathy). එයින් අදහස් කරන්නේ අන්‍යයන්ගේ සංවේදනයන් තමන්ගේ කර ගෙන සිතීමය. තමන් කරන කියන දේවල් අන්‍යයන්ට බලපාන හැටි ඒවා නිසා ඔවුන් තුළ ඇති විය කම්පනය ගැන සිතා බලන ලෙස එයින් ඉල්ලා සිටිනු ලැබේ. දෙවැන්න දයානුකම්පාවයි (Compassion). මෙයින් අදහස් කරන්නේ සෑම කෙනකුම දෙස දයාවෙන් සහ කරුණාවෙන් බැලීමය. තමන් කරන කියන දේවල් අන්‍යයන්ට දයාව, කරුණාව සහ මෛත්‍රිය ප්‍රකාශ වන සහ එසේ කරන්නට අන්‍යයන්ගෙන් ඉල්ලා සිටින ආකාරයෙන් සිදු කළ යුතුය.

දේශපාලනය පිළිබඳව අතීතයේදී සාකච්ඡා කළේ එබඳු ‘සදාචාර ප්‍රවේශයකිනි’. එය නූතන යුගයේදී බරපතළ වෙනසකට භාජන විය. “දේශපාලනයට සදාචාරයක් නොමැත. ඇත්තේ ආසාවන් පමණි” යන සාකච්ඡාව ඒ වෙනුවට ඉදිරිපත් විය. නූතන දේශපාලනයේ මෙම ගති ලක්ෂණය කල් තබා හඳුනාගත් ප්‍රථම දේශපාලන චින්තකයා වන්නේ නිකලොයි මැකියවෙල්ලිය. ඔහුගේ අදහස වූයේ පාලකයාගේ එකම අභිප්‍රාය විය යුත්තේ තමන් සතු බලය ආරක්ෂා කිරීම බවය. එම කාර්ය ඉටු කර ගත හැකි නම් ඒ සඳහා යොදා ගන්නා ක්‍රමවේදය සදාචාර පිළිගැනීම්වලට අනුකූල නොවූවාට කමක් නැතැයි ඔහු සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ගොඩනැගෙන විට මෙම අදහස පිළිගැනීමක් බවට පත්වීම වැළැක්වීමට අවධානය යොමු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායේ ප්‍රධාන අරමුණක් බවට පත් විය. අපව යටත් විජිත සූරා කෑමකට ලක් කළද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී මෙම දේශපාලන අවශ්‍යතාව බ්‍රිතාන්‍යය දේශපාලකයන් විසින් අපටද හඳුන්වා දෙන ලදි. දේශපාලනය සදාචාර භාවිතාවක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව දේශපාලකයන්ට ලබා දීම එම යුගයේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලදී සිදු විය. ස්වාධීන සහ නිදහස් අධිකරණයක් සංවර්ධනය කිරීම සහ ආණ්ඩුවේ ත්‍රිවිධ බලතල එකිනෙකින් වෙන් කිරීම මේ කාලයේදී සිදු වූ අතර ව්‍යවස්ථාවකට යටත්ව පාලනය ගෙන යෑමට යටත් විජිත පරිපාලනයටද සිදු විය.

එහෙත් ඔවුන්ගෙන් දායාද වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සමග ක්‍රියා කිරීමට අපේ දේශපාලකයන්ට අවස්ථාව ලැබුණු විට සිදු වූයේ කුමක්ද? ක්‍රමක්‍රමයෙන් අනිත් මිනිසුන්ගේ ජාතිය සහ ආගම අනුව ද්වේෂයෙන් බැලීමට ජනයා මෙහෙයවීමය. මෙය දකුණේ මෙන්ම උතුරේ දේශපාලකයන්ද අනුගමනය කළ ක්‍රමවේදය බවට පත් විය. ජාතිවාදය මෙරට දේශපාලන දේහයේ ඔඩු දුවන පිළිකාවක් වෙන්නට පෙර එය මුලිනුපුටා දැමීමට යොමු කරන පාලන ක්‍රමයක් ඇති කිරීමට තමන්ට අවශ්‍ය වූයේ යයි 1931දී ඩොනමෝර් කොමිසම සඳහන් කළේය. නමුත් සිදු වූයේ ජාතිවාදය පෙර නොවූ විරූ ආකාරයෙන් දේශපාලනයේ අරක් ගැනීමය. මේ සියල්ල අතර වංචා සහ දූෂණද දේශපාලනයට ඇතුළු විය. ඩොනමෝර් පාලන ක්‍රමය ගැන අධ්‍යයනයක් සිදු කළ ආචාර්ය අයි. ඩී. එස් වීරවර්ධන ‘කුමාරයා පෙනුමින් ධාර්මික විය යුතු යයි මැකියාවලි විසින් සඳහන් කළද එම පෙනුමවත් එම පාලන සමයේ පැවතුණේ නැතැයි” සඳහන් කළේ එබැවිනි.

අද අපේ දේශපාලනය එම ධාර්මික පෙනුම තවදුරටත් නැති කර ගනිමින් සිටී. යුද්ධය සහ මිනී මැරීම සාධාරණය කරමින් ඒවා ශුද්ධ තත්ත්වයන් වශයෙන් ඉදිරියට ගැනීමෙන් තමන් ජනතාව අතර කැපී පෙනෙන්නේ යයි සමහර දේශපාලකයන් සිතන බව පෙනෙයි. මේවායින් සිදු වන්නේ මේ සමාජය ජාතියක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑම තවදුරටත් පමා වීමය. ජාතිය තුනට හතරට බෙදීමය. සුළුතරයන්ගේ සංස්කෘතීන්ට පහර දෙමින් ඔවුන්ව මෙම සමාජය තුළ සිය සංස්කෘතික ගෘහය අහිමි වූ අනාථයන් බවට පත් කිරීමය. දේශපාලන සදාචාරය වැදගත් වන්නේ ජාතිය එක්සත් කිරීමටත් පොදු ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමටත් ඒ මගින් අවස්ථාව සලසන බැවිනි. මේ ගැන අප කොයිතරම් දුරට සංවේදීව සිතනවාද යන්න අද අපේ පුරවැසියන් ගෙන් අසන්නට සිදුවී ඇත.

මාතෘකා