හතරැස් කොටුව

 ඡායාරූපය:

හතරැස් කොටුව

චූල කගපත් වස්තුව

යටගිය දවස සතරැනුවර රාජ්ජ විචාරන්නා වූ මිත්‍ර රජතෙම නුවරුන්ගේ සුවදුක් විචාරනු රිස්සෙන් දිනක් නිශා යාමයේ හුදෙකලාව සතරැනුවර වීථි සරත්.

නුවරුන් නන් අයුරින් මිත්‍ර රජ තෙම ගුණ ගයත්. ඉන් උදම්වැ කෙසර සිහ ලීලායෙන් ගමන් ගත් මිත්‍ර තෙම උඩුකය වැසූ පඬුනුවර නරේන්ද්‍ර තෙම ත්‍යාග කොට එවූ කංචුක රත්නය සුරුවම් කරමින් ගාම්භිර පෙනුමක් ගැනුමට වෙර දැරීය. එක් සොහොන් බිමක් පසුකරමින් ගමන් ගන්නා වූ මිත්‍ර වහා තිගැස්මෙන් වැලිත් හැරී බැලූයේ යමකු මා අමතාදෝහෝයි යන කුකුසිනි.

"හෙම්බා කොල්ල... තොප මේ නිශායම කොහි සරන්නහුදැ" යි යමෙක් ඇසීය. සුදෝසුදු පිළියෙන් සැරසී ඔබමොබ පාවෙමින් සිටින එක් රුවක් දුටු මිත්‍ර මහත් භීතියට පත් වියැ. වඩාත් දික් වූ නාසිකය අල්ප වූ කෙසින් යුතු හිස ... මේ සියල්ල මිත්‍ර රජහට හොඳින් දැක පුරුදුයැ... ඉදින් මේනම් යම් ගන්ධබ්බයකුමැයි සිතා දනින්වැටී දෙකන් රූරා සට සට ගා හැලෙන දාඩිය පිසලන්නට වූයේය.

"එම්බා කොල්ල බිය එළවනු... ඇවැසි නම් මට තොප දෙපයින් අල්ලා තුන් යලක් කරකවා මිහිමත හෙළීමට පිළිවන. මට එසේ සිත් වේ." යි ඒ පුගුල් තෙම ගුගුළේය.

"අහෝ එසේ නොකරන්.... මා මේ සතරැස් නුවරට අධිපති මහා රාජෝත්තම වම්හ. අභය දෙනු... තොපට මහත් වස්තු බහුභෝග සම්පත් රිසි ලෙස දෙමි" යි මිත්‍ර රජ තෙම පැවසීය. නුබගැබ සිසාරා අකුණු සැරයක් යන්නා සේ ඒ ගන්ධබ්බ තෙම මහත් සේ සිනා පහළ කළේය.

භය භීරාන්ත මිත්‍ර තෙම ...

"යම් අන්තර් භවයක සැරි සරන්නා වූ නුඹ තෙම මා දෙනුවන්ට වඩාත් හුරුයැ... නුඹ තෙම කවරහුද" යි මෙත්පල් විමසීයැ.

"කොල්ල... තොප අද සතරැස් නුවර බුදින්නා වූ රාජශ්‍රීයත්, පඬුරු පාක්කුඩම් ආදියෙත් මහා මැවුම්කරු මම්ම වම්හ.... කොල්ල මා ජයෝඩන නම් රජ වම්හ..."

බය බිරාන්ත වූ මිත්‍ර රජානෝ සියවරක් හිස බිමහොවා වැඳ වැටී "කමා කළ මැන ... උතුමාණනි..... කමා කළ මැන.... ඉදින් නුඹ දෑ වැලිත් පහළ වූයේ කිමැ" මිත්‍ර තෙම බිරාන්තව ඇසූහැ.

"කොල්ල ... මා සතරැස් නුවර රජකරන කල්හි තොප එක් ගමෙක ගම්බාර තෙමයැ. අනපේක්ෂිතව ලද නරපති කමින් හා රාජශ්‍රීයෙන් තොප ලද කම්පනය සිව්වස් ඇවෑමෙන්ද සන්සිඳී නැත්තේයැ. ඉදින් තොපගේ විපරීත කෘත්‍යයෝ මෘතවැ සිටැ මා වහා නැඟිටුවා තැබ්බවීය." යි ජජයෝඩන තෙම පැවසීය.

"වහන්ස... මා හට කිසි කෘත්‍යයක් මා රිස්සෙන් කිරීමට නුඹ බෑනනු විකසිත තෙම ඉඩ නොතබයි. හේ මහත් චෞර සිත් ඇත්තේ වෙයි. උන්ගේ මැති මැත්තන් මං පහරන්නේ වෙයි. මා රජතෙම බැවු නොතකත්" ඒ මිත්‍ර තෙමේ හඬ හඬා පැවසීය.

"කොල්ල රජ තෙම සතුව මහාමාර්ග මංගල අසිපතෙක් වියැ. ඉදින් තොප රුපුන් කඩු ගා දමනු... මේ රජ පදවිය වූ කලී මහත් ආනුභාව සම්පන්න බැවු තොප නොදනිත්ද" ජයෝඩන තෙම මෙත්පලුන් අස්වසමින් පැවසීය.

කිසිවක් නොබැන මිත්‍ර තෙම මහාත් හඬින් හඬන්නට වන්හ.

"කිම කොල්ල... කියව... ලලනා සෙයියාවෙන් හැඩීම රජුනට නොවටී.

"වහන්ස.. මා රජපත් වන සමයෙහි මා සතුව මහාර්ග කකුධ භාණ්ඩ කට්ටලයක් වියැ. මාද ඒ පැළඳ අභිමානයෙන් රජකම් කළෙමි." මිත්‍රයානෝ ඉකිබිඳිමින් පැවසීයැ.

"ඉදින් ඒ කකුධ භාණ්ඩ කට්ටලයෙහි කගපත් වේ. ගනුව මා තොපට ගුරු මුෂ්ටි නොතබා කගපත් හරඹ උගන්වමි..." ජයෝඩන තෙම පවසද්දී මිත්‍ර රජ තෙම වැලිත් දොඩමළු වියැ.

"වහන්ස... ඒ මහාර්ඝ කගපතත් යම් යම් කකුධ භාණ්ඩත් විකසිතයානෝ පැහැරගත්හ" යි මිත්‍ර හඬ හඬා පැවසීය.

" තොප කිනම් රජ තෙමද?.. තොප රාජභරණ මං පහරන තෙක් තොප කුමක් කළෙහිද?" ජයවඩන තෙමේ කෝපයෙන් ගුගුළහ.

"වහන්ස පසුදිනක මා කගපත අමෝරා විකසිතයාට මරු පහරක් දුනිමි. නමුත් ඉන් විකසිතයාට සීරීමකුදු නොවිණ.... කගපත මා සතුවූ සදගුප්ත් නිරිඳාණන්ගේ අසිපත පරයන ඒ මහාර්ඝ අසිපත නොවන බැව් ඉන් පසක් කර ගතිමි." යි මිත්‍රයෝ වැලිත් හැඩීයැ.

දිග සුසුමක් හෙළූ ජයවඩන තෙම අතීත කතාවක් ගෙන හැර පෑවේය.

"කොල්ල...මා මේ මහා බලසම්පන්න රාජපදවිය සකසදිදී එක් මැති කෙනකුන් මා හට අනාගත අනතුරක් ගැන පැවසීය. යම් දිනක උම්මත්තකයකු රජ වූවොත් කුමක් වේදැයි ඒ මැත්තා විමසුවද මා එය නොතකා සිටියේ උම්මත්තකයකු රජවීම අභාග්‍යය බැවිනි. ... නමුත් ඒ දූරදර්ශී ඇමැත්තා පවසා ඇත්තේ සත්‍ය බැවු මා අද දිටිමි. කරණවෑමියාගේ සැත වානර තෙම ගත් කල මුලින් තුමූම කපා ගනිත්."

ජයවඩන තෙම කනස්සලුව පැවැසූහැ. වැලිත් ජයවඩන තෙමේ මෙත්පල් විමසත්.

"කොල්ල කියව තොප කකුධ භාණ්ඩ විකසිතයා පැහැරගත්තේ නම් මේ තොප සතු ආභරණ කොයින්ද?"

"වහන්ස මේ කෝලම්කරුවකු සතු කෝලම් රාජාභරණයි."

ඒ ඇසූ ජයවඩන තෙම කෝපයෙන් ඉපිළී ඒ යටපත් කරගෙන වැලිත් මෙත්පල් ඇමතූහ.

එම්බා කෝලම් නිරිඳ... කුමක් පවසන්නද.... මා මියෙමි.."මා මියෙමි...

"වහන්ස නුඹදෑ දැනටමත් මිය ගොසිනැ"යි මිත්‍ර රජ තුෂ්නීම්භූතවැ පැවසීය.

"සැබැව ..... තොප දුටු කල මා දෙවනිවත් මියෙමි... මා දෙවන වර මැරීමේ ගෞරවය තොප සතුයැ" යි පවසා ජයෝඩන තෙම අන්තරස්ධාන වීය.

මාතෘකා