තිස්ස රණසිංහ විශ්ව යාත්‍රිකයා

 ඡායාරූපය:

තිස්ස රණසිංහ විශ්ව යාත්‍රිකයා

නූතන විචාරකයකු වන සිසිර මහගම සහ අපතර ඇත්තේ සමීප බැඳීමකි. ඒ බැඳීම ඇති වූයේ ඔහුගේ දැනුම, විචාරාවබෝධය හා භාවිතය සම්බන්ධයෙන් අපගේ පහන් හැඟීම ප්‍රකාශ කිරීම අනුවය. පාසල් දරුවන් සඳහා පැවැත්වෙන නිර්මාණ වැඩමුළුවලදී චිත්‍ර රසවින්දනය සහ විචාර විෂය ඔහුට බාර දීමට අප තීන්දු කළේ වත්මනෙහි ඒ සඳහා උපරිම සුදුසුකම් ඇති තැනැත්තා ඔහු වන හෙයිනි.

දුර පළාත්වල පාසල් කරා යන ගමන් බිමන්වලදී චිත්‍ර රසවින්දනය සහ චිත්‍ර කලා විචාරය සම්බන්ධයෙන් අපේ රටේ ඇති පසුගාමිත්වය අපේ මාතෘකාවකි.

සාහිත්‍ය කලා මාධ්‍යයන් අතරින් අතිසියුම්ම මාධ්‍ය හැටියට කවිය සහ චිත්‍රය නම් කිරීම අපගේ පොදු සිතුවිල්ලකි. ශාස්ත්‍රාලීය ආයතනවල ඒ පිළිබඳව ඇති මඳ උනන්දුව අපගේ සාකඡාවට බඳුන් වෙයි.

තිස්ස රණසිංහ කලාකරුවා පිළිබඳ හොඳ හැදෑරීමක් සිසිරට ඇත. මකරද සාහිත්‍ය උලෙළ නිමිත්තෙන් පළ කරන ලද සමරු කලාපයට ඔහු ලියූ ලිපියක් පළ කරන්නට අප අදහස් කළේ තිස්ස රණසිංහගේ චිත්‍ර හා මූර්ති නිර්මාණ පිළිබඳ ඔහුගේ විචාරය පිළිබඳ අපට ඇති වූ පැහැදීමද අනුවය.

තිස්ස රණසිංහ ජීවත් වන්නේ එතෙරය. ඔහු දැනට ජීවතුන් අතර සිටින ශ්‍රී ලාංකේය කලාකරුවන් අතරින් විශිෂ්ටතමයා ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. එතෙර වෙසෙන තවත් ලාංකේය ලේඛකයකු වන මයිකල් ඔන්ඩච්චි සහ තිස්ස රණසිංහ ජාත්‍යන්තර වශයෙන් ඇති කීර්ති නාමය විශාලය.

මේ දෙදෙනා නමින්ම උසස් අධ්‍යාපන ආයතන මඟින් සම්‍මාන පිරිනමනු ලැබේ.

තිස්ස රණසිංහගේ නිර්මාණ පිළිබඳ මුලින්ම ලියූ විචාරකයකු හැටියට මාර්ටින් වික්‍රමසිංහගේ නම සඳහන් කළ හැකිය. එකල තිස්ස තරුණයෙකි. දැන් ඔහු අනූ විය ඉක්මවූවෙකි.

"තිස්ස රණසිංහ ගැන පූර්ණ අධ්‍යයනයක් නොකිරීම කලා ක්ෂේත්‍රයේ ලොකු අඩුවක්"

සිසිර මහගම මට කීය.

"ඔබට ඒ වැඩේ කරන්න පුලුවන්"

මම කීවෙමි.

"ඔහු ගැන නිබන්ධන එකතුවක් පළවී තිබෙනවා"

"ඒක ප්‍රමාණවත් නෑ. ඔහුගේ චරිත කතාව ලිවිය යුතුයි"

"ඒක හොඳ අදහසක්. කවුද ඒක කරන්නෙ?"

"ඒක කරන්න පුළුවන් ඔබට"

"මම ඒකට සුදුසු යැයි ඔබ කීම මට ගෞරවයක්"

"ඔබ වැඩේ පටන්ගන්න. ඒකට අවශ්‍ය දැනුම, ඉවසීම, සංයමය හා සංවේදීකම ඔබට තියෙනවා"

සිසිරත් මාත් අතර ඇතිවූ දෙබස එසේ දැක්වීමි.

සිසිර ඇරියුම පිළිගත්තේය. සැබෑ චරිත වෙනුවට බොල් චරිත ඉස්මතු කරන රටක තිස්ස රණසිංහ වැනි විශිෂ්ටයන්ගේ චරිත කතා ළමා හා යොවුන් පාඨකයන් අතරට පත් කිරීම කාලීන අවශ්‍යතාවකි.

තිස්ස රණසිංහ වැනි විශිෂ්ටයන් එතෙර ජීවත් වන්නේ ඇයිද යන්නද ගැඹුරින් විමසා බැලිය යුතුය. සිරි ගුණසිංහ ජීවත් වූයේද එතෙරය. ඔවුහූ අදීන මතදැරූ කලාකරුවෝය. සංස්කෘතිය බරවා කකුලක් කර නොගත් ප්‍රඥාවක් ඔවුනට විය.

එහෙත් මෙරට ජීවත් වීමේදී සංස්කෘතික කාන්තාරයක සිටීමේ අභාග්‍යය ඔවුනට දැනෙන්නට ඇත.

අන්තර් සංස්කෘතික අධ්‍යයනය සහ අන්තර් සංස්කෘතික පෝෂණය සම්බන්ධයෙන් හරවත් කතිකාවක් නැති රටක ප්‍රඥා සම්පන්න කලාකරුවාට සිදුවන්නේ හුදෙකලා වන්නටය. නොඑසේ නම් රටේ හැටියට කප්පාදු වන්නටය.

ඒ ගැන නිදර්ශන ඕනෑ තරම් දැක්විය හැකිය. එය කළ හැක්කේ මීට වඩා කටුක වූ ලියවිල්ලකිනි.

එසේ ලිවීම බොහෝ අයගේ සිත් රිදීමටද හේතුවිය හැකිය. සංස්කෘතිය එක තැන පල් වීමෙහි ප්‍රතිඵලය වන්නේ කලාකරුවන්ද සංස්කෘතික ජාතිවාදීන් බවට පත් වීමය. සංස්කෘතික දියුණුව සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි කෙංගෙඩියක් නොමැත.

මාතෘකා