“සේනා” නොකී කතා

 ඡායාරූපය:

“සේනා” නොකී කතා

මේ ගෙවෙමින් පවතින්නේ දිගාමඬුල්ලේ බඩඉරිඟු සමයයි. දෙසැම්බර් මැද වන විට පටන් ගන්නා බඩඉරිඟු අස්වනු නෙළීමේ සමය පෙබරවාරිය තෙක්ම දිවෙයි. මීට දශක හතකට පමණ හේන්වල අස්වනු නෙළන සමය පිළිබඳව “දිගාමඬුල්ලේ ආශ්චර්යය” නම් කෘතියේ මායා රංජන් ලියන්නේ මෙහෙමය.

“ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ හේන්වල නිපැයෙන ඉරිඟුය. පෙබරවාරියේදී ඉරිඟු කිරි වැදෙන විට මේ රටේ එතෙක් පැවති සාගතය නිමවෙන්නේය. ලා ඉරිඟු කරල් කිරි ඉඟුරු කියමින් පුළුස්සා හෝ තම්බා කති. එකල ඉරිඟු කරලක් අතේ නැති ළපැටියකු ගමක නොදැක්ක හැකිය. මෝරන ඉරිඟු කොටා පිටියෙන් තලපද, කෑලි සහල් කොට ගෙන ඉන් බත්ද පිස කති. කුරහන් පිටියෙන්ද පිට්ටු රොටී කොයිවාත් කෑ හැකි නමුත් කවුරුත් තලපයටම කැමති වෙති.”

හේන්වල වගා කළ බඩඉරිඟු වැව්ගම්පත්තුවේ අයට ඉඟුරුය. බින්තැන්නට ඉරුංය. මීට දශකයකට පමණ පෙරද මෙහි බඩ ඉරිඟු ප්‍රභේද 05ක් පමණ ඉතිරිව තිබුණේය. මාස තුනක් වයසැති සුදු බාල ඉරුං, මාස හතරක් වයසැති මහ රතු ඉරුං, මාස තුනක් වයසැති රතු බාල ඉරුං , මාස හතරක් වයසැති දම් පැහැති ඉරුං, නිමිති ඉරුං ඒ වර්ග පහයි. දැන් ඒ ඉරුං වෙනුවට මෙහි ඇත්තේ මැලේසියන් හයිබ්‍රිඩ් ඉරුංය. ඒ හයිබ්‍රඩ් ඉරුං බීජ ගෙන්වන්නේ පිටරටිනි. එකී රටවල් බීජ ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් අපිට බඩඉරිඟු වගාවට සමුදීමට සිදුවනු ඇත. අනෙක් අතට මෙම බීජ අධික මුදලක් ගෙවා මිලදීගත යුතුව ඇත. ඒවාට රසායනික පොහොර යෙදීම අත්‍යවශ්‍යය. මෙවර ඉඩකඩම්, කණකර උකස් කර, අධික වියදමක් දරමින්ද, වන අලින්, ඌරන් වැනි සතුන්ගේ තර්ජන මැද රැකගත් හේන ගිනිතබා විනාශ කිරීමට ගොවීන්ට සිදුව ඇත. ඒ මුළු රටම දන්නා සේනා දළඹුවාගේ ආක්‍රමණය නිසාය.

බලධාරීන් කියන්නේ දළඹුවාගේ සුහුඹුලා වන සලබයා ඊසාන දිග මෝසම ඔස්සේ පියාසර කර ඉන්දියාවේ සිට පැමිණ ඇති බවයි. ඊශාන දිග මෝසමේ බලපෑමෙන් ඉන්දියාවෙ සිට පැමිණෙන්නේ කෙසේද යන්න ගැටලුවකි. තවත් පැතිර යන කතාවක් වන්නේ දළඹුවාගේ බිත්තර ඉරිඟු බීජ සමග පැමිණ ඇති (එවා) බවයි. මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාවකෙසේ වුවද මෙරට පාරම්පරික බීජ වර්ග භාවිතය අත්හළදා පටන් රටක් ලෙස අපට කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ගොවිතැනෙහි යෙදිය නොහැකි තත්ත්වයක් ඇති බව පිළිගත යුතුය. පාරම්පරික වී ප්‍රභේද මෙරට ගොවි බිම්වලින් පිටමං කිරීම පිටුපස ඇත්තේද අඳුරු කතාවකි. පැවති පාරම්පරික වී ප්‍රභේද ප්‍රමාණය ලෝකයේ සාම්ප්‍රදායික වී ප්‍රභේදවලින් 25%ක් පමණම විය. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ඊනියා හරිත විප්ලවයේ ආනුභාවයෙන් මෙරට පාරම්පරික වී ප්‍රභේද ජාත්‍යන්තර වී පර්යේෂණායතනය වෙත ගමන් කළ අතර ඒවායේ විවිධ ප්‍රවේණි ලක්ෂණ භාවිතා කරමින් නව වී ප්‍රභේද නිපදවෙන්නට විය. අවසානයේ රසායනික ද්‍රව්‍ය මතම යැපෙන නව වී ප්‍රභේද අපට උරුම විය.

1950 දශකයේ ලෝකයේ රසවත්ම පැඟිරි පලතුර ලෙස විරුදාවලී ලත් බිබිලේ පැණි දොඩම් වගාවට තිබූ ස්වර්ණමය යුගය නිමාවීම පිටුපස ඇත්තේද මෙවැනි කතාවකි. 70 දශකයේ ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් සඳහා යන මෙරට කෘෂිකර්මාන්තය හා සම්බන්ධ පුද්ගලයෙක් ආපසු මෙරටට පැමිණ බිබිලේ දොඩම් වගාව දියුණු කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට විය. වැඩි දියුණු වීමක් සිදු නොවුණද මෙම ක්‍රමවේදයන් සිදු කරන අතරතුර බිබිලේ දොඩම් වගාවට ට්‍රයිස්ටාර් නමැති දිලීර රෝගයක් වැළඳෙන්නේය. එම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඊශ්‍රායල පර්යේෂණ කණ්ඩායමක් මෙරටට පැමිණෙන අතර අවසානයේ බිබිලේ දොඩම් නැවත ගොඩ ගැනීමට නොහැකි වුවද, තවත් වසර ගණනාවකට පසුව ලෝකයේ රසවත්ම පැඟිරි පලතුර බවට ඊශ්‍රායලයේ බයිබල් දොඩම් පත්වන්නේය. බිබිලේ දොඩම්වල ස්වර්ණමය සමය නිමවනවා පමණක් නොව බිබිලේ (BIBILE) යන්නට සමාන ව්‍යවහාරයක් සහිත බයිබල් (BIBALE) දොඩම් ලෙස වෙළෙඳපොළ ජය ගැනීමටද ඊශ්‍රායලය සමත් වෙයි.

මෙරට කෘෂිකාර්මික උරුමයන්ට අත් වූ මෙවැනි තවත් බොහෝ වින්නැහි පිළිබඳ කතා අප අසා ඇත. සේනා දළඹුවා යනු හදිසියේ ඊසාන දිග මෝසම නිසා ඉන්දියාවේ සිට මෙරටට පියඹා පැමිණි සළබයකුගේ කීටයකු වන බව අප විශ්වාස නොකරන්නේ ඒ නිසාය. මෙරට බඩ ඉරිඟු වගාව විනාශ වීම යනු මෙම කන්නයේ ඉඩඉරිඟු ගොවීන්ගේ ජීවනෝපාය බිඳ වැටීම පමණක්ම නොවේ. එක් අතකින් සත්ත්ව ආහාර නිෂ්පාදනය අඩාළ වී යම්තමින් නැඟී සිටින්නට උත්සාහ දරන කිරි ගව කර්මාන්තය ඇතුළු සත්ත්ව පාලන කටයුතු අනතුරේ හෙළීමකි. තවත් අතකට බහුජාතික සත්ත්ව ආහාර සමාගම්වල ඒකාධිකාරයට මෙරට ගොවීන්ට නතු වීමට සිදුවන්නකි.

එමෙන්ම අප සැළකිලිමත් විය යුතු වැදගත් කරුණක් වන්නේ මෙරට යැපුම් කෘෂිකර්මාන්තය සැළසුම්සහගතව විනාශ කිරීමේ අවශ්‍යතාවක් දශක ගණනාවක සිටම ක්‍රියාත්මක වන බවය. ලෝකය පුරා හමා යන ආර්ථික කුණාටු හමුවේ පවා මෙරට ඈත ගම්බිම්වල ජනයා පවා කුසගිනි නිවාගන්නේත්, තවමත් අපේ රට තුළ පවතින යැපුම් කෘෂිකර්මාන්තයේ ශේෂ වූ අවමය නිසාය.

 [කමල් නෙත්මිණි]

 

මාතෘකා