එකම හිනාවට ගී දහසක්

එකම හිනාවට ගී දහසක්

 

යමෙක් තමන් උපන් දේශයේ, හැදී වැඩී, දුහුවිල්ලේ සිට දහදිය සුවඳ දක්වාම සියල්ල දැන හඳුනාගෙන, හදවත් වැලඳ ගන්නා ඉසියුම් වින්දනීය, නව්‍ය සම්ප්‍රධායක් ගොඩනැගීම විප්ලවීයය. යමෙක් එවන් විප්ලවීය සමාජ විපර්යාසයක් ඇති කිරීමේ හැකියාව වර්ධනය කර ඇත්තේද ඔහු එම ජන සංස්කෘතියේ පෙරගමන්කරුවකු වීම වැළැක්විය නොහැකිය. ජනතා ආකර්ෂණය මෙන්ම ආදරයද එවන් මිනිසුන් වටා අත් පසුරක් සේ බැදී පවතී.

මහපොළොවේ දහඩිය සුවඳ හඳුනන ශ්‍රම බලකායකගේ කියා ගත නොහැකි මානව දෘෂ්ටියක ප්‍රකාශකයා වන්නේ උක්ත පෙරගමන්කරුවන්ය. කලාව සහ එහි ප්‍රකාශනයේදී ඔහු පොදු ජන නියෝජනයකි. ඔහු පැල්පතේ සිට රජ මැදුර දක්වා ජනප්‍රියත්වය එකසේ දරාසිටියකු සේම ජනප්‍රිය සංස්කෘතියේද ප්‍රබල නියෝජනයකි. යම් ක්ෂේත්‍රයක එවන් තිරස් සහ සිරස් පුළුල් පරාසයන් නියෝජනය කරන්නෝ අතිශය දුර්ලභය. එවැන්නෝ තම ශිල්පීය දක්ෂතා හේතු කොට තම උපන් රටේ ජන සංස්කෘතියේ ජනප්‍රවාද ගොඩනැගීමට සමත්ය. ඔවුන් රටක සාමාන්‍ය ජනතාවගේ හිත හොඳ මිත්‍රයන්ය.

අතිශය කලාතුරකින් ජාතිය ලද දායාදයන් වූ එවන් කලාකරුවා රටට දැනෙන්න ජීවත්වීමේ සාධක ප්‍රකට කරයි. මිතුරන් මගින් මිතුරන් දිනා ගැනීමට තරම්ම ආදරණීය රසවතකු වන ඔහු, ජනවිඥානය හොඳින් හඳුනයි. පොදු ජනප්‍රවාදයන්ගෙන් ඔබ්බට, දාර්ශනික මතවාද ගොඩනැ‍ගෙන්නට ඉවහල් වෙයි. සමාජය තුළ සංස්කෘතික බලකණුවක් බවට ඒත්තු ගැන්වෙයි.

යම් කලාකරුවකුගේ නිර්මාණ සංකෘතික මතවාද සහ සංවාදයන් ඔස්සේ මතවාදයන්ට ලක්වීම, මිනිස් විඥානය හැඩගැසීමකි. වක්‍ර ලෙස එය කලා නිර්මාණය මගින් ප්‍රජාව පාලනයකට ලක් වීමකි. රසවින්දනය කරන්නන්ගේ හැසිරීම නිර්මාණය මගින්ම, මෙහෙයවීමට ලක්වෙයි. ජීවිතයේ සත්‍ය යථාර්ථය සෙවීම, පොදු ජන ජනප්‍රිය නිර්මාණයේ බලාපොරොත්තුව නොවේ. එය මිනිසුන්ගේ හැඟීම් සහ චර්යා සමග බද්ධ වූවකි.

ජන සංස්කෘතීන් ලොව වටා බිහිවූයේත් අද බිහිවන්නේත් එවන් මිනිසුන්ගෙනි. සම්භාවනීය ජන සංස්කෘතියට අයත් එවන් කලාකරුවෝ සංස්කෘතික හා බුද්ධිමය කුලයන්ට අභියෝගයක් වූහ.

එච්.ආර්. ජෝතිපාල එලෙස ලාංකේය සමාජය තුළින් බිහි වූ අපූර්ව සංකීර්ණ පුද්ගලයාය. ජෝතිගේ ප්‍රතිරූපය පරයා ඉස්මතු වූ හඬපෞරුෂය සත්‍ය ලෙසම පොදු මිනිසුන්ගේ අප්‍රකාශිත හැඟුම් සමුදායේ නිල ප්‍රකාශකයා වූ අතර සිනමාවේ සත්‍ය සේ පෙනෙන එහෙත් සත්‍යයක් නොවන නළුවාගේද අප්‍රකාශිත හැඟුම් සමුදායේ නිල ප්‍රකාශකයාය. තිරයට උචිත ජෝති හඬ, නළුවන්ගේ ප්‍රතිරූප ගොඩනැංවීය. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ජනප්‍රිය වන්නේ යම්සේද ඔවුන් වෙනුවෙන් ජෝති ගැයූ පසුබිම් ගීයද එයට එක ලෙස බල පෑවේය.

පොදුජන මනස තුළ කැකෑරෙන පීඩනයන්, ප්‍රේමණීය ආමන්ත්‍රණයන් ලෙස පිට කරන්නටත් විරහවේ දුක දරාගැනුම පිණිස ගයමින් දුක්වන්නත් අවැසි ගී ජෝති ගයා තිබිණි. ඔහු ගැයුවේ ස්වතන්ත්‍රද හින්දි අනුකාරක තනුවලටද යන්න රසිකයාට වැදගත් නොවිණි. අවශ්‍ය වූයේ ජෝති හඬ තුළ, සරලව සහ රසට දනවන්නේ කුමක්ද යන්න පමණි.

කෙතරම් සංකීර්ණ තාක්ෂණික, ගෝලීයකරණ සමාජයක අද ජීවත් වුවද ජෝති ගීයේ පොළා පැනීම වැළැක්විය නොහැක්කක් බවට පත්ව තිබේ. මොහොමඩ් රාෆි“ජෝතිපාල ගායන ශිල්පියාට මේ රට කුඩා වැඩියි. ඔහුගේ නිපුණතා අනුව ඔහු බිහි විය යුතුව තිබුණේ මහා භාරතයේ” යැයි ප්‍රකාශ කළේය. විජය කුමාරතුංගයන්“සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන්නු හඬ මට ලබා දෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන්කමක් නෑ.” යැයි හඬ ගා ප්‍රකාශ කළේය. “ගීතයකින් මතුවන ද්වනිතාර්ථය සිය කටහඬ හැසිරවීමේ අපූර්ව මාධූර්ය කුසලතාව මගින් දනවන බවට” පණ්ඩිත් අමරදේවයන් ජෝති පිළිබඳ මත පළ කළේය.

පොදු ජන දෘෂ්ටිය පොදු ජනයාටම දැනවූයේ ජෝති ගීයෙනි. එය දෘෂ්ටිවාදයකට නතු වූයේ, ජෝති හඬේ ඇති ව්‍යවහාරික ලක්ෂණ කෘතහස්ත සංගීත අධ්‍යක්ෂවරුන් ප්‍රයෝජන ගත් බැවිනි. ලාංකේය ජන හදවත් තුළ අක්මුල් බැසගත් නිර්මාණවේදීන්, ජෝති ගීයෙහි පොදුජන සංස්කෘතිය බල ගැන්වීමට සෘජුව දායකත්වය සැපයීය. මෙම සාමූහික දායකත්වය අතිශය කලාතුරකින් ජාතියකට හිමි දායාදයක් වන්නට ජෝතිට අවකාශ සැලසීය.

යමෙක් කුමන කර්තව්‍යක් ඉහළින්ම සමාජගත කළද එසේ කරන කිසිවෙක් පොදු ජන වන්නේ නැත. නිර්මාණ තුළ ජනප්‍රියත්වය ඇතත් පුද්ගලානුබද්ධව සබඳතා නොමැති වන්නේ ඔවුන්ගේ මානව දෘෂ්ටියේ ඇති අඩු වැඩිකම් අනුවය. ජෝති මිනිස් ගුණාංගවලින් හෙබි, මානව දයාවෙන් පිරිපුන් චරිතයක් වීම ඔහු පොදු ජනයාගේ මිතුරකු බවට පත් කළේය.

ජෝති යනු, හිතවත්කම් වෙනුවෙන් තමා සෙවූ අප්‍රමාණ ධනස්කන්ධය වියදම් කළ මිනිසෙකි. ඉන් පිළිසරණ ලැබුවෝ බොහෝය. යමෙක් ජෝතිගේ සිත් රිදවීමක් කළ විට “ඇයි බං ඒ මනුස්සයා එහෙම කළේ” යැයි ජෝති ඇසුවා මිස, කලා ක්ෂේත්‍රයේ කිසිවෙක් විවේචනය නොකළේය. ගුවන්විදුලිය සහ රූපවාහිනිය ජෝතිපාලට තහනම් කලාපයක් වීම සහ ප්‍රබුද්ධ පීචං සම්ප්‍රදායයෙහි ඇත්තේ අන්නෝන්‍ය සබඳතාවකි.

ජාති, කුල, ආගම්, නොසලකා මානව හදවත් ඇසුරු කළ හිතහොඳ මිත්‍රයා ජෝතිපාලය. ජනාදරයට පත්වූ සුන්දර මිනිසකුගේ අවසන් සුසුම් දරාගත නොහැකිව ලක්ෂ ගණනක් පිරිස් ඉතිහාසයේ ප්‍රථම සහ අවසන් වතාවට බොරැල්ල කනත්තේ වැටවල් පෙරළන්නේ ජෝතිපාල වෙනුවෙනි. ඒ තනුව ඉක්මවූ මානව හැඟීම් මතින් මෙරට මිනිසුන්ගේ හීන සහ සිතිවිලි ජීවත් කළ ආකෘතිය ජෝති ගී හඬ වූ බැවිනි.

මාතෘකා