දන්නෙ කවුද තග්ගෙඩි ගැන?

 ඡායාරූපය:

දන්නෙ කවුද තග්ගෙඩි ගැන?

නවසි පොලයක වතුර ටික බීලා වප්පිහියෙන් ගහලා බෑ දෙකට පැළුවම ළපටි කිරි මද තියෙනවා. දවසක් හිඟුරාණෙදි තැපෑලෙ වැඩ කරන මෛත්‍රීපාල උන්නැහේ ඔයි වාගෙ තැඹිලි මද හූරලා තැඹිලි වතුරටම දාලා දෙහි එක්ක සීනි කැට ඩිංගකුත් දාලා දුන්නා මතක් වුණා. ඉතිං නවසි මදේ හූරලා ඒ බෑවටම කිතුල් පැණි ඩිංගක් වක්කරගෙන කෑවා. අතිරහ අතුරුපසක්. හැබැයි එව්වැහේ කනවානම් වැලිගම් පැත්තෙ ගෙහුං පැණිත් එක්ක දීකිරි පොල් කන එක තමයි ලොකුම කාරිය. ඔය අල්ලපනල්ලෙ මතක් වුණා හුඟ කාලෙකට ඉස්සර කෝංගල ලොක්කයියත් එක්ක කිරින්ද පොළට දෙල් ඇන්න ගිහිල්ල එද්දි එයැයි එකක් සත විසිපහ ගණනෙ පොල් පැළපි නැත්තං පැළමද අරන් දුන්න හැටි. පහුණු දවස්වල රොටි කන හැටි කිය කියා උන්නු එකේ අපි වැඩියෙම්ම කන පොල් රොටිවලටත් ළා පොල්ම දැම්මනම් රහ බව කියන්ඩ අමතක වුණාවත්ද කියලා කල්පනා කළේ. ඕං දැන් කිව්ව එකේ එහෙම රොටී උයන්ඩ.

මෙවාරේ කියනවා කිව්වනෙ තග්ගෙඩි ගැනත්. තග්ගෙඩි අපේ අම්මලයි උන්දැලා අම්මලයි උයාන කාපු කෑමක්. ඒක බොහෝම ලේසියෙන් උයාගත්ත කෑමක්. අම්මා නම් කියනවා රහයි කියලා. හැබැයි ඉතිං බත් කන උන්දැලා තග්ගෙඩි කෑවෙ වෙනසකටම නෙවෙයි. බත් කන්ඩ හාල් මදි පාඩු වුණාමත් පිටි ටිකක් හොයාගෙන තග්ගෙඩි කන්ඩ සිද්ද වුණා. එව්වා හැදුවෙ පාන් පිටියෙන්. හාල් පිටි කෑමක් හැටියට හදන්ඩ බැරි වෙන්ඩ ඇත්තෙ හාල් පිටි ගුළි ගැහුවම විජහට බි‍ඳිලා යන හින්දා. ඒ වුණාට අපේ හාල්වලට වඩා ඉව්වම ඇලෙන ගතිය වැඩි හාල් වර්ග තියෙන රටවල හාල් පිටියෙන් හදන අනේකාකාර කෑම ජාති තියෙනවා. එහෙම රටවල හාල් පිටි අපේ රටෙත් ඔය හාල් පිටි ඉස්කෝතු හදන කොම්පැනි ගෙන්නනවා කියන්නෙ. මං ඉන්දුනීසියාවෙදි කෑවා හාල්පිටි මොමෝ. හැබැයි රහම මොමෝ කෑවෙ නේපාලෙදි. එව්වයෙ මැද්දට කුකුළු මස් ඔබ්බලා තිබ්බා. කන්ඩ ඕන සියඹලා සෝස්වල පොඟවගෙන. කඩපිම්මෙ තැම්බුවා වගේ දැනෙන මොමෝ කත්මණ්ඩුවෙදි මට අරගෙන දුන්නෙ දිල්රුක්ෂි හඳුන්නෙත්ති. අපේ හරිත උන්නැහැ නම් කෑවයි කිව්වෙ මැද්දට මී හරක් මස් ඔබාපු මොමෝ. මංජුල ගජනායකත් නේපාලෙ ගෙහුං එව්වම හොයාන ගියා කියලා ආරංචියි. හරිතගෙ නම් ඉතිං කෑම බීම තමුන්නෙ මට්ටමට නෙව.

හා තව ඩිංගිත්තෙන් අමතක වෙනවා නෙව තග්ගෙඩි හදාපු විදිය කියන්ඩ. පාන් පිටි පොල් දාලා හරි නැතුං හරි අනලා පොඩි අග්ගලා වාගෙ බෝල හදලා පැත්තකින් තියා ගන්නවා. ඔය අතරෙ තමන්ට තියෙන හැටියට මස් හොද්දක්, මාළු හොද්දක් හරි එව්වා නැත්තං මුං ඇට, පරිප්පු වාගේ හොද්දක් වුවමනා අඩුම කුඩුම ඔක්කොම දාලා ළිපේ තියාලා පැහෙන්ඩ අරිනවා. හොද්ද පැහීගෙන එද්දි අර පිටි බෝල ඒ හොද්දටම දානවා පැහිලා තැම්බෙන්ඩ. ඕං පුසුඹ හම හමා එව්වා පදමට තැම්බෙද්දි අර හොද්දෙ සාරෙත් කිඳා බහිනවා පිටි බෝලෙ මැද්ද වෙනකම්ම. ගාණට මිම්මට තැම්බුණාම අර හොද්දත් එක්කම බෝල තග්ගෙඩි පළංගානවලට බෙදලා කන්ඩ ගන්නවා. මේක ඉතිං බොහෝම පහසුවෙන් උයාගන්ඩ පුළුවන් කෑමක්. කාට හරි වුවමනයි නම් තග්ගෙඩි බෝලවලටත් එව්වා මෙව්වා ආලවට්ටම් දාලා සරු කරගන්ඩ පුළුවන්. එහෙම කෙරුවා නම් නිකම්ම සුදු පිටි බෝල ගිලින්නැහේ නැතුං වැඩි ගුණයක් තියෙයි.

එදා මං කිව්වා රොටි කන්ඩ මුහු කරගත්ත වෑංජන පැහි ජාති ගැනත් යමක් කියනවමයි කියලා. මොන පිටියෙන් තැනුවත් රොටියක් දෙකක් කන්ඩ කොතනත් තිබ්බෙ ලුණු මිරිස් තමයි. රටබටු දාලා හරි, තක්කාලි පුස්සලා හරි හදාගත්ත ලුණු මිරිස් ගැන කාලෙකට උඩදී කිව්වා මතක ඇති. ඒ හින්දා ආයෙ වංගියක් එව්වා ගැන කියන්ඩ ඕනැන්නෙ නෑ. හැබැයි අපේ ගම් තුලානවලදී නම් රොටි පුච්චන එක වාගෙම කන එකත් වෙනසකටත් එක්ක කලාවට ලතාවට කරාපු එකක්. ඕං ඉඳහිට අම්මලා කියනවා බත්ම කාලා ඇතිවෙලා බං අද රොටියක්වත් කමුද කියලා. හා කියව්වම ඩිංග වෙලාවක් කල්පනා කරන උන්දැලා ආයෙ අහන්නෙ මොනා එක්කද බං රොටි කන්නෙ කියලා. ඔය කැලෑසියේ කවුරු වුණත් රොටි කන්ඩ වැඩිය මනාප වුණේ කොස් එක්ක. හැබැයි ඒකට හරියන්නෙ කිරි කොස් නෙවෙයි. උඩරට පළාත්වල හදනවා වාගේ තෙල් දාපු කොස්. එහෙම නැත්තං පමණක් ඇත්තො රොටි කන්ඩ ගැට පොළහක් ඇඹුලට උයාගත්ත. දැන් ඒකනෙ කන්ද උඩින් පල්ලම් බහිද්දි හුඟක් පාරවල අද්දර බෝඩ් ලෑලි එල්ලලා තියෙන්නෙ “කොස් එක්ක රොටි කමු, පොළොස් ඇඹුල් එක්ක රොටි කමු.” කියලා. තව සමහර දවසක අම්මලා රොටි කමුද කිව්වෙ කොල්ලු ඉවුවම. අනේ දැන්නම් අපේ ගමේ එක මනුස්සයෙක්වත් කොල්ලු වපුරන්නෙ නෑ. ඊයෙ පෙරේදා දවසක ගං ගියාපුවම මං ඒ වග අලුත් පන්නෙ කොල්ලන්ට කිව්වෙත් බොහෝම විස්සෝපෙන්. රොටි කන්ඩ පෑහෙන තව වෑංජනයක් තමයි අලකොළ ඇඹුල. උණු රොටියක් දෙකක් මරාගන්ඩ හරිම ලේසියි එව්වත් එක්ක. මේ කොයික තිබ්බත් මං නම් රොටි කන්ඩ ආසම තෙලට උයපු තෙල් වට්ටක්කා එක්ක. ඒවයෙ අබයි සුදු ලූනුයි හැපෙන රහ කොහොම ලියන්ඩද?

[ලසන්ත ද සිල්වා]

මාතෘකා