දෙවියන් වෙත ගිය පුංචි එවුන්

 ඡායාරූපය:

දෙවියන් වෙත ගිය පුංචි එවුන්

සමහර පාසල්වල ඉදිරිපස තාප්පයේ හෝ දොරටුවේ ලියා ඇති පාඨයක් ඔබ දැකලා ඇති. ඒ "මේ මගේ දරුවාගේ පාසල" යන්නයි. එයින් කියවෙන්නේ එම පාසල ඔබේ දරුවාගේ බවය. ඉතින් පාසල ඔබේ දරුවාගේ නම් කිසිම බයක් සැකක් ඇති කර ගත යුතු නැත.

එහෙත් මේ පාඨයෙහි අරුත වෙනත් විදියකට තේරුම් ගත් කෙනෙකු කියූ කතාවක් ද ඇත. එය පවසා ඇත්තේ සිහි මඳ ගතියකින් යුතු පාසලේ ලොකු සර්ගේ පියෙකු විසින්ය. ඒ අනුව පාසල අයිති වන්නේ තම දරුවා වන ලොකු සර්ට බවය.

සිතා බලන විට ඒ කියමනෙත් ඇත්තක් නොතිබෙන්නට බැරිය. බොහෝ විට ඇතැම් ගුරුවරුන්ද විදුහල්පතිවරුන්ද සිතන්නේ පාසල තමාගේ බවය. තම පාසලට එන සෑම දරුවෙකු පිටුපසම අදෘශ්‍යමානව තවත් දෙදෙනෙකු පාසලට පැමිණෙන බව ඔවුනට පෙනෙන්නේ නැත.

තමන්ට හිතුණු හිතුණු විදියට දරුවන්ගේ වයස ගැන නොතකා අත දිග හැර පහර දෙන්නේත් පරිභව කරන්නෙත් ඒ නිසා විය යුතුය. සිසුන් ශාරිරිකව හෝ මානසිකව පීඩනයක් ඇති කිරීම අද කිසිසේත් අනුමත කරන්නේ නැත. දැන් වේවැල් කෝටු සියඹලා අතු ඉවතලා බොහෝ කල්ය. මෙවැනි අමානුෂික දඬුවම් ක්‍රම වෙනුවට දැන් සිසුන් මෙල්ල කර ගැනීමේ ක්‍රමෝපයන් දක්‍ෂ ගුරුවරයා දනී.

අලුතෙන් පත්වීමක් ලද උපාධිධාරී ගුරුවරයෙක් 11 වැනි වසරේ පන්තිය ඉදිරියේ ළමයෙකු දණ ගසා සිටිනු දකියි. මේ සිදුවීම තරුණ ගුරුතුමාට ඇල්ලුෙව් නැත. ඔහුගේ සිත බෙහෙවින් නරක් විය. ඔහු සිතූ පරිදිම ළමයා ඉන්පසු පාසලට ආවේ නැත. අද එයි හෙට එයි කියා සිතුවද ඔහු ආවේම නැත. සිසුවාට පාසල එපා වූ හැඩය. අලුත් ගුරුතුමා මේ ගැන ගුරු රැස්වීමේ කියා එහි ඇති අනිටු ඵල කියා සිටි නමුත් සියලු ගුරුන් සිටියේ කසාය බිව් ගොළුවන් ලෙසටය. ඒ ගැන වචනයක් කීවේ නැත. එහෙත් විදුහල්පතිතුමාට කාරණයේ බරපතළකම වැටහිණ. ඔහු ළමයා කෙසේ හෝ පාසලට කැඳවා ගෙන එන්නැයි අලුත් ගුරුතුමාට කීවේය. සිසුවාගේ ගෙදර ගිය අලුත් ගුරුතුමාට අසන්නට වූ වගපල බොහෝය. දෙමාපියන් සිටියේ දැඩි කලකිරීමකිනි. සිසුවා නැවත පාසලට යෑමට බෑම කීවත් නැවත එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොතබන බවට ගුරුතුමා පොරොන්දු වූ පසු ළමයා පාසලට ඒමට කැමති විය.

”ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?”

”ඒ දරුවා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියා. පසුව එයා බැංකු කළමනාකරුවෙකු වුණා.”

මෙවැනි දෑ දිගින් දිගටම අපේ පාසල්වලින් ඇහෙන්නට පටන් ගෙන තිබීම කනගාටුදායකය. අනුරාධපුරයේ ගම්මිරිස් වැව පෙදෙසේ ගුරුවරයාගෙන් පහර කෑවේ 7 වසර 12 හැවිරිදි සිසුවෙකි.

”මගේ පුතාට හිසටත් පිටටත් පහරදී තිබෙනවා. දරුවා සිහිසන් නැතිව පලුගොල්ලෑව වැව් බැම්ම මත වැටී සිටියදීයි ඔහුගේ මිතුරන් දෙදෙනෙකු තමයි ගෙදරට ගෙනාවේ.” ඒ ගැන දරුවාගේ පියා කී කතාවයි ඒ.

ඊළඟ ආරංචිය ලැබෙන්නේ දඹුල්ලේ පාසලකිනි. සිසු සිසුවියන් 34 දෙනෙකුට ගිනිසීලියා පොල්ලකින් පහරදී ඇත්තේ බුදු දහම උගන්වන ගුරු හිමි නමකි. ඒ අමතර පන්තියකදීය. මෑතකදී මුහුණුපොතේ සටහනකින් කියවුෙණ් 5 වසරේ තම දරුවා පොත අමතක වීමේ වරදට පන්තියෙන් පිටත දණ ගැස්වීම නිසා දරුවාට පාසල එපා වීමත් මවට ඉන් ඇතිවූ වේදනාවත් ය. මෙවැනි පහරදීම් ගැන ඇසෙන සිදුවීම් විශාලයි. 17 හැවිරිදි සිසුවියකට පහර දුන් විදුහල්පතිනියනට සිර දඬුවම් නියම වූ පුවතත් සිත් වේදනාකරයි.

එහිදී පහර කෑ දරුවාට ඇති වන කායික හා මානසික පීඩාව ඉතා බරපතළයි. එය මතු පිටට පෙන්නේ නෑ. එයින් දරුවාට ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙනවා. පාසල පමණක් නොව සමස්ත ඉගෙනීමේ ආශාවද ගිලීහි යන්නට ඉඩ තිබෙනවා. මේ හැර ආදරය නොලැබී යාෙමන් ඇති වන චිත්ත පීඩාව, ඉච්ඡාභංගත්වය, තමා වරදකාරයෙනැයි යන හැඟීම, කාංසාව, ලජ්ජාව හා පරාජිත බව යන සංකීර්ණ චිත්තාවලියක් ඔහු තුළ ඇති වෙනවා. ගුරුවරු මේ අන්දමින් සැඩ පරුෂ වන්නේ එක්කෝ ඔහුගේ වියවුල් සහගත පවුල් පසුබිම හෝ වෙනත් වෘත්තීය ගැටලු නිසා විය හැකි බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර කියන්නේ. ඔවුන් තම නිවසේ ඇති වූ ආතතිය හා කෝපය පාසලේදී දරුවා මත මුදාහරිනවා. සමහර විට හැම දෙයක්ම මුදල් මත තීරණය වන සමාජ ක්‍රමයක ඔහු තුළ ඇති යහ ගුණ හා ගුරු භූමිකාව සතු මහඟු අභිලාස විනාශ කර තිබීමත් මෙයට හේතු විය හැකියි.

ළමයාගේ පැත්තෙන් බැලුවත් මේ අසෝබන ක්‍රියාව අනුමත කරන්නට බැහැ. ළමයා කියන්නේ මිනිසාගේ කුඩා මොඩල් එකක් නෙවි. එයා තනි පුද්ගල ඒකකයක්. 1989 දී සම්මත කරගත් ළමා ප්‍රඥප්තිය අනුව දරුවන් කායික මානසික පීඩාවලට පත් කිරීම නොකළ යුතු යැයි නිරිදේශ කර තිබෙනවා. ලංකාවේ ද එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. මේ නිසා දණ ගැස්වීම, පොත් හිස මත තබා අව්වේ සිටවීම, බංකු මත නැංවීම, වේවැලින් තැලීම හා ප්‍රසිද්ධියේ අවමන් කිරීම අනුමත කළ හැකි දඬුවම් නොවෙයි.

කෙසේ වෙතත් සිතිය යුත්තේ සෑම දරුවෙකුම තමාගේ දරුවෙකු ලෙස සැළකිය යුතු බවය. කිසිවිටකවත් මොනම හේතුවක් නිසාවත් දරුවෙකුට අතක් නොඑසවිය යුතු නැති බවය.

[ලීලානන්ද වික්‍රමසිංහ]

මාතෘකා