නූතන පොල්පොට්යානු මාධ්‍ය

 ඡායාරූපය:

නූතන පොල්පොට්යානු මාධ්‍ය

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංහතික මාධ්‍යට හිමිවන්නේ සුවිශේෂ වැදගත්කමක්. එය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන ස්ථම්භය ලෙසින්. දේශපාලන පද්ධතියෙන් ඔබ්බට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ජනනය කිරීම හා එය නිසි ලෙස පවත්වාගෙන යාම කළ හැක්කේ මාධ්‍යට. මෙහිදී මාධ්‍යයේ තීරණාත්මක භුමිකාව වන්නේ වඩාත් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් සකස් කිරීම. එය කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් සක්‍රිය ලෙස පවත්වාගෙන යාමේ මුරපල්ලාගේ කාර්යය මාධ්‍ය නිසි ලෙස ඉටු කිරීමෙන්. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ මාධ්‍යට පැවරෙන ප්‍රධාන කාර්යභාරය වන්නේ ආණ්ඩු, ආයතන හා තනි පුද්ගලයන් ප්‍රජාවට වගවනවාදැයි (Accountable) සොයා බැලීම. රජයන්හි වගවීම හා පාරදෘශ්‍යභාවය පරීක්ෂාවට ලක්කිරීම. එසේ නොවන තැන් හා පුද්ගලයන් වෙත ආලෝක ධාරාවන් එල්ල කරමින් සමාජයට හෙළිදරව් කිරීම හා ඒවා වඩාත් නිවැරදි කිරීමට ප්‍රජාව සමඟ වැඩ කිරීම.

ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන අමර්ත්‍යා සෙන් පවසන්නේ “ජනතාව කතාකිරීමට බියවන තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වෙනවා” කියාය. ඇමෙරිකාවේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වොරන් ක්‍රිස්ටෝපර් පවසන්නේ “නිදහස් හා ස්වාධීන මාධ්‍යකින් තොර වූ විට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මුදුන්පත් කරගත නොහැකි” බවයි. මේ නිසා සංහතික මාධ්‍යන්ගේ පළමු කාර්යය විය යුත්තේ ජනතාවගේ හඬට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම හා සියලු මතයන්ට අවශ්‍ය ඉඩ ලබා දීම. මේ හැම එකකින්ම පැවසෙන කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන පරිසරයක සංහතික මාධ්‍ය සඳහා සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව. නමුත් එය එසේ වෙනවාද?

ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන හැම මොහොතකම ශ්‍රී ලංකාවේ මාධ්‍ය පෙනී සිටියේ ඒ අනතුරෙන් ප්‍රජාතන්ත්‍රවාදය මුදා ගැනීම සඳහාද, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් කරන පාලකයන් ආරක්ෂා කිරීම සඳහාද යන්න විමසා බලන එක වටිනවා. ලංකාවේ මාධ්‍ය එවැනි අවස්ථාවක ප්‍රධාන පක්ෂ දෙක හා එහි නායකකාරකාදීන් ආරක්ෂා කිරීම සඳහා ද්‍රැවීකරණය වන ආකාරය අප පසුගිය කාලයේ පවා දුටුවා. මෙයට හේතුව වන්නේ සෑම මාධ්‍යකම හිමිකාරිත්වයේ දේශපාලන වුවමනාව. එයට ආණ්ඩුවේ හා පෞද්ගලික වශයෙන් වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ මාධ්‍ය පැහැදිලිවම තමන් නියෝජනය කරන බලකඳවුර ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. පෞද්ගලික මාධ්‍ය තම හිමිකාරිත්වයේ ව්‍යාපාරික දේශපාලනය වෙනුවෙන් අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම සඳහා පෙනී සිටිනවා. මෙයින් තොර සැබෑ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සංහතික මාධ්‍යක් අප දුටුවේ නෑ. අප දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදය හාස්‍යයට ලක්කරන මාධ්‍ය පමණයි.

මෙය එක් අතකට කිසියම් දේශපාලන දර්ශනයක් විකෘති ලෙස භාවිතයට ගැනීමක් හා සමානයි. කාම්බෝජයේ මාක්ස්වාදී අනුත්තර නායකයා ලෙස පෙනී සිටි පොල්පොට් මාක්ස්වාදී දේශපාලන දර්ශනය භාවිතයට ගන්නේ විකෘතියක් ලෙසින්. ඔහු නගරයෙන් මිනිසුන් ගමට ගෙනියනවා. කාර්මීකරණය ප්‍රතික්ෂේප කරමින් සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් පමණක් රට දියුණු කරන්න උත්සාහ ගන්නවා. ඔහු අතීතයට රට අරගෙන යන අතර විශාල රටවැසියන් ප්‍රමාණයක් ඝාතනය කරනවා. ලංකාවේ සංහතික මාධ්‍ය, ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, මාක්ස්වාදය වැනි දේශපාලන දර්ශන හැමවිටම හාස්‍යයට ලක් කරන ආකාරයත්, නව මතයන්, නව භාවිතාවන්, විකල්ප අදහස් හාස්‍යයට ලක් කරන ආකාරයත් අපි දකිනවා. මෙය එක් ආකාරයකට මාධ්‍ය තුළ පොල්පොට්යානු දේශපාලන ස්වරූපය භාවිතයට ගැනීමක්. දියුණු දේශපාලන භාවිතාවන් ගැන රටවැසියාට අවශ්‍ය දැනුම, නව තාක්ෂණය පිළිබඳ දැනුම, ලෝකයේ නව කලා භාවිතාවන් පිළිබඳ දැනුම සම්පාදනය කරනු වෙනුවට යල්පැන ගිය, භාවිතයෙන් ඉවත් වෙන දේ ගැන යළි යළිත් පුන පුනා කියවන මාධ්‍ය භාවිතාවක් තමයි අපි දකින්නේ. රාහු කාලය, ලග්න පලාපල, හදි හූනියම්, සුබ වෙලාවන් ගැන දැනුම් දීමට අපේ මාධ්‍ය කොයිතරම් නම් කාලය වෙන් කර ඇත්ද? එය පොල්පොට් නගරය ප්‍රතික්ෂේප කර රටවැසියා ගමට පසුබැස්සවීම හා සමානයි.

අනෙක් අතට විවිධ මතවලට එකට ගැටෙන්නට අවශ්‍ය අවකාශය නිර්මාණය කර දෙනු වෙනුවට තමන් නියෝජනය කරන මතය ජයග්‍රහණය කරවීම සඳහා පමණයි ලංකාවේ මාධ්‍ය වැඩ කරන්නේ. ඔවුන්ට අනුව මාධ්‍ය නිදහස යනු අනෙක් මතයන් නිශේධනය කර තමන්ගේ මතය තහවුරු කිරීමට ඇති අයිතිය. එය හිමිකරුවාගේ අයිතිය. නමුත් නිවැරදි තොරතුරු දැන ගැනීමට ග්‍රාහකයාට ඇති අයිතිය ගැන ලංකාවේ මාධ්‍යකරුවන් කතා කරන්නේ නෑ. ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය තම මතය අරගෙන යන ගැල්කරුවන් බවට රටවැසියන් පත් කරන්න. හුදෙක් වසර පහකට හෝ හයකට වරක් තමන් නියෝජනය කරන අපේක්ෂකයාට ඡන්දය ලබාදෙන සුවච කීකරු ඡන්දදායකයන් බවට පුරවැසියා පත් කරන්න.

එය මාධ්‍ය හරහා අපි දකින්නේ හරිම සුන්දර දෙයක් හැටියට. නමුත් එය සාහසිකයි. කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්නත්, අන් මතයන් පරීක්ෂාවට ලක් කරන්නත් තිබිය යුතු ඉඩ මාධ්‍ය විසින් හකුළා දමනවා. එය දියුණු පුරවැසියකු නිර්මාණය වීමට ඇති අවකාශය බලෙන් විනාශ කිරීමක්. එය දේශපාලනිකයි. මන්ද දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ ස්වාධීන චින්තනයකින් හෙබි, දියුණු දේශපාලන තීන්දු ගත හැකි, පෙරලා ප්‍රශ්න කිරීමට සූදානම් පුරවැසියන් නොවෙයි. තමන් කියන දේට “එහෙයි හාමුදුරුවනේ” පවසන පන්නයේ යටහත් ජනතාවක්. ඒක ඔවුන්ගේ උවමනාව. මාධ්‍ය මේ මොහොතේ ඉටු කරන්නේ ඒ “පොල්පොට් උවමනාව.” පමණයි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා