කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)

 ඡායාරූපය:

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence)

දියුණුව ගැන අපේ සිහින දිවෙන්නේ ඉතා ශීඝ්‍රගාමී මාවත් ඔස්සේය. සිතීමට, සෙවීමට, වෙහෙසීමට හෝ වැඩ කිරීමට අප බොහෝ දෙනා උප්පත්ති දෝෂ ඇත්තෝ වෙති. නක්ෂත්‍රකරුවන්, පූජකයන්, කපුවන් පමණක් නොව, ධනාත්මක චින්තකයින් පවා අපේ ගැලවුම්කරුවන් යැයි අප විශ්වාස කරන්නේ එහෙයිනි. බෙල්ලේ එල්ලූ සුරයකට, ඇඟිල්ලක පැලඳි මුදුවකට, ඉනෙහි හෝ අතෙහි ගැටගැසූ නූලකට අප අපේ අනාගතය තීරණය කරන්නට දෙන්නේ එනිසාවෙනි.

සියවස් ගණන් ඉපැරැණි එහෙව් මානසික ව්‍යාධියක ලාංකීය ජන සමාජය ගිලී පවතිද්දී, ධම්මික පෙරේරලා "කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence )" ද රැගෙන කරළියට පැමිණ තිබේ. රොහාන් පල්ලෙවත්තගෙන් හිස් වූ එම අසුනෙහි, ධමිමික පෙරේරා අසුන්ගනිද්දී, තළු මරන්නට යමක් හොයමින් කල්මැරූ අපේ මාධ්‍ය අවකාශය සතුටින් පිනාගොස් සිටී. දැන් ඔවුනට ධමිමික පෙරේරා දිව ඔසුවක් මෙන් සුව සදමින් පවතී.

"මිනිස් මොළය විසින් ගනු ලබන තීන්දු තීරණ හා ක්‍රියාකාරකම් පරිගණක හෝ තාක්ෂණ ක්‍රමවේදයකට බාරදීම" යන සාමාන්‍ය සරල අර්ථ දැක්වීමක් දිය හැකි "Artificial Intelligence" හරහා ධම්මික පෙරේරා නූතන "Action Hero" වීම සලකා බලමු. තමන් ඉපදෙද්දී රෝහල් ගාස්තුව රුපියල් 952කි. එකල ඩොලරයේ අගය 5.93කි. අවුරුදු 11දී වට්ටක්කා රාත්තල් 16ක් රුපියල් 8කි. පැස්ටල් පෙට්ටියක මිලද ඒ හා සමානය. අවුරුදු 19දී ඔහුට සේවකයන් 40ක් සහිත "විශාකා" නම් හෝටලයක් තිබේ. රුපියල් 500ක් රැගෙන කොළඹ ආ ඔහු ඉන් රුපියල් 200යේ සිට 73,000 දක්වා ලාභ උපයයි. අපේ මාධ්‍ය අවකාශයට මේවා ආසිරිගේ ෆෙන්ෂුයි, බන්ධුලගේ වාලම්බුරි, ඉන්දිකගේ, සුමනදාසගේ අනාවැකි තරම් උත්තේජක සපයයි.

කලෙක පල්ලෙවත්ත මෙන් දැන් පෙරේරාද දේශකයෙකි. මන්තරවලට අලි මෙල්ල කළ හැකි යැයි සිතන රටේ, ඔහු දුම්රියට අලි නොගැටෙන හැටි පහදයි. ඇඟිලි සලකුණු මැෂිම ළඟ පැයකට කලින් පෝලිම් වන රටේ, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන පහදයි. දේශපාලකයන් විසින් ගුරුවරුන් දණ ගස්වන රටේ අධ්‍යාපන ක්‍රමවේදය ගැන පහදයි. ඉලක්කම් කිහිපයක් කටපාඩමින් කියූ පමණින් දෑස් උඩ දමාගෙන, දත නියවාගෙන අපේ සංනිවේදක ඇත්තෝ ඒවා අසා හූමිටි තබති. ජැක්පොට් කැසිනෝ වූ හැටි, කැසිනෝ මත්කුඩු වී, මත්කුඩු පාතාල භීෂණ වූ හැටි, ඒවාට "කෘත්‍රිම බුද්ධිය" යොදාගත්තා හැටි අසන්නට උන්දලාට අමතක වෙයි.

පෙරේරලාගේ විග්‍රහවලටම අනුව දීර්ඝ විස්තර කිරීම් යනු නොදන්නා බවය. නිරවුල් වීම යනු නිතර ප්‍රශ්න කිරීමය. මුදලට වඩා වටින්නේ දැනුමය. නියම තීරණ, නියම වේලාව හා නියම පුද්ගලයන් යනු සාර්ථකත්වයේ ලක්ෂණය. සැබෑවකි. මේ ඔහු ව්‍යාපාරික ලෝකය දිනූ රස රහස්ය. වෙලාවක්, කලාවක් නැති ප්‍රවාහන සේවයක්, ප්‍රතිපත්ති නැති රාජ්‍ය සේවයක්, සුදුස්සන් නැති අධ්‍යාපන ක්‍රමවේදයක්, කොන්දක් නැති පාලකයන් ඇති රටක, වට්ටක්කා ගෙඩියක්, ඉරිඟු කරලක් වගා කරගැනීමට ස්වභාව බුද්ධියක් නැති කලෙක ඔය අහවල් බුද්ධිය රෝල් කර ගසා ගන්නා තැන අප කාගෙන් අසන්නේද..?

අප බිල්ගේට්ස්ගේ ඉතිහාස කතාවම කියවා තිබේ. බුද්ධියේ කෘත්‍රිම බව හොඳින්ම ඇත්තේ මුහුණු පොතේ බැවින්, මාර්ක් සකර්බර්ග් ගැනත්, උන්දෑගේ බිරින්දෑ ගැනත් දනී. චීනයේ ලොකුම ධනවතා ජැක් මා බවත්, ඇමසන් එකට පමණක් දෙවෙනි අලිබාබා ගැනත් දනී. ජැක් මා අසමත් විභාග ගණනත්, නෙරපූ රැකියා ගණනත් දනී. ජැක් මා ප්‍රථම වරට ඇමරිකාවේදී පරිගණකයෙන් "චීනය" යන වචනය පිරික්සද්දී, ඔහුට චීනය පිළිබඳව සැලකිය යුතු දත්ත කිසිවක් මුණගැසී නැත. චීන වැසියන්ගේ අවම පරිගණක භාවිතය පුළුල් කිරීමටත්, චීනය ඇමරිකාවට අභියෝගයක් වන තරමට සිය ව්‍යාපාරය මෙහෙයවූ ජැක් මා ගැන කියවා ඇත්තේ කොපමණ අතලොස්සක්ද..?

ඊශා අම්බානිගේ මඟුලට චන්දන වික්‍රමසිංහ නැටුම් සැලසුම් කළ බව නොදන්නෝ නොවෙති. ආනන්ට් අම්බානි සිය තරබාරු ශරීරය කෙට්ටු කරගත් හැටි බොහෝ අය කියවා ඇතුවාට සැක නැත. එහෙත් මොවුන් දෙදෙනාගේම පියා වන මුකේෂ් අම්බානි ගැන කියවා ඇත්තේ කීයෙන් කී දෙනෙකුද..? ග්‍රාමීය පාසලක ගුරුවරයෙකු වූ දීරප් ලාල් නොහොත් "දිරුබායී"ට දාව උපත ලද මුකේෂ් අම්බානී, සිය ව්‍යාපාරය අරඹන්නේ එක් මේසයක් සහ පුටු තුනක් සහිත කුඩා බිම් කඩකිනි. ඉන්දියාවේ ජාතික ආර්ථිකයට ඉන්ධන, ගෑස්, රෙදිපිළි කර්මාන්ත හඳුන්වා දෙමින් එහි අංක එකේ ධනවතා වූ අසල්වැසියාවත් අප කියවා තිබුණේනම්, උගතයුතු කොපමණ දේ එහි තිබුණේද..?

අප ප්‍රාතිහාර්යයයන් සහ ප්‍රාතුර්භූතයන් අපේක්ෂාවෙන් පසුවන ජාතියකි. ඇසට හසුවෙනා සහ අතට අහුවෙනා අවකාශය අදහනා සත්ව කොට්ඨාසයකි. ක්ෂණයකින් අප ඉදිරියේ දිව්‍යලෝක, සුරංගනා ලෝක මැවෙනවාට ප්‍රිය කරන පිරිසකි. උපුල් සර්ගේ ටියුෂන් සංස්කෘතිය, සුජීව සර්ගේ පත්තර සංස්කෘතිය සහ ඉරාජ් වීර්ගේ සංගීත සංස්කෘතිය පවා ගොඩනැඟුණේ එකී මනෝභාවයන්ගේ ආනුභාවයෙනි.

 

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා